බදුර්දීන් සහ රෙජීම් change

සිංහල සහ දෙමළ සමාජය තුළ හැත්තෑ ගණන් වල ඉඳලම “බදුර්දීන්” කියන නමට අමුතුම විරෝධයක් තියෙනවා. නමුත් “බදුර්දීන්” කියලා කෙනෙක් ඇත්තටම නැහැ. හරි නම තමයි “බදිඋදීන්”. ඒක බදුර්දීන් වුනේ කොහොමද කියල මට හරියටම කියන්න බැහැ. සමහර විට “උ”යන්න මැදට එන වචන සිංහලට නුහුරු නිසා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඒ සියුම් සමාජ විරෝධය රෙජීම් change ව්‍යාපෘතියට නියම මෙවලමක්.

බදිඋදින් මහමුද්

බණ්ඩාරනායකගේ සමකාලීනයෙක් හිටියා බදිඋදින් මහමුද් කියලා. ඔහු මාතර පොහොසත් පවුලකින් එන උගතෙක්. තරුණ මුස්ලිම් ලීගය හරහා නිදහස් සටනට මුස්ලිම් නායකත්වය දෙන්න පුරෝගාමී වූ අයෙක්. බණ්ඩාරනායකලා, රාජපක්ෂලා එක්ක එජාපෙන් එළියට ඇවිල්ලා අනාගත ජනරජයේ දේශපාලන වම නිර්මාණය කරපු ප්‍රධාන චරිතයක් බදිඋදින් මහමුද්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ලේකම් ඔහුයි. පසුව සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වෙන්නෙත් ඔහු (1970-77).

“සියලු මුස්ලිම්වරු සිංහල භාෂාව උගත යුතුයි” කියල බදිඋදින් කිව්වේ 1948 සිලෝනයේ ස්වාධීනත්වයට කලින් ඉඳලමයි (1948 ලැබුවේ ස්වාධීනත්වය මිස “නිදහස” නොවේ). පසුව ඔහු සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ පනතට 1956 දී සහාය දෙනවා. මුස්ලිම් සමාජය සිංහල සමාජයත් සමග මුහු කිරීමට බදිඋදින් මුල ඉඳලම කටයුතු කරපු බවක් පේනවා. ඒ වගේම පාසල් සහ උසස් අධ්‍යාපනයට එතරම් වැදගත්කමක් නොදුන් පාරම්පරික වෙළඳුන් ලෙස සැලකූ එකල මුස්ලිම් සමාජය අධ්‍යාපනයට යොමු කරවන්න ඔහු කටයුතු කළ බවක් පේනවා.

දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට වැඩි අනුපාතයක් දෙන්න මුළින්ම කටයුතු කරේ ඔහු. එයින් මුස්ලිම් දරුවන් විශ්වවිද්‍යාලයට යෑම වැඩි වුනා. අන්න ඒ නිසා තමයි සිංහල සහ දෙමළ සමාජයේ බදිඋදින්ට විරෝධයක් එන්නෙ. ඒ වගේම මුස්ලිම් සමාජය තුළ බදිඋදින් කියන නමට විශේෂ ලෙන්ගතුකමක් තිබෙනවා. මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල සමාජය කුපිත කරවන්න “බදිඋදින්ව” එදා භාවිතා කර තිබෙනවා. හරියට අද කරන්නා වගේ.

රිෂාඩ් බදිඋදීන්

නැවත බදිඋදීන් කෙනෙක් එන්නේ මන්නාරමෙන්. රිෂාඩ් මොරටුව විශ්වවිද්‍යාලයේ NDT ඩිප්ලෝමාධාරි ඉංජිනේරුවෙක්. 2001 පාර්ලිමේන්තුවට මුල්වරට රිෂාඩ් තේරෙන්නේ රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයෙන්. ඒ එක්සත් ජාතික පක්ෂය (පෙරමුණ) සමග. 2004 නැවත පාර්ලිමේන්තුවට තේරෙන රිෂාඩ්, රවුෆ් හකීම් සමග ඇතිවෙන ආරවුලක් නිසා පක්ෂයෙන් නෙරපා හරිනවා.

එතැනදී තමයි රිෂාඩ් බදිඋදීන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ අගමැති. 2005 බදිඋදීන් සමස්ත ලංකා මක්කල් (ජනතා) කොංග්‍රසය කියලා පක්ෂයක් හදා ගන්නවා. 2010 පොදු ජන පෙරමුණ සමග එකතුවෙලා රිෂාඩ් නැවත පාර්ලිමේන්තුවට තේරිලා මහින්දගේ ආණ්ඩුවේ ඇමතිකෙනෙක් වෙනවා.

2014 දී මක්කල් කොංග්‍රසය සිරිසේනට සහාය දෙන්න “යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ” සමග එකතු වෙනවා. මහින්ද රාජපක්ෂ ඒ නිසා රිෂාඩ්ව ඇමැතිකමින් ඉවත් කරනවා. 2015 ජනවාරි 8 සිරිසේන ජනපති වෙලා නැවත රිෂාඩ්ට ඇමතිකම දෙනවා. 2015 මහමැතිවරණයෙන් “යහපාලන පෙරමුණෙන්” නැවත රිෂාඩ් පාර්ලිමේන්තුවට තේරෙනවා. මක්කල් කොංග්‍රසය වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්.

මේ ඔක්කොම සෙල්ලම් දාන රිෂාඩ්ට තියෙන්නේ වන්නියේ ඡන්ද 26,291 ක් විතරයි. රිෂාඩ් කියන්නේ මහා ලොකු ඡන්ද පදනමක් තිබෙන කෙනෙක් නොවෙයි. නමුත් ඔහුට තිබෙනවා “බදිඋදීන්” කියන නම. අර සිංහල සහ දෙමළ සමාජයේ හැත්තෑ ගණන්වල ඉඳලා මුල්බැසගත් විරෝධය එල්ල වෙන නම. අනෙක් පැත්තෙන් මුස්ලිම් සමාජයේ ගෞරවාදරයක් තියෙන නම. ඉතින් රෙජීම් change ඒජන්ට්ස්ලට ඊට එහා සංකේතයක් අවශ්‍ය නැහැ.

සිංහල – මුස්ලිම් විරසකයේ සංකේතය

ජනතාව බෙදා වෙන් කිරීම දේශපාලනයේ මූලික උපක්‍රමයක්. එහෙම කරන්න ඒ ඒ ජනතා කණ්ඩායම් නියෝජනය කරන පණ තියෙන සංකේත අවශ්‍යයි. උදාහරණයක් හැටියට ඩී.එස්. සේනානායක තිස්-හතලිස් ගණන්වල සිංහල-දෙමළ බෙදීම ඇති කරේ බණ්ඩාරනායක සහ ජී.ජී. පොන්නම්බලම් එකිනෙකාට විරුද්ධ සංකේත හැටියට හුවා දක්වලා.

2010 ට පස්සේ ඇරඹෙන රෙජීම් change ව්‍යාපෘතියේ ප්‍රධානම උපක්‍රමයක් වුනේ සිංහල-මුස්ලිම් විරසකය. ඒ සඳහා මුස්ලිම් සමාජය නියෝජනය කරන සංකේතයක් අවශ්‍ය කරා. රවුෆ් හකීම්, අසාත් සාලි වගේ අයට මුස්ලිම් සමාජයේ කොහොමත් ගෞරවයක් නැහැ. ඉතින් ඒ සංකේතයට සුදුසුම කෙනා තමයි රිෂාඩ් බදිඋදීන්. ජාතික හෙළ උරුමයේ කල්ලි සහ පිල්ලි ටික ඔක්කොම දිගට හරහට බදිඋදීන්ට ගහන්න පටන් ගත්තේ අන්න එහෙමයි.

ඥානසාර ගහන්නෙත් බදිඋදීන්ට. රතන ගහන්නෙත් බදිඋදීන්ට. ආනන්දසාගර ගහන්නෙත් බදිඋදීන්ට. චම්පික ගහන්නෙත් බදිඋදීන්ට. ගම්මන්පිල ගහන්නෙත් බදිඋදීන්ට. ඔක්කොම ගහන්නේ බදිඋදීන්ට. එහෙම තමයි සිංහල ජනතාවගේ පොදු සතුරා ලෙස “බදිඋදීන්” දේශපාලනිකව සංකේතවත් කරන්නේ. විල්පත්තුව කියන්නේ එතැනදී පාවිච්චි කරපු නියම තුරුම්පුවක්. ඒ ගැන මම කලින් ලියලා තියෙනවා.

බදිඋදීන් සහ සදාම් හුසේන්

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ නිවුන් කුළුණු වලට මරාගෙන මැරෙන ගුවන්යානා යැව්වේ ඔසාමා බින් ලාඩෙන්. ඇමරිකාව තකහනියේ ගිහිල්ලා ගැහුවේ ඉරාකයේ සදාම් හුසේන්ට. ඒකට හේතුව සදාම් හුසේන් කියන්නේ ඇමරිකානුවන්ට ඉස්ලාම්වදී සතුරාගේ ජීවමාන සංකේතය. හරියට දැන් සිංහල-බෞද්ධයන්ට බදිඋදීන් වගේ.

ඉරාක ආක්‍රමණය සඳහා ජෝර්ජ් බුෂ් (ජනපති), ඩික් චෙනී (අගමැති), ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් (ආරක්ෂක ලේකම්), කොලින් පවල් (රාජ්‍ය ලේකම්), කොන්ඩලීසා රයිස් (ආරක්ෂක උපදේශක) එකතුවෙලා අභූත න්‍යෂ්ටික ආයුධ මවලා එක්සත් ජාතීන්ව පවා නම්මගන්නවා ඉරාකෙට ගහන්න. ඒ වෙලාවේ ද්වේශයෙන් පිපිරී පිපිරී හිටපු ඇමරිකානු ජනතාවට ඕන වුනේ කාගෙන් හරි පලිය ගන්න. ඉතින් සදාම් හුසේන්ව මරලා ඒ තරහව පිරිමහගත්තා. ඊට පස්සේ මැදපෙරදිග කතාව ඛේදවාචකයක්.

2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ  මරාගෙන මැරෙන බෝම්බකරුවන් එව්වේ ISIS ලොක්කා අබු-බකර් අල්-භග්ඩාඩි. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ඇඟිල්ල දික්කරේ මුජිබර් රාහුමන් සහ අසාත් සාලිට. නමුත් මෙන්න දැන් සියල්ල කැරකෙන්නේ බදිඋදීන්ට විතරයි. රතන තමයි මුලින්ම විශ්වාසභංග අදහස ගේන්නේ. ගම්මන්පිල ඒ යෝජනාව හීනියට රෝල් කරලා අපේ පොදු පෙරමුණේ බයියෝ ටිකට බැස්සුවා යටින් දිනෙත් වරද්දලා.

විශ්වාසභංගය සහ ජනපතිවරණය

රිෂාඩ් බදිඋදීන් කියන්නේ 100% ශුද්ධවන්තයෙක් කියලා මා කියන්නේ නැහැ. ඔහු කල්ලාරු වනයේ ගස් කැපුවේ නැහැ කියලා මා කියන්නෙත් නැහැ. ඔහු ජාවාරම්කරයෙක් නොවේ කියා මා කියන්නෙත් නැහැ. ඔහු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ වෙන්නත් පුළුවන්- නොවෙන්නත් පුළුවන්. ඒ සියල්ල තීරණය කළ යුත්තේ අධිකරණයයි. මන්ද ජනරජයේ ඕනෑම පුරවැසියෙක් අධිකරණයක පවත්වන සාධාරණ නඩු විභාගයකින් අනතුරුව වැරදිකරුවෙක් කරන තුරු ඔහු හෝ ඇය නිර්දෝෂීයි.

මෙතන ඇත්තටම කරන්නේ රෙජීම් change සෙල්ලම. 2012 විතර ඉඳලා එජාපය සහ ජාතික හෙළ උරුමය විසින් රාජපක්ෂලාගෙන් උපක්‍රමිකව බිඳ දමපු මුස්ලිම් ජනතා සහයෝගය නැවත හැදෙමින් තිබෙනවා. ජනපතිවරණයකදී ජනරජයේ සියලුම ජනතාව ඍජුව ඡන්දය දෙනවා. ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතා සහයෝගය නැතුව ජනපතිවරයෙක් තේරෙන්නේ නැහැ. තේරුනත් එක අස්වාභාවික විකෘතියක්. බදිඋදීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයේ අරමුණ තමයි අර හැදෙමින් තිබෙන මුස්ලිම් සහාය නැවත රාජපක්ෂලාට අහිමි කරවීම.

රතනලා-ගම්මන්පිලලා ගහන්නේ බදිඋදීන් කියන පුද්ගලයාට නොවෙයි. ඔවුන් ගහන්නේ බදිඋදීන් කියන මුස්ලිම් සමාජ සංකේතයට. උදාහරණයක් හැටියට රාජිත සේනාරත්නට බනින කොට අපි බනින්නේ ඒ පුද්ගලයට මිසක් රාජිත කියන සිංහල-බෞද්ධයාට නොවෙයි. නමුත් බදිඋදීන්ට ගහන්නේ මුස්ලිම් ජනතාවටත් එක්ක. එහෙම ගහනකොට මුස්ලිම් ජනතාවට ඒක දැනෙනවා.

ද්විත්ව බන්ධන උගුල

ගම්මන්පිල බදිඋදීන්ව අමුණනවා පොහොට්ටුවේ අනාගත ජනපති අපේක්ෂකට. මේ වෙලාවේ කිසිසේත්ම අදාළ නැති කතාවක් ඒක. ඔහු තර්ජනාත්මක කොන්දේසියක් දානවා බදිඋදීන්ගේ සහාය ගත්තොත් තමන් සහාය නොදෙනවා කියලා. ඒක හරියටම ඔහු ඇතුළු ජාතික හෙළ උරුමයේ කල්ලි සහ පිල්ලි 2014 මහින්දට දැම්මා වගේ ද්විත්ව බන්ධන චන්ඩි පාර්ට් එකක්.

බදිදුදීන්ගේ හරි ගම්මන්පිලගේ හරි සහාය ගන්නවද නැද්ද කියන එක ජනපතිවරණයක එතරම් වැදගත් සාධකයක් නොවෙයි. එහෙම සාකච්ඡාවක්වත් තාම වෙලා නැහැ. ජනපතිවරණය කියන්නේ මහමැතිවරණය නොවෙයි. ඒ අතරේ එජාපය ලස්සනට තමන්ව ස්ථානගත කරගන්නවා මුස්ලිම් ජනතාවගේ මිතුරා හැටියට. ඔවුන් මුස්ලිම් නායකයන් එකතු කරගෙන මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. ඔවුන් විශ්වාසභංගයට අත් ඔසවන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියනවා.

විශ්වාසභංගයට අත්සන් කළේ නැහැ කියලා මහින්දට බනින්නෙත් ඔය හෙළ උරුමේ කල්ලි සහ පිල්ලිම තමයි. ඒ කරන්නේ සිංහල-බෞද්ධ ජනතාව රාජපක්ෂලා කෙරෙහි බිඳවන එක. ඒක තමයි ද්විත්ව බන්ධනය. මහින්ද කියන්නේ ජනරජයේ බිහිවෙච්ච උසස්ම ජනපති. ඔහු ජනරජයේ සියලුම ජනතාවගේ ජනපති. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හැමෝම ආදරේ කරන ජනපති. ඔහුට ඔය වගේ උගුල් අටවන සතුරන්ගෙන් ඔහු බේරා ගැනීම අපේ වගකීමක්.

කවුද කිව්වා විශ්වාසභංගය පැරදුනත් පොහොට්ටුව දිනුම් කියලා. නමුත් ඇත්ත ඒක නොවෙයි. විශ්වාසභංගය පැරදුන විට එයින් සමාජයට ගම්‍ය වෙනවා රිෂාඩ් බදිඋදීන් වැරදි නැහැ කියලා. එජාපය එතකොට කියනවා පොහොට්ටුව මුස්ලිම් නායකයන්ට බොරුවට චෝදනා කරනවා කියලා. මුස්ලිම් ජනතාව විතරක් නොවෙයි, අර වැනෙන මධ්‍යස්ත සෙට් එකත් පොහොට්ටුවෙන් කැඩෙනවා. ඔන්න ඕක තමයි සරලව සැලැස්ම.

එරන්ද ගිනිගේ

2019 මැයි 20

මට බදිඋදීන්ගෙන් වැඩක් නැත. මට අවශ්‍ය ඔබ සියලු දෙනා රෙජීම් change ඒජන්ට්ස්ලාගේ උගුලට නැවත අසු නොවීමටය.

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker