1983 මොකද වුනේ (නොදන්න අයට සහ අමතක අයට)

1977 මහමැතිවරණයෙන් ජූනියස් රිචර්ඩ් (JR) ජයවර්ධනගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය (UNP) පාර්ලිමේන්තුවේ ආසන 168න් ආසන 140ක් හෙවත් 5/6ක් ලබා ගන්නවා. ඒක හරියට මුළු පාර්ලිමේන්තුවම UNP වුනා වගේ. විපක්ෂ නායක වුනේ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්. දෙවැනියට වැඩිම ආසන (18) ගත්තේ ඔහුගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF). සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (SLFP) ලැබුනේ ආසන 8 යි.

එතකොට තිබුණේ 1972 ජනරජ ව්‍යවස්ථාව. අගමැති JR මුලින්ම කළේ ඒ ව්‍යවස්ථාව සංශෝධනය කරලා එතෙක් තිබුණු නාමමාත්‍රික ජනපති ධූරය, විධායක ජනපති ධූරයක් බවට වෙනස් කිරීමයි. කිසිම ජනපතිවරණයක් නැතුව අර සංශෝධනය හරහා කෙලින්ම ජනපති හැටියට ඔහු 1978 දී දිව්රුම් දුන්නා. ඊට පස්සේ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ව්‍යවස්ථාව ඒ අවුරුද්දෙම සම්මත කර ගත්තා. දැන් විධායක ජනපති, විධායක අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ 5/6ක බහුතරයත් UNP.

ඔය ගොඩේ කතාවට කියන “එදා JRට කරන්න බැරි පිරිමියෙක් ගැහැණියක් කිරීමත්, ගැහැණියක් පිරිමියෙක් කිරීමත් පමණකි.” කියන එකේ සැබෑ අදහස තමයි කිසිම සංවරණයක් හෝ තුලනයක් නැතිව UNPය ව්‍යවස්ථාදායක සහ  විධායක බලය යන දෙකම අල්ලා ගැනීම. සරලව කිව්වොත් නීති හදන්නෙත් ඔවුන් (ව්‍යවස්ථාදායක); නීති ක්‍රියාත්මක කරන්නෙත් ඔවුන් (විධායක). ඒ තමයි ජනරජයේ ජනතාපාලනය විකෘති කළ පළමුවැනි අවස්ථාව. නැවත එහෙම වෙන්නේ 2015 දී සහ 2018 දී.

මේ වෙනකොට වේලුපිල්ලෙයි චෙල්වනායගම්ගේ නායකත්වයෙන් TULF එක 1976 දී වඩුක්කොඩෙයි යෝජනාව සම්මත කරගෙන ඉවරයි. ඒ යෝජනාව තමයි එතෙක් ඔවුන් ඉල්ලා සිටි ෆෙඩරල් පාලනය හැරදා ඒ වෙනුවට වෙනම නිදහස්, ස්වෛරී, නිරාගමික දෙමළ රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි යන්න. ඊට මාස කිහිපයකට පස්සේ චෙල්වනායගම් මියගියා. අමිර්තලිංගම් TULF එකේ නායකයා වුනා.

රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ (JVP) දියත් කළ පළමු 1971 ත්‍රස්තවාදයෙන් ආදර්ශය ලබා සිටි වේලුපිල්ලෙයි ප්‍රභාකරන් එදා යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 දී ඝාතනය කර තිබුණා. 1976 දී ඔහු දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය ආරම්භ කළා. ආණ්ඩුවට සහාය දෙන දෙමළ නායකයන්ට ඔවුන් විටින් විට ප්‍රහාර එල්ල කරමින් සිටියා. ඒ නිසා TULF එකේ අමිර්තලිංගම් LTTE එකට සහයෝගය දුන්නා. එහෙත් තාමත් LTTE එකට සැලකිය යුතු දෙමළ ජනතා සහයෝගයක් ලැබී තිබුණේ නැහැ.

සිංහල-දෙමළ රදළ දේශපාලන බල පොරයට JR දුන්න පළමු අසාර්ථක විසඳුම තමයි එතෙක් තිබුණු ගම්සභා විසුරුවා හැරලා ඒ වෙනුවට “දිස්ත්‍රික් සංවර්ධන සභා” පිහිටුවීම. 1981 දී දිස්ත්‍රික් සභා සඳහා පැවතී වරණයේදී තමයි JR මුල්වරට මනාප ඡන්ද ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන්නේ. ඒවා ඔක්කොම කරේ UNP එකේ තනි මතයට. නීති හැදුවෙත් ඔවුන්. ක්‍රියාත්මක කළේත් ඔවුන්. LTTE එක දිස්ත්‍රික් සභා වලට තදින්ම විරුද්ධ වුනා.

1981 මැයි 31 වැනිදා TULF එක සංවිධානය කළ රැළියක් අතරතුර සිදු කළ වෙඩි තැබීමකින් සිංහල ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා. පසුවදා එනම් ජූනි 31 වැනිදා රාත්‍රියේ කොළඹින් පැමිණි UNP දේශපාලන ප්‍රබලයන් සහ ඔවුන්ගේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් යාපනයේ පුස්තකාලය ගිනි තබා විනාශ කළා. LTTE එකට අවශ්‍ය සතුරාත්; UNP එකට අවශ්‍ය සතුරාත් නිශ්චිතව නිර්මාණය කරන්න පටන් ගත්තේ එහෙමයි.

1977 සහ නැවත 1978 ව්‍යවස්ථා හරහා ජනපති වෙච්ච JRට ලංකා ඉතිහාසයේ ප්‍රථම ජනපතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ 1982 දී. ඊට කලින් ඔහු තමාගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුනු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කරලා පාර්ලිමේන්තුවෙනුත් ඉවත් කරනවා. ඉතින් JR ජනපති ලෙස ජනතා ඡන්දයෙන් තේරී එම ධූරයේ දිවුරුම් දෙනවා.

1977න් පස්සේ හරිනම් නැවත මහමැතිවරණයක් තියෙන්නේ තිබුණේ 1983 දී. JR දැනගත්තා UNP එකට පාර්ලිමේන්තුවේ තියෙන 5/6 ආසන සංඛ්‍යාව අහිමි වෙන බව. ඒ නිසා ඔහු 1982 දෙසැම්බර් මාසේ ජනමත විචාරණයක් පැවැත්වුවා. එහිදී ඔහු කිව්වේ තව කරන්න වැඩ තිබෙන නිසා මහමැතිවරණයක් නැතුවම පවතින පාර්ලිමේන්තුවම තවත් වසර 6 කට දික්කර ගන්න දෙන්න කියලයි. ලාම්පු-කළගෙඩි සෙල්ලම කියලා අදටත් කටවහරේ තියෙන්නේ ඒ ජනමත විචාරණයයි.

පාර්ලිමේන්තුවේ ධූර කාලය දික්කරන්න කැමති නම් “ලාම්පුවට” කතිරයත්, අකමැති නම් “කළගෙඩියට” කතිරයත්. ඒ තමයි ජනරජයේ ඉතිහාසයේ තිබුණු පළමු සහ එකම ජනමත විචාරණය. එයින් 1977 පටන්ගත්ත UNP පාර්ලිමේන්තුව 1989 දක්වා වසර 11 ක් මහමැතිවරණයක් නැතිවම දික්කෙරුනා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අවිචාර යුගය ඇරඹෙන්නේ එතැන් සිටයි. මේ ලිපියේ ඉතිරි කොටස මා ලියන්නේ ඉතා කණගාටුවෙනි. මෙය ලිවීමේ එකම අරමුණ නැවත එවැනි ව්‍යසනයක් සිදු නොවීම සඳහා ඔබට ඔබේ රාජ්‍යයේ ඉතිහාසය මතක් කර දීමටයි.

1983 ජූලි මස 23 වැනිදා සෙනසුරාදා රාත්‍රී 11.30 ට පමණ LTTE ත්‍රස්තවාදීන් විසින් යාපනයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි හමුදා භට පිරිසකට මග රැක සිට ප්‍රහාරයක් එල්ල කළා. එයින් එම අවස්ථාවේ සිටි හමුදාවේ 15 දෙනාම මිය ගියා. එම ප්‍රහාරය සඳහා වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ඇතුළු LTTE යේ ඉහළ නායකයන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වු බව ප්‍රසිද්ධ කරුණක්.

හමුදාවේ සම්ප්‍රදාය වන්නේ මියගිය රණවිරුවන්ගේ දේහයන් පවුලේ අයට බාර දී අවසන් කටයුතු ඔවුන්ගේ ගම් ප්‍රදේශවලම සිදු කිරීම. නමුත් එම දේහයන් පිලිබඳ අවසන් කටයුතු එකවර බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීමට JR තීරණය කළා. එවක අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස එම තීරණයට විරුද්ධ වුනේ එයින් අනවශ්‍ය කලබලයක් ඇති වේ යැයි බියෙන්. නමුත් JR තමන්ගේ තනි මතයට ප්‍රේමදාසව නිහඬ කළා. කැරළි මර්ධන ඒකකය බොරැල්ලේ ස්ථානගත කිරීමට නියෝග කෙරුණා.

දේහයන් බොරැල්ලට ගෙන ඒමට නියමිතව තිබුණේ ජූලි 24 වැනිදා ඉරිදා සවස 5.00 ට. මියගිය හමුදා විරුවන්ගේ පවුල්වල අය සහ බොරැල්ල අවට ප්‍රදේශවාසීන් විශේෂයෙන්ම වනාතමුල්ලේ පදිංචිකරුවන් විශාල පිරිසක් බොරැල්ල කනත්ත අවට රැස් වී සිටියා. නමුත් සවස 5.00 වනවිටත් මෘත දේහයන් යාපනයේ පළාලි ගුවන්තොටුපළින් පිටත් වී තිබුණේ නැහැ. බොරැල්ලට රැස් වී සිටි ජනතාව නොසන්සුන් වුනා. ඒ අතර යම්කිසි තරුණයන් කණ්ඩායමක් මෘත දේහයන් පවුලේ අයට බාර දිය යුතු යැයි කියමින් ප්‍රකෝපකාරී කතා පැවැත්වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙනවා.

රාත්‍රී 7.20 ට පමණ දේහයන් රැගත් ගුවන්යානය රත්මලානට ගොඩබස්වනු ලැබුවා. ඒ වනවිට දහස් ගණනක් සෙනග බොරැල්ල අවට රැස් වී සිටියා. ඔවුන් අවසානයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වුනා. කඳුළු ගෑස් සහ බැටන් පොලුවලින් නවත්වාගත නොහැකි වූ තැන හමුදාව ඊට මැදිහත් වුනා. මේ සියල්ල ජනපති මන්දීරයේ සිට නිරීක්ෂණය කරමින් සිටි JR රාත්‍රී 10.00 ත් පසුවූ පසු අවසන් කටයුතු සිදු කිරීම අවලංගු කිරීමට නියෝග දුන්නා. කොළඹට රථ මගින් ගෙන එමින් තිබූ දේහයන් වහාම හමුදා මුලස්ථානය වෙත ගෙන ගියා. එම තීරණය පිළිබඳව බොරැල්ලේ කළහ කරමින් සිටි ජනතාවට දැනුම් දෙන විට රාත්‍රී 10.00 ත් පසුවී තිබුණා.

ඉන් පසුව සිදු වූයේ ලක් ඉතිහාසයේ අඳුරුතම ඛේදවාචකයයි. JR සහ ඔහුගේ ආණ්ඩුව විසින් සැලසුම් සහගතව හෝ ඔවුන්ගේ අප්‍රමාණ මෝඩකම නිසා හෝ ඇති කළ එම අනවශ්‍ය කුපිතකිරීම නිසා අහිංසක දෙමළ මිනිසුන් තම ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඇතැම් UNP ඇමතිවරුන් සහ ඔවුන්ගේ මැරයන් විසින් මෙහෙයවනු ලැබූ අමන ලේ පිපාසිතයන් දෙමළ වැසියන්ගේ කඩසාප්පු මංකොල්ල කමින්, නිවෙස් ගිනි තබමින්, අහුවෙන අහුවෙන දෙමළ මිනිසුන් කපා කොටා මරා දමමින් බොරැල්ලේ සිට දසත විසිරි ගියා. සතියක් පුරා පැවති එම සංහාරය අතරතුර බොහෝ දෙමළ වැසියන් තම නිවෙස්වල සඟවාගෙන ආරක්ෂා කරගත්තේ බුද්ධිමත් සාධාරණ සානුකම්පික සිංහල මිනිසුන්මයි.

JR තම ආරක්ෂක මණ්ඩලය සඳුදා උදේ ජනපති මැදුරට කැඳවා සාකච්ඡා කරමින් සිටින අතර කොළඹ වීදිවල ගිනි ඇවිලෙමින් තිබුණා. කොළඹට ඇඳිරි නීතිය ප්‍රකාශ කරන විට මහා විනාශයක් සිදු වී අවසන්. සංහාරය වෙනත් නගරවලට ව්‍යාප්ත වීමත් සමග 26 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ඔවුන් තීරණය කළා. නමුත් ඒ කිසිවකින් සිදු වූ විනාශය නැවැත්විය නොහැකි වුනා. මුළු ලොවක් ඉදිරියේ ම්ලේච්ඡ මිනීමරු ජාතියක් හැටියට සදහටම සිංහලයන් හංවඩු ගැසුනා. ප්‍රභාකරන්ට අවශ්‍යව තිබූ සතුරා එසේ නිර්මාණය කළා. මගේ පරම්පරාවේ දරුවන් සමග දෙමළ පවුල් සරණාගතයන් ලෙස වෙනත් රටවලට පිටත් වුනා. අද ඒ දරුවන් ඒ රටවල ඉඳගෙන තමන්ගේ මව්රටට විරුද්ධව කතා කරනවා. ඉතිරි වුන දෙමළ තරුණයන් රොතු පිටින් LTTE යට බැඳුනා. එතෙක් සමගියෙන් ජීවත් වූ සිංහල සහ දෙමළ මිනිසුන් එසේ බෙදා වෙන් කරනු ලැබුවා.

අවසානයේ 300 කට වැඩි දෙමළ වැසියන් පිරිසක් කළු ජූලියෙන් මිය ගියා. JR ඉතා සරලව එහි සියලු වගකීම TULF එක පිටට දාලා අත පිසදා ගත්තා. කෝලාහලයට සම්බන්ධ යැයි කියමින් ඔහු JVP එක තහනම් කළා. JR ට අවශ්‍යව තිබූ සතුරා එලෙස ඔහු හදා ගත්තා. දශක තුනක් තිස්සේ ජනරජය විනාශ කළ යුද්ධය ඔහු හදාගත්තා. 1987 රජීව් ගාන්ධිගේ ඉන්දියානු මැදිහත් වීමෙන් පළාත් සභා බෙදලා ජනරජය තවත් අවුල් කරලා ඔහු විශ්‍රාම ගිහිල්ලා කාලෙකට පස්සේ මැරිලා ගියා.

ඒ සා අපරාධයක් කළාට පස්සෙත් අපේ මිනිස්සු නැවත වාරයක් UNP අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාසව 1988 ජනපති ලෙස තෝරා ගන්නවා. ඔහු යටතේ සිදුවෙන 88-89 භීෂණයෙන් 30,000 කට වැඩිය තරුණ තරුණියන් මරා දමනවා. අන්තිමේ 1994 වෙනකොට UNP දාහත් අවුරුදු සාපය ඉවර වෙනවා. ඉවරයි කිව්වට ඉවර වුනේ නැහැ. 2015 නැවත ඒ සාපය වදිනවා. දැන් UNP එක අලුත් සතුරෙක් නිර්මාණය කරමින් තිබෙනවා. ජනතාවගෙන් මට අසන්නට ඇත්තේ ප්‍රශ්න දෙකයි. ඔබ නැවතත් 1983 කළු ජූලියක් ප්‍රතිනිර්මාණය කරන්න UNP උගුලට අහුවෙලා එකිනෙකා මරාගන්නවද? නැතිනම් මේ සාතන්ගේ UNPය සදහටම අවසන් කරනවද?

එරන්ද ගිනිගේ
2019 අප්‍රේල් 24

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. […] භේදය සූක්ෂම ලෙස ඉදිරියට ගෙන ගොස් 1983 කළු ජූලිය හරහා ඊළඟ වසර 25 පුරා දිව යන යුද්ධයකින් […]
    Reply
Menu