2020 ලංකාව – පූර්විකා 1

“පවතින තත්ත්වයට හැඩ ගැසීමට පුදුම හැකියාවක් මිනිසාට ඇත” යැයි ආතර් සී. ක්ලාර්ක් මහතාගේ පොතක ලියා තිබුනා මට මතකය. මා හිතන හැටියට මේ වසංගතයෙන් පසු ලංකාව සැලකිය යුතු ලෙස වෙනස් වන්නේ නැත. මන්ද මෙය අප සිතූ තරම් මාරාන්තික වසංගතයක් නොවන බැවිනි.

ජන සමාජයක් මුළුමනින්ම පරිවර්තනය වීමට නම් එය බාහිර හෝ අභ්‍යන්තර මහා ඛේදවාචකයකට මුහුණ දිය යුතුය. අපගේ එවැනි නූතන ඛේදවාචකය නම් තිස් අවුරුදු යුද්ධය යි. ඒ සා ඛේදවාචකයකින් වත් පරිවර්තනය නොවුණු අපගේ ගතානුගතික සමාජය කොරෝනා වැනි දෙයකින් වෙනස් වේ යැයි සිතීම අපව රවටා ගැනීමකි.

කිසිම සංවිධානයකට එකවර යුද්ධ එකකට වඩා කළ නොහැකිය. උදාහරණයක් ලෙස යම්කිසි ආයතනයක අභ්‍යන්තර මානව සම්පත් වෙනසක් සිදු කරන අතරතුර ආයතන ක්‍රියාවලියේ අලුත් තාක්ෂණික වෙනසක් සිදු කිරීමට නොහැකිය. මෙම මූලධර්මය ව්‍යාපාර කළමනාකරණයේ හැඳින්වෙන්නේ “පරිවර්තන වක්‍ර” (Cycles of Change) ලෙසයි. ඕනෑම වෙනසක් සිදු කිරීමේදී 1) දේශපාලනික, 2) තාක්ෂණික, සහ 3) සංස්කෘතික යන වක්‍ර තුනෙහි හැසිරීම පිළිබඳව මනා අවබෝධයකින් ඒවා තුලනය කළ යුතුය.

රාජ්‍යතන්ත්‍රයට අභියෝග

ජනරජය සැබැවින්ම දැන් ඇත්තේ දේශතාන්ත්‍රික අර්බුදයකය. “225 ම එපා” යන සටන් පාඨය දැන් “පාර්ලිමේන්තුව එපා” කියන තැනට තල්ලු කර ඇත. එයින් නැවතත් තහවුරු වන්නේ ජනරජයේ තාන්ත්‍රික ආකෘතිය සහ ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවලිය පිළිබඳව වැසියන්ගේ ඇති කලකිරවන නොදැනුවත්කමය.

එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ආන්තික ජාතිකවාදී පුද්ගලයන් සහ කණ්ඩායම් දැන් ප්‍රජාතන්ත්‍රයට පහර ගසමින් සිටී. ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රය වෙනුවට ඒකාධිපති හමුදාපාලනයක් වඩා සුදුසු බවයි! එය දැන් එළිපිටම කියනු පෙනේ. එය අශිෂ්ට වූත් සාහසික වූත් මුග්ධ ප්‍රකාශයකි. එය බියජනක පෙරනිමිත්තකි.

මෙයට වගකිව යුත්තේද වෘත්තීමය මන්ත්‍රීවරුන්ය. නූගත් වැසියන් විවිධාකාරයෙන් රවටමින් ව්‍යවස්ථාව දූෂණය කරමින් අත්තනෝමතික කතිපයාධිපත්‍ය පාලනයක් ගෙන ගිය සියලු පක්ෂවලට අයත් ඔවුන් විසින් ප්‍රජාතන්ත්‍රය කෙරෙහි වැසියන් තුළ වෛරයක් ඇති කර ඇත. අවාසනාව නම් ඔවුන් මෙතෙක් කල් කළේ ප්‍රජාතන්ත්‍රය නොවන බවත් හුදු පක්ෂතන්ත්‍රය පමණක් බවත් තේරුම් ගැනීමට තරම් දැනුමක් ජනරජයේ වැසියන්ට නොමැති වීමයි.

නිසි කලට නිසි දේ

මා එදා යෝජනා කළ පරිදි ජනපතිවරණයෙන් පසු මන්ත්‍රීවරුන් ⅔ කගේ යෝජනාවෙන්  වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පැවැත්වූවා නම් අද මේ අර්බුදය නැත. නමුත් බොහෝ මන්ත්‍රීවරුන්ට තව මාස තුනක්වත් මන්ත්‍රීකමේ සිටින්නට උවමනා විය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මාස තුනට ඇමතිකම් උවමනා විය. 

සිරිසේන-රනිල් සිදු කළ වැරැද්දම ගෝඨාභය-මහින්ද ද කරමින් මාස තුනට සුළුතර ආණ්ඩුවක් හදා ගත්තේය. ඒ ආණ්ඩු බලය ඇති විට මහමැතිවරණයෙන් ⅔ ක ආසන සංඛ්‍යාවක් ලබා ගත හැකි යැයි සිතූ නිසාය. රනිල් ද එයට ඉඩ දී බලා සිටියේ ය. ඒ මාස තුන ඇතුළත අයවැයක් හෝ සම්මත කරගත නොහැකිව ආණ්ඩුව අසාර්ථක වන බව ඔහු දන්නා නිසාය. 

දැන් එවැනි ආත්මාර්ථකාමී උපක්‍රමවල ආදීනව ඔවුන් මෙන්ම සියලු වැසියන්ද විඳවමින් සිටී. රාජ්‍යතාන්ත්‍රික ජනතා නියෝජිතයන් නිසි කලට නිසි දෙය නිසි පරිදි කළ යුතුය කියන්නේ ඒ නිසාය.

මහමැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය

මහමැතිවරණය කල් දමා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන තැනට තල්ලු කිරීමට ඇතැම් පිරිසක් සූක්ෂමව කටයුතු කරමින් සිටී. මැතිවරණය පැවැත්වීම දැන් කොමිසම සහ ජනපති අතර කඹ ඇදිල්ලක් බවට පත්ව තිබේ. 

එජාප, ජවිපෙ, දෙජාස සියලු පාක්ෂිකයන් දැන් වසංගතය පිට දමා පරණ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලයි. වසංගතය පාලනය සඳහා අනවශ්‍ය ලෙස භාවිතා කළ ඇඳිරිනීතිය දැන් පාරාවලලක් වී එමින් තිබේ. එම ක්‍රියාව සඳහා ජනපතිව තල්ලු කිරීම අහම්බයක් විය නොහැකි යැයි දැන් මට සිතේ. ජනරජයේ තීරණ ගත යුත්තේ වැසියන් විසින් තෝරා ගත් නියෝජිතයන් මිස වෘත්තීය සමිති නායකයන් හෝ විශේෂඥයන් හෝ නොවේ.

හදිසියේ හෝ පාර්ලිමේන්තුව නැවත කැඳවනු ලැබුව හොත් එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු දක්වා එනම් පරණ පාර්ලිමේන්තුවේ වසර 5 හේ ධූරකාලය දක්වාම පවත්වාගෙන යෑමට ජනපතිට බල කෙරෙනු ඇත. එළඹෙන ආර්ථික අහේනිය හමුවේ එවිටද අයවැයක් හෝ නොමැතිව ආණ්ඩුව කබලෙන් ලිපට වැටෙනු ඇත. ඇතැම් විට ජනපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පවා ගෙන එනු ඇතැයි නොසිතා සිටිය නොහැකිය.

මේ සියලු දෙයින් පෙනෙන්නේ ජනපතිගේ උපදේශකයන්ට වඩා දුරදක්නා සූක්ෂම කපටි පිරිසක් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වන බවයි. සැබැවින්ම ජනපති වටේ වැඩිපුර සිටින්නේ මමංකාරක වන්දිභට්ටයන් මිස සෑම කරුණක්ම විවිධ පැතිවලින් තියුණු ලෙස විමසා බැලිය හැකි සත්‍යවාදී බුහුටි කණ්ඩායමක් නොවේ.

මහමැතිවරණයේ ප්‍රතිඵලය

වරණයට පෙර තම ප්‍රචාරක ව්‍යාපාර කරගත නොහැකි වේ යැයි සිතමින් පරණ මන්ත්‍රීවරු සහ වෙන්ට මන්ත්‍රීවරු දැන් ඉන්නේ කණගාටුවෙන්ය. මන්ද ඔවුන්ට වැදගත් වන්නේ ජනපති හෝ වසංගත හෝ සෞභාග්‍යයේ දැක්ම හෝ නොවේ. ඔවුන්ට වැදගත් වන්නේ පාර්ලිමේන්තුවට පැන ගැනීමට අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව කෙසේ හෝ මිලදී ගැනීමය.

කෙසේ හෝ මහමැතිවරණය පැවැත්වුවත් එයින් එතරම් වෙනසක් සිදු නොවනු ඇත. පොදුජන පෙරමුණට ආණ්ඩුව පිහිටුවා ගැනීම අමාරුවෙන් කර ගත හැකිය. ජනතාව දැන් ඉන්නේ වික්ෂිප්ත භාවයෙනි. අනාගතය අපැහැදිලිය. ජනතාවට අවශ්‍යම මොහොතේ ඔවුන් බලාපොරොත්තු වූ ලෙන්ගතු පීතෘ නායකත්වය ලැබුනේ නැත. ඒ වෙනුවට අප දුටුවේ සුචරිත සූචකයන් සහ ජාතිවාදී මාධ්‍යකරුවන් තොරතෝංචියක් නැතුව ජනතාවටම ඇනුම් පද කියමින් බනින බැනුම්ය.

රාජ්‍යතන්ත්‍රයේ වැදගත්ම දෙය නම් ජනතාව සමග නිරන්තරයෙන් මුහුණට මුහුණ තත්කාලයේ සන්නිවේදනය කිරීමය. ට්‍රම්ප්ලා, බොරිස්ලා, ලී ලා ගෙන් ඉගෙන ගත යුතු පාඩම එයයි. දිව්‍යලෝකවන් සභාගර්භ තුළ සුවපහසු අසුන් අරා සිනහ වෙමින් සිදු කරන බර බර සාකච්ඡා පෙන්වීමෙන් ජනතාවට කිසිදු ඵලක් නැත. 

ආහාර බෙදීමද එතරම් සාර්ථක වූයේ නැත. මෙවැනි අවස්ථාවක එවැනි සංකීර්ණ තාක්ෂණික ව්‍යාපෘතියක් කිරීමට යෑම පරිවර්තන වක්‍ර මුලධර්මයට පටහැනිය. තව එක පැත්තකින් වගා සංග්‍රාමයක් අරඹන ලෙස කියමින් පොෂ් ලොක්කන් සහ ලොක්කියන් චැලේන්ජ් වීඩියෝ දමමින් විකාර නටද්දී අනෙක් පැත්තෙන් එළවලු ගොවියන් තම අස්වැන්න විකුණාගත නොහැකිව හැඬූ කඳුලිනි. දැන් කරන කිසිදු දෙයක් නිසියාකාරයෙන් සැලසුම් කරන බවක් පෙනෙන්නට නැත.

ඊළඟ වසර පහට හැදෙන පාර්ලිමේන්තුවත් අවිශිෂ්ට එකකි. නමුත් ජනරජයට අත්‍යවශ්‍ය ව්‍යවස්ථාදායකය නැති වෙනවාට වඩා එය හොඳය. එහි සංයුතියේ වෙනසක් නොවන්නේ එසේ වෙනස් කිසිවෙකුට නාම යෝජනා නොදුන් බැවිනි. කොහොමත් එම පාර්ලිමේන්තුවට යනවාට වඩා නොයන එක හොඳය. මන්ද එයට ලැබෙන්නේ තම පාලනය යටතේ නැති බරපතල සමාජ-ආර්ථික අභියෝගයකි. ඒ ගැන ඊළඟ ලිපියෙන්.

එරන්ද ගිනිගේ
2020 අප්‍රේල් 13
ජනරජයේදී

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker