අර්බුද 2020 

ලංකාවේ වැසියන් වේගයෙන් සමාජාර්ථික වගුරක එරෙමින් තිබේ. මේ ඒ පිළිබඳව කෙටි හැඳින්වීමකි.

 

1) ජනපති රජෙකු ලෙස සැලකීම

ලංකාවේ බහුතර වැසියන්ට ප්‍රජාතන්ත්‍රය වටහා ගැනීමට ධාරිතාවයක් නොමැත. ඔවුන් සිතන්නේ ජනපති යනු “රජෙකු” වැනි කෙනෙකු කියාය. තම රැකියාව අහිමි වීම, සහල් මිල වැඩි වීම, දුර්ලභ වනජීවීන් මරා දැමීම, පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම, කොරෝනා වසංගතය ආදී එකී මෙකී නොකී සියලු ගැටලු සඳහා විසඳුම් දිය යුත්තේ ජනපති බව ඔවුන් සිතයි.

එය ඉතා කෝලම් තත්ත්වයකි. එක් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ නූතන සංකීර්ණ සමාජ ගැටලු විසඳිය නොහැකි බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. එවැනි අනිසි බලාපොරොත්තු තබා ගැනීම අවසානයේ දෙපාර්ශවයම අගතියට පත් වේ. ගැටලුව තවත් උත්සන්න වේ.

මේ තත්ත්වය නැවැත්විය හැකි ක්‍රමයක් දැනට නොපෙනේ. එම නිසා එය ක්‍රමයෙන් වැඩි වී අවසානයේ ජනපති කෙරෙහි වැසියන් තුළ විශාල අපේක්ෂා භංගත්වයක් ඇති කරනු ඇත.

2) පරණ පාර්ලිමේන්තුව නැවත ඉපදීම

ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවක් නොමැතිව නියෝජක ප්‍රජාතන්ත්‍රයක් තිබිය නොහැක. විධායකයට පමණක් රාජ්‍යයක් පවත්වාගෙන යා නොහැකි බව මේ මාස කිහිපය විසින් ඔප්පු කර ඇත. එසේ කරන්නට යෑම විධායකයත් විනාශ කර ගැනීමකි.

ඊළඟට තේරීමට නියමිත පාර්ලිමේන්තුවද අන්ත අසාර්ථක පරණ පරාණ සහිත එකක් වීම දැන් වැළැක්විය නොහැක. පරණ පාර්ලිමේන්තුව රැස් නොකිරීමට ජනපති ගත් වීර්යය ගැන මා සතුටු වුවත් තව මාසයකින් පමණ එම පාර්ලිමේන්තුවම නැවත ඉපදෙන නිසා එම වීර්යය ඵල රහිතය.

මේ තත්ත්වය දැන් වෙනස් කළ නොහැකිය. ඕනෑම පද්ධතියක් හොඳ හෝ නරකහෝ වන්නේ එයට ඇතුළු කරන ආදානයන්ගේ හොඳ නරක ප්‍රමාණයටය. එම නිසා ඊළඟ වසර පහ තුළ විධිමත් තාන්ත්‍රික සංවර්ධනයක් කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීම බොළඳ කර්මයකි. 

3) වැසියන්ගේ විනය පිරිහීම

ජනමාධ්‍යය යනු ජනමනස විකෘති කරන, මොට කරන, විස කරන ආයතන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. එහි බලපෑම තරමක් හෝ පාලනය වූයේ දවසේ යම් කාලයක් හෝ ඊනියා මාධ්‍ය ග්‍රහණයෙන් මිදී සැබෑ ලෝකයේ ජීවත් වීමට වැසියන්ට සිදු වූ නිසාය. නමුත් කොරෝනා තුන්මාසය තුළ සිය නිවෙස් තුළ සිර වී සිටි වැසියන්ට එම සැබෑ ලෝකය ගිලිහී ගියේය. 

ස්වපීඩක කාන්තා චරිත, ප්ලාස්ටික් තරුණ චරිත, දීන පිරිමි චරිත ඇතුළත් තුට්ටු දෙකේ හද්ද ගොඩේ සෝප් ඔපෙරා වල පැය ගණන් තම්බමින්; සැකය, වෛරය, ද්වේශය වපුරන පුවත් නැවත නැවත වමාරා පොවමින්; අතාර්කික, අවිද්‍යාත්මක, අධාර්මික සාකච්ඡා මොළයට තබා ඇණ ගසමින් එම පූර්ණ ග්‍රහණ කාලය තුළ සිදු කළ විඤ්ඤාණ හැක් කිරීම නිසා වැසියන් දැන් එම අලජ්ජී බිහිසුණු විකාර ලෝකය සිය සැබෑ ලෝකය කරගෙන සිටී.

මයික් එකක් සහ වීඩියෝ කැමරාවක් තිබූ පමණින් පරිණත මාධ්‍යකරුවන් වන යූටියුබ් චැනල්කාරයන් ඇතුළු ෆේස්බුක් පේජ් / ග්‍රෲප් ඇඩ්මින්ලා අර ඊනියා ජනමාධ්‍යය ආයතනවලින් යම්තම් හෝ ගැලවුණු පිරිසට ඒ අදාළ බෙහෙත දී ඇත. 

4) රණවිරුවන් සවුත්තු වීම

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ප්‍රවර්ධනය කිරීමට යෑමෙන් එය බාල වේ. තමන් ගැන අධිතක්සේරුවෙන් සිතා කතා කර්ම කිරීමට යෑමෙන් ඉක්මනින්ම නා ගන්නට සිදු වේ. හමුදා ප්‍රධානීන්ගේ මාධ්‍ය පාරම්බෑම අවසානයේ සිදු වුයේ හමුදා නිලධාරීන්ගේ වැරදි එම මාධ්‍යය විසින්ම අනවශ්‍ය ලෙස උලුප්පා දැක්වීමකි.

සිවිල් සමාජයේ සංකීර්ණ සංස්කාරයන් සරල හමුදා සංස්ථාවෙන් විසඳන්නට යෑමෙන් රණවිරුවා බොරුකාරයෙක් වී හාල් මෝල්කාරයා පොර විය. බුද්ධි අංශ ගැන ඕනෑවට වඩා කියවන්නට ගොස් අවසානයේ පාතාලය සක්‍රීය වී ඇත. මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සඳහා නිර්මාණය කරගෙන ඇති මූලික පදනම් ආකෘති උල්ලංඝනය කිරීමට යෑමෙන් ඒ පදනම් මත අටවා ඇති අහස් කුළුණු බිමට කඩා පාත් වේ.

හමුදා නිලධාරියාට අයත් කාර්යය හමුදා නිලධාරියාට දිය යුතුය. රාජ්‍ය සේවකයාට අයත් කාර්යය රාජ්‍යය සේවකයාට දිය යුතුය. ජනතා නියෝජිතයාට අයත් කාර්යය ජනතා නියෝජිතයාට දිය යුතුය. නමුත් මෙය මෙසේ වේ යැයි සිතන්නට අපහසුය. 

5) වැසියන් උකටලී වීම

ලංකාවේ බහුතර වැසියන් ස්වභාවයෙන්ම කම්මැලිය. කොරෝනා තුන්මාසය තුළ ගෙදරට බඩු ගෙනැවිත් දී, වැටුපත් ගෙවා, රුපියල් පන්දහකුත් ගෙවා දැමීමෙන් ඔවුන් තවත් කම්මැලි වී සිටී. රැකියාවට යෑමට හෝ ව්‍යාපාර කටයුතු ඇරඹීමට හෝ අවශ්‍ය අභිප්‍රේරණය ඔවුන්ට නොමැත.

වැසියන් තුළ අලුත් පිබිදීමක් ඇති කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් දැනට නොපෙනේ. එයට අවශ්‍ය විශ්වාසනීය සහ ප්‍රතිබල හේතුවක් නොමැත. ඒ සඳහා කැරිස්මාවක් ඇති ව්‍යවසායී නායකයන් ලංකාවේ නොමැත. ඉන්නේ කිසිදු අනුප්‍රාණයක් දැන්විය නොහැකි කපටි නාකි බිස්නස්කාරයන් ටිකකි. එම නිසා ලංකාවේ ආර්ථිකය මන්දගාමීව ඇදෙනු ඇත. 

 

තවත් නිරීක්ෂණ ඇති මුත් මේ ටික ප්‍රමාණවත් යැයි සිතේ. පවතින සහ එළඹෙන තත්ත්වය ගැන සුබවාදීව කල්පනා කිරීමට මා උත්සාහ ගත්තත් ඒ සෑම විටම යථාර්ථය විසින් මා පොළොවේ ගසා ප්‍රකෘතියට ගෙන එයි.

 

ගිනිගේ
2020 ජූනි 13
ජනරජයේදී

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker