මැටි වැඩ සහ මැටි මොළ

පළමුව කිව යුත්තේ මෙය කියවා කිසිවෙකුත් මා ඇමතීමට උත්සාහ නොගත යුතු බවයි. මැටි කර්මාන්තය නගා සිටුවීමට යම්කිසි මහාචාර්යයෙකු විසින් සිදු කළ යෝජනා සහ ඔහුට මැටි විෂයභාර අමාත්‍යංශයෙන් ලැබුණු ආදරණීය දුරකථන ඇමතුමක් ගැන ලියැවුණු ළාමක පෝස්ටුවක් දුටිමි.

මැටි වැනි ස්වභාවික අමුද්‍රව්‍යයකින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි නම් එය ඉතා හොඳ දෙයකි. දීර්ඝකාලීන පැවැත්ම ගැන කතා කරන සමාජ ව්‍යවසායකයෙකු වන මා එයට එක පයින් කැමතිය. නමුත් අදාළ මහාචාර්යවරයාගේ යෝජනා කියවීමේදී ඔහු ප්‍රකෘති ලෝකයෙන් කෙතරම් දුරස්ථ දැයි පෙනී යයි.

ඇස්බැස්ටොස් සෙවිලි තල යනු සෞඛ්‍යයට අහිතකර දෙයක් බව සත්‍යයකි. එයට ආදේශකයක් ලෙස මැටි උළු භාවිතා කළ හැකි නම් ඉතා අගනේය. නමුත් එහි ප්‍රායෝගික ගැටලු එමටය. ඇස්බැස්ටොස් සෙවිලි තල වැඩිපුර විකිණෙන්නේ වැඩි වර්ග ප්‍රමාණයක් අඩු මිළකට පහසුවෙන් ආවරණය කරගත හැකි නිසාය. එය වෙනස් කිරීමට නම් එම මිලටම හෝ අඩුවෙන් හෝ උළු ආදේශක වෙළඳපොළට සැපයිය යුතුය.

මිල අඩු කිරීමට නම් සහ වෙළඳපොල අවශ්‍යතාවය සපුරාලීමට නම් විශාල මැටි උළු සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ යුතුය ඉංග්‍රීසියෙන් Economies of Scale ලෙස හඳුන්වන නියමය එයයි. ඒසා මැටි උළු සංඛ්‍යාවක් තැනීමට නම් ඒසා මැටි කන්දරාවක් පොළොව හාරා ගත යුතුය. මහා පරිමාණයෙන් මැටි හැරීම අපේ භූමියේ පස සහ ජලය විනාශ කරයි. ඒ ගැන විද්‍යාත්මක පර්යේෂණ වාර්තා පවා පළවී ඇත.

මැටි උළු වහලයක් තැනීමට පරාල සහ රීප්ප ළඟින් ළඟින් සවි කළ යුතුය. එවිට ඇස්බැස්ටොස් සෙවිලි තල ඇතිරීමට යන ලී ප්‍රමාණයට වඩා වැඩි විශාල ලී ප්‍රමාණයක්ද වැය වේ. ඒ සඳහා වැඩිපුර ගස් කැපිය යුතුය. වහලයේ වියදමද වැඩි වේ. වෙළඳපොළ ගැන අවම අවබෝධයක් හෝ ඇත්නම් මේ ගැටලු තේරුම් ගත හැකි විය යුතුය.

මහාපරිමාණයෙන් මැටි උළු නිෂ්පාදනය කිරීමට නම් යන්ත්‍ර භාවිතා කළ යුතුය. එවිට මිනිස් ශ්‍රමය අවශ්‍ය නොවේ. මිනිස් ශ්‍රමය පමණක් භාවිතා කරනවා නම් එය අඩු මිලට ගත යුතුය. නැත්නම් ඇස්බැස්ටොස් සෙවිලි තල මිල සමග තරග කළ නොහැකිය. ඒ දෙකෙන් කුමක් කළත් එම ශ්‍රමිකයන්ට වැඩිපුර ආදායමක් එන්නේ නැත. දුප්පත්කම විසඳෙන්නේ නැත.

මේ අනුව ගත් කළ මහාපරිමාණ මැටි උළු නිෂ්පාදනය නිසා ඇතිවන ආර්ථික වාසියට වඩා ඉතා වැඩි සමාජ-පාරිසරික-ආර්ථික අවාසි ඇත. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වලින් බලාපොරොත්තු වන්නේ පර්යේෂණාත්මක විද්‍යාත්මක විසඳුම්ය. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල වලින් එන්නේ මෙවැනි ළාමක ජනප්‍රිය කතාය.

නමුත් එයටත් වඩා සිත් ගන්නා සුලු නිරීක්ෂණය නම් එම යෝජනා වල ඇති ගතානුගතිකභාවයයි. ඔහුට අනුව අපි “සුද්දන්ට නෙස්කැෆේ පෙවීමට” මැටි කෝප්ප තැනීමෙන් අපනයන ආදායම වැඩි කරගත හැකිය. එය සුද්දියන්ට යටඇඳුම් මැසීමට වෙනස් නොවේ. එම කිසිදු යෝජනාවක නව්‍යකරණයක් නැත. කිසිදු ස්වදේශික චින්තනයක් නැත. වෙළඳපොළ ගැන අවබෝධයක් නැත. දීර්ඝකාලීන පැවැත්ම පිලිබඳ වගේ වගක් නැත. ඇත්තේ වසර සිය ගණනක් තිස්සේ අනාගත් මැටි මොළ වල ජනිත වන පරගැති සාම්ප්‍රදායික ළාමක අදහස්ය. ශ්‍රී ලංකාව දියුණු නොවන්නේ මෙන්න මේ නිසාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තය දීර්ඝකාලීන ලෙස නව්‍යාකාරයෙන් සංවර්ධනය වනු දැකීම මාගේ අභිප්‍රායයි. එහෙත් ඒ සඳහා වෙනම ඇමතියෙකු පත් කිරීම නම් විහිළුවකි. එය විහිළුවක් බව ඉහත ආදරණීය දුරකථන කතාව සහ ඒ ගැන පම්පෝරි ගැසීමෙන්ම ඔප්පු වේ. ඔවුන් දෙදෙනාටම මම සුබ පතමි!

ගිනිගේ
2020 අගෝස්තු 18
ජනරජයේ දීය

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu