මහමැතිවරණය එපා කියන 10 දෙනා

සත්‍යය නම් සියලු තාන්ත්‍රික පක්ෂ සහ ඒවායේ වහලුන් මහමැතිවරණයට හොඳටම බිය වී සිටීමය. කොරෝනා පිට දමා මහමැතිවරණය නොපැවැත්වීමට යත්න දරන විවිධ කණ්ඩායම් සිටී. මේ ඉන් සමහරකි.

1) පොහොට්ටුවට විරුද්ධ සියලු පක්ෂ

ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර ජනරජය අස්ථාවර කර, ජනපති සහ අගමැති ද්විත්ව බන්ධනයකට හිර කර නැවත පසුගිය පාර්ලිමේන්තුව කැඳවීමටය. 

එයින් ඔවුන් මුහුණ දී සිටින අභ්‍යන්තර පක්ෂ අර්බුද විසඳා ගැනීමට කාලය ලැබෙනු ඇත. එමෙන්ම ඔවුන්ට වැඩි ආසන සංඛ්‍යාවක් තිබෙන පාර්ලිමේන්තුව නැවත බලාත්මක කර ගත හැකි නම් එය ඔවුන්ට තාන්ත්‍රික වාසියකි.

2) ආන්තික ජාති(ක)වාදීන්

ආන්තික සිංහල ජාති(ක)වාදීන් මාන බලන්නේ දෙමළ සහ මුස්ලිම් ජාතික නියෝජිතයන්ට ව්‍යවස්ථාදායක අවස්ථාව නොදී සිටීමටය. ජාතීන් අනුව පක්ෂ සහ නියෝජිතයන් සිටීම ජනරජයේ මූලික සංකල්පවලට කොහොමත් විරෝධීය. නමුත් මොවුන් හදන්නේ මේ පිට දමා එම ජාතිකයන්ට රිදවීමට ය. 

ආන්තික දෙමළ සහ මුස්ලිම් ජාති(ක)වාදීන්ද මේ ජාතිකාගමික බෙදීමට වගකිව යුතුය. මන්ද සියලු නියෝජිතයන් සියලු ජාතිකාගමික වැසියන් සමසේ නියෝජනය කළ යුතුය. ජනරජයේ පරමාධිපත්‍යය, නන් වැදෑරුම් නිදහස, අයිතීන් සහ යුතුකම් මෙන්ම ඡන්ද අයිතියද සියලුම වැසියන්ට සමානව හිමිව තිබේ. එම නිසා කිසිදු එක් ජාතියක් හෝ ආගමක් විශේෂයෙන් නියෝජනය කළ යුතු නැත. 

3) ව්‍යවස්ථා වෙළෙන්දන්

මොවුන්ට අනුව මේ සියලු දෝසවලට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ඔවුන්ට අවශ්‍ය මේ මොහොතේ රාජ්‍යය අස්ථාවර කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පටවා ඔවුන්ගේ යටි අරමුණු ක්‍රියාත්මක කරගත හැකි අලුත් ව්‍යවස්ථාවක් හදා ගැනීමටය. 

4) සුචරිත සූචකයන්

එනම් තමන් ඉතා සුවච, යහපත්, විනීත, විනයගරුක බව සූචනය කරමින් (විදිමින්) තමන් මෙන් නොවන බහුතර ග්‍රාම්‍ය වැසියන්ට විනය ඉගැන්විය යුතු යැයි කියන සාන්ත දාන්ත තීන්ත කූඩුය. ඔවුන් කියන්නේ හමුදාව යොදවා වැසියන්ට විනය ඉගැන්විය යුතු බවයි. 

වසර සිය ගණනක් තිස්සේ ලේ හලා දිනා ගත් ජනරජය, ප්‍රජාතන්ත්‍රය, නිදහස සහ පුරවැසි අයිතීන් ගැන අබමල් රේණුවක වටිනාකමක් නොදන්නා සේ කතා කරන ඔවුන් සැබැවින්ම වැඩවසම් රදළ කුල මානසිකත්වයෙන් පෙළෙන්නන් විය හැකිය.

5) එජාප-ජවිපෙ බළලුන්

මොවුන්ට අවශ්‍ය හමුදා පාලනයක් සඳහා ජන මනස පෙළඹවීමයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ යම්කිසි ලෙසකින් හමුදා පාලනයකට රාජ්‍යය පත් වුවහොත් ඒ පිට දමා දේශපාලන සෙල්ලමක් කිරීමටය. 

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ජනරජය ලෝකාපවාදයට සහ කොන් කිරීමට පත් වේ. සියලු රටවල් අපත් සමග විදේශතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටවනු ඇත. සියලු වෙළඳ ගිවිසුම් අවලංගු වෙනු ඇත. ජනරජය අවුලෙන් අවුලට පත් වනු ඇත. එවිට ඇතිවන සමාජාර්ථික බිඳ වැටීම හමුවේ තරුණයන් උසි ගන්වා කැරළි ගසා බලය අල්ලා ගැනීම ඔවුන්ගේ කුරිරු සිහිනය විය යුතුය. 

6) අනන්තයෙන් ආ තරු කුමර-කුමරියන්

ඉහත මැකියාවෙලියන් රාජ්‍යපාලන කුට උපක්‍රම ගැන කිසිත් නොදන්නා අඳබාලයන්, එජාප-ජවිපෙ බළල් අත් විසින් මෙහෙයවන ෆේස්බුක් ගෘප් වලට එකතු වී හමුදා පාලනයක් ඉල්ලයි. එම පිරිස කිසිදාවත් දැනුමෙන් පූර්ණ කළ හැකි පිරිසක් නොවන බව මාගේ විශ්වාසය යි.

7) තානාන්තර ලෝභීන්

ජනපති යටතේ විවිධ රජයේ ආයතනවල තනතුරු ලබා ගත් ඇතැමුන් හිතන්නේ හදිසියේ හෝ මහමැතිවරණයෙන් පොහොට්ටුවට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබුණහොත් තමන්ගේ පට්ටම නැති වී යා කියාය. ඇතැම් විට ජාතික ආණ්ඩුවක් වැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට තනතුරු අහිමි වී යා හැකිය. 

අලුත් ඇමතිවරුන් යටතේ ද දැන් මෙන් ඔවුන්ට සිතූ මනාපයට වැඩ කරගත නොහැකි වනු ඇත. ඉතින් ඔවුන් හදන්නේ ජනපති යටතේ හැමදාම තනතුරු දරන්නටය. ආත්මාර්ථකාමී එකේ හොඳම එක ඔවුන්ය.

8) පොහොට්ටුවේ අපේක්ෂකයන්

ඔවුන්ගෙන් සමහරක් බිය වී සිටින්නේ ඔවුන් සැලසුම් කර තිබූ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගත නොහැකි වීමෙන් වැසියන්ගේ ඡන්දය නොලැබී යා කියාය. කොරෝනා සහන ක්‍රියාවලියේදී ඔවුන් ඇතැමෙකුගේ අසාර්ථක සහ පිළිකුල් සහගත හැසිරීම ගැන වැසියන් ඉන්නේ නොසතුටින් බවද ඔවුන් දනී.

ඒ අතර අපේක්ෂකත්වය නොලැබුණු ඇතැමුන් සහ කලබලේට නාමයෝජනා දෙන්නට ගොස් ඒවා ප්‍රතික්ෂේප වූවන් හිතන්නේ මහමැතිවරණය දැන් නොපවත්වා, දී ඇති නාමයෝජනා අවලංගු කරවා කෙසේ හෝ නැවත අපේක්ෂකත්වය ලබා ගැනීමටය.

9) මාධ්‍යකරුවන්

මේ තත්ත්වයට වැඩියෙන්ම වගකිව යුත්තේ ජනමාධ්‍ය ලෙස හඳුන්වන ව්‍යාපාරයන්ය. ඔවුන් විසින් ජනරජයේ වැසියන්ගේ නිදහස සහ අයිතීන් එතනෝල්වල දිය කර පානය කළ හැටි ගැන වෙනම කතා කළ යුතුය. 

නමුත් මේ මාතෘකාවට අදාළ වන්නේ හමුදාවේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුම් ගැන ප්‍රසිද්ධියේ පම්පෝරි ගැසීමය. එයින් සිදු කළේ “හමුදාවට මෙසේ වැඩ කළ හැකි නම් පාර්ලිමේන්තුවක් මොකටද” යැයි සිතන්නට ඇතැම් ළාමක වැසියන් පෙළඹවීමය.

හමුදාව කරන්නේ රාජ්‍ය සේවයකි. එයට අප නිසි පමණින් ගෞරව කළ යුතුය. නමුත් මෝල් ගැටලු විසඳීම වැනි කාරණා ගැන පම්පෝරි ගැසීම එම වටිනා හමුදා සේවයටත් නිගරුවකි. සියලු හමුදා නිලධාරීන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාදායකය විසින් පනවා ඇති නීති වලට අනුවය. ව්‍යවස්ථාදායකය නැත්නම් ඊළඟ මාසවල රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් ගෙවීමටද නොහැකි වන බව ඔය පම්පෝරි ගසන කවුරුත් මතක තබා ගත යුතුය.

10) කොළඹ ලිබරලුන්

මොවුන්ට අවශ්‍ය වෙන මොනවා වුනත් කෙසේ හෝ රාජපක්ෂලා වැරදි බව පෙන්වීමටය. ඔවුන් ඇත්තටම ලිබරල් යන වචනයේ තේරුම හෝ දන්නවා නම් ඔවුන්ට අහිමි වන්නට යන නිදහස ගැන සුළු හෝ තැකීමක් තිබිය යුතුය.

 

ඉහත සියල්ලෝම ජනරජයේ උග්‍ර සතුරෝය.

එරන්ද ගිනිගේ
2020 අප්‍රේල් 22
ජනරජයේදී

මහමැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි? http://ginige.com/why-general-election/erandaginige/2020/04/

 

Icons made by Freepik from www.flaticon.com

 

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu