ජනපතිවරණයකින් පරදින ක්‍රම 5 ක්

ජනපතිවරණයකින් පරදින ක්‍රම 5 ක් 

ජනතාපාලනය ඇති ජනරජයක පවත්වන වරණයක ‘ජයක්’ හෝ ‘පරාජයක්’ හෝ නොමැත. ඇත්තේ යම් අවස්ථාවක ගන්නා ජනතා තීරණ පමණී. නමුත් තවම ලංකාවේ (සහ බොහෝ රටවල) ඇත්තේ ජනප්‍රියවාදය සහ පක්ෂපාලනයයි. එවැනි නොදියුණු තත්ත්වයක් යටතේ හුදී ජනයාට “වරණය” යනු ජය-පරාජය සහිත සෙල්ලමකි. එම සෙල්ලම දිනන ආකාරය බොහෝ පණ්ඩිතයෝ විග්‍රහ කරති. මා පණ්ඩිතයෙක් නොවන නිසා එළඹෙන ජනපතිවරණයෙන් පරදින ආකාර සාකච්ඡා කිරීමට සිත් විය.

1. තමා දිනනවා යැයි සිතන්න

ලංකාවේ කිසිම වරණයකින් මෙතෙක් කිසිවෙකුත් දිනා නොමැත. සැබැවින්ම සිදු වන්නේ ප්‍රතිවාදියා පරාජය වීමයි. බොහෝ ජනතාව තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන එකම සැබෑ බලය වන තම ඡන්ද බලය භාවිතා කරන්නේ කෙනෙකු පරාජය කිරීමට මිස, කිසිවෙකුත් දිනවීමට නොවේ. කොහොමත් පෘතග්ජන මිනිසා ස්වභාවයෙන්ම වෙනකෙකු දිනනවාට කැමති නැත. විශේෂයෙන්ම තමාට වඩා සාර්ථක මිනිසුන් පරාජය වනු දැකීමට ඔවුන්ට කෘර ආශාවක් ඇත. එම නිසා ජනපතිවරණයෙන් පරාජය වීමට නම් පළමුව කළ යුත්තේ තමා දිනනවා යැයි සිතා තමාගේ ජයග්‍රහණය වෙනුවෙන්ම වැඩ කිරීමයි.

2. ඡන්ද සූත්තර හදන්න

ඇතැමුන් පසුගිය වරණවල ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් සරල සමීකරණ ඇසුරෙන් ජනපතිවරණයේ ප්‍රතිඵල පුරෝකථනය කරයි. ජනතාපාලනය ඇති ජනරජයේ වැසියන් “මෙච්චර ඡන්ද” “අච්චර ඡන්ද” ලෙස ගිණුම් තැබීම ජනරජයේ මූලික සංකල්පවලට නිග්‍රහයකි. චිත්තක්ෂණයක් පාසා වෙනස්වන සිත් ඇති මිනිසුන් හුදු අචේතනික, අපරිණාම්‍ය “කතිර” ලෙස ගණන් කිරීම අශිෂ්ට විහිළුවකි. සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් අසීමාන්තිකව කෙටි වෙමින් පවතින 21වන සියවසේ වැසියන්ගේ ‘අවධාන විතස්තිය’ ගැන වගේ වගක් නැති අයගේ එම ප්‍රලාප විශ්වාස කරමින් “මට දැන් ගන්න තියෙන්නේ මෙච්චරයි” යනුවෙන් සිතා කටයුතු කිරීමෙන් ජනපතිවරණයෙන් නියත ලෙස පරාජය විය හැකිය.

3. මෝඩයන් වටකර ගන්න

නිතර තමාගේ ගුණ වයන, තමා වටේ පරිභ්‍රමණය වෙමින් සෙල්ෆි ගහන, ඒවා බුකියේ දමමින් පොර වෙන, තමා මුරුංගා ගහේ නග්ගන, තමා කියන කරන සියලු දේ දේවත්වයේ ලා සලකන, අනුන් ගැන නිතර කේලාම් කියන, ඔවුන්ගේ මතය පමණක්ම නිවැරදි යැයි සිතන අහංකාර මෝඩයන් පිරිසක් තමාගේ ලේකම්වරු සහ නියෝජිතයන් ඇතුළු විශ්වාස කටයුතු කණ්ඩායම ලෙස පත් කර ගත යුතුය. එවිට හොඳ නරක සමසේ විමසා බලන සැබෑ දක්ෂයන් නිහඬව තමාගෙන් ඉවත් වී යයි. පරාජය වීමට ඇති හොඳම ක්‍රමය එවැනි ලස්සන කුඩා බුබුළක් හදා ගැනීමයි.

4. ජාතිවාදී උපක්‍රම යොදන්න

සියලුම ජාතිවල වැසියන්ට සමාන පරමාධිපත්‍යයක් ඇති ජනරජයේ නියෝජක ප්‍රධානයා වීම සඳහා ඒ එක් එක් ජාතිවල වැසියන් වෙන වෙනම දිනා ගැනීමට යෑම වැරදිය. නමුත් එම සමානාත්මතා මූලධර්මය නොදන්නා සහ දැන දැන නොපිළිගන්නා ජාතිවාදීන් මෙන්ම බහුබූත ශ්‍රී ලන්කන් ජාතිකවාදීන් ලංකාවේ ඇති බවද සත්‍යයකි. මෙය තරමක උභතෝකෝටිකයකි. කළ යුතු නිවැරදි දෙය නම් සිංහල, දෙමළ, මුස්ලිම්, ශ්‍රී ලන්කන් සියලු ජාති(ක)වාදීන් ප්‍රතික්ෂේප කිරීමය. ඒ වෙනුවට විවිධ ජාතිවල වැසියන්ට සමානව පිළිගත හැකි සාධාරණ ප්‍රස්තුතයක් ඉදිරිපත් කිරීමය. “දෙමළ, මුස්ලිම් ඡන්ද වලින් මට දිනන්න පුළුවන්”, “සිංහල ඡන්ද වලින් විතරක් මට දිනන්න පුළුවන්” වැනි ජාතික කෙටවීම් කිරීමෙන් ජනපතිවරණයෙන් පරාජය විය හැකිය.

5. ඕනෑවට වඩා පැණි දාන්න

කැවුම් වැඩියෙන් රස කරන්නට කියා වැඩිපුර පැණි එකතු කළ විට කැවුම හරියට බැදගත නොහැකිය. අවසානයේ පිටිත් නැත, පැණිත් නැත, කන්න කැවුමකුත් නැත. ජනපතිවරණ ප්‍රචාරණ සහ සංවිධාන කටයුතු ඕනෑවට වඩා රස කරන්නට යෑමද පරාජය වීමට හොඳ ක්‍රමයකි. ලංකාවේ ජනතාව පමණට වඩා ස්වස්ථතා කැටයම් ඉවසන්නේ නැත. කොහොමත් අපේ බොහෝ ජනතාව ඉරිසියාකාරයන්ය. එම නිසා ඔවුන්ට ඕනෑවට වඩා ෂෝ එක දැමීමෙන් ලොකු වියදමක් දරාගෙනම පරාජය වීමට හැකිය.

එරන්ද ගිනිගේ
2019 සැප්තැම්බර් 28 වැනි දින
ජනරජයේදී.

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Menaka Muditha Bandara
    ජනාධිපතිවරණය ගැන කතා කලාට මට මතක් උණේ මගේ පහුගිය පළාත් පාළන චන්ඩ්ගේ චන්ද පිට ග්‍රාමසේවා වසම් 2කම දිනලත් මං ජීවත්වෙන ග්‍රාම සේවා වසම අන්තෙට පරාදයි. එතකොට මං 104කින් කොට්ඨාසේම පරාදයි.. උඹ පැරදුනේ මේ හින්දා කියලා මට කිව්වා වගේ .
    Reply
Menu