දෙව්දත් සහ රෙජීම් change

රෙජීම් change ව්‍යාපෘතියේදී භාවිතා කළ තවත් උපක්‍රමයක් තමයි “ද්විත්ව බන්ධන” ක්‍රමය (Double Bind). ඒ ක්‍රමය මීට වසර 2,560ට විතර ඉස්සර දේවදත්ත භික්ෂුව විසින් භාවිතා කර තිබෙනවා. ඔහු තමයි අජාසත්ත කුමාරයට කිව්වේ “ඔබ පියා මරා රජ වෙන්න. මම බුදුන් මරා බුදු වෙන්නම්” කියලා. දේවදත්තට අවශ්‍ය වුනේ බුදුන් වහන්සේ නෙරපා හැරලා හොඳින් හෝ නරකින් සංඝයාගේ නායකයා වෙන්න. බුදුන් වහන්සේ මැරවීමට කිහිපවරක් ඔහු උත්සාහ කළත් ඒවා ව්‍යර්ථ වුනා. ඔහු අවසානයේ සැලසුම් කරනවා සංඝයා භේද කරලා, එදා භික්‍ෂූ සමාජයෙන් කොටසක් කඩලා තමන්ගේම වෙනම නිකායක් හදන්න.

ඒ සඳහා ඔහු භාවිතා කරනවා නපුරු සැලසුමක්. ඒ සැලැස්මට කෝකාලික, කටමෝරතිස්‌ස, සමුද්දදත්ත යන භික්‍ෂූන් සහ ථූලනන්දා යන භික්‍ෂුණියත් එකතු වෙනවා. දේවදත්ත බුදුන් වහන්සේට යෝජනා පහක් ඉදිරිපත් කරනවා. ඒවාට කිව්වේ පංච වස්තු කියලා. ඒ යෝජනා තමයි:

1) භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා ආරණ්‍ය ගත විය යුතුයි;

2) භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා පිඬු සිඟා ගෙන පමණක් වැළඳිය යුතුයි;

3) භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා පාංශුකූල චීවර පමණක් දැරිය යුතුයි;

4) භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා ගස්‌ යට පමණක් විසිය යුතුයි; සහ

5) භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා මස්‌ මාංශ නොවැළදිය යුතුයි කියන පංචවිධ නීති.

 

බුදුන් වහන්සේ නිතරම අල්පේච්ඡ බව වර්ණනා කළා. සුඛෝපභෝගී මන්දිර, සිනිදු සළුපිළි, රස බොජුන් ආදී ලෞකික සැප සම්පත් දුකක් බවත්, ඒවා නොමැති සරල ජීවිතය සැපක් බවත් දේශනා කළා. දේවදත්ත මේ යෝජනා පහ ඉදිරිපත් කරලා බුදුන්ගෙන් ඉල්ලුවා ඒවා සංඝයාට ශික්ෂාපද හැටියට පනවන්න කියලා.

දැන් බුදුන් වහන්සේ මැදි වුනේ ද්විත්ව බන්ධන උගුලකට. දේවදත්තගේ යෝජනා පිළිගත්තොත් දේවදත්ත ගිහිල්ලා භික්‍ෂූන්ට කියනවා “ඔන්න පේනවා නේද? ශ්‍රමණ ගෞතම භික්‍ෂූන්ට දැඩි විනය නීති දානවා. ඔහොම විමුක්තිය ලබන්න බැහැ. ඒ නිසා මාත් එක්ක එන්න.” කියලා එදා භික්ෂූන්ගෙන් කොටසක් අනිවාර්යයෙන්ම කඩා ගෙන යනවා. දේවදත්තගේ යෝජනා නොපිළිගත්තොත්, දේවදත්ත භික්‍ෂූන්ට කියනවා “ඔන්න පේනවා නේද? අල්පේච්ඡ බව ගැන බණ කිව්වට ශ්‍රමණ ගෞතම සැපයට ගිජුයි. ඔහොම විමුක්තිය ලබන්න බැහැ. එන්න මාත් එක්ක” කියලා කොටසක් කඩාගෙන යනවා.

මේ උපක්‍රමයෙදි ඔබ මොන පැත්ත ගත්තත් ඔබ පරාදයි. ඒකට කියනවා “පරාද-පරාද” (lose-lose) ක්‍රමය කියලත්. උදාහරණයක් හැටියට රජයේ වෛද්‍යවරු තමන්ගේ පඩි වැඩි කරන්න කියලා වැඩ වර්ජනය කිරීම ජනතාව වන අපට “ද්විත්ව බන්ධනයක්”. පඩි වැඩි කළොත් ඒ වියදම පියවා ගැනීමට ආණ්ඩුව අපිට බදු ගහනවා. පඩි වැඩි නොකළොත් බෙහෙත් ගන්න බැරුව අපි දුක් විඳලා මැරෙනවා. මේ ක්‍රමය රජයේ සහ පෞද්ගලික ආයතන ඇතුළේ, දේශපාලන පක්ෂ ඇතුළේ නිතර භාවිතා වෙන ටක්කෙට වැඩ කරන චිත්ත උපක්‍රමයක්.

ඉතින් බුදුන් වහන්සේ එක පැත්තක් ගන්නේ නැතිව දේශනා කරනවා “යෝජනා පහෙන් පළමුවැනි හතර යම් භික්‍ෂුවක් කැමති නම් පිළිපදින්න පුළුවන්, යම් භික්ෂුවක් අකමැති නම් පිළිපදින්න අවශ්‍ය නැහැ” කියලා. පස්වැනි යෝජනාව තමයි දරුණුම එක. අද වගේම එදත් සමාජය බෙදිලා හිටියේ මස් මාංශ අනුභවය ගැන. බුදුන් දේශනා කරනවා “දේවදත්ත, මා මීට පෙර මස් මාංශ අනුභවය ගැන විනය පනවා තිබෙනවා. ඒ අනුව වැඩ කරන්න” කියලා (මස් මාංශ කියලා ඇහැට දැක්කොත්, කනට ඇහුනොත්, සැකයක් හරි ඇති වුනොත් එය නොකෑ යුතුය. ).

දේවදත්ත පටස් ගාලා භික්ෂූන් ඉදිරියට ගිහිල්ලා මෙහෙම කියනවා, “ඔන්න දැක්කද? ශ්‍රමණ ගෞතම අල්පේච්ඡ ජීවිතය පිළිගත්තේ නැහැ.” කියලා. දැන් භික්ෂූන් දෙපැත්තට බෙදිලා වාද විවාද කරනවා. අවසානයේ බුදුන් වහන්සේ දේවදත්ත භික්ෂුව ගෙන්වලා සංඝයා භේද කිරීම ආනන්තරීය පාප කර්මයක් බව තේරුම් කර දීලා අර්බුදය සමථයකට පත් කරනවා.

බොදු බල සේනා

දැන් මොකක්ද මේ කතාව සහ රෙජීම් change අතර තිබෙන සම්බන්ධය? මේ උපක්‍රමය තමයි බොදු බල සේනා (BBS) රාජ්‍ය නොවන සංවිධානය ප්‍රධාන වශයෙන් භාවිතා කළේ. සිහල උරුමයෙන් හැදිච්ච ජාතික හෙළ උරුමයෙන් 2004 පාර්ලිමේන්තුවට ඡන්දය පවා ඉල්ලූ ගලගොඩඅත්තේ භික්ෂුව දැන හෝ නොදැන කළේ ඇමරිකන්-ඉන්දියන් අනුග්‍රයෙන් එජාප-ජවිපෙ-හෙඋ-මුකො-දෙජාස-NGO නඩය සිදු කළ රෙජීම් change ව්‍යාපෘතියේ එක් තීරණාත්මක කොටසක්. ඒ තමයි මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රීලංනිපයට තිබුන මුස්ලිම් ජනතාවගේ සහයෝගය බිඳ දැමීම. එයට භික්ෂුවක්ම තෝරා ගැනීම දෛවයේ සරදමක්.

ඒ සඳහා ඔවුන් කාලයක් තිස්සේ වැඩ කරනවා. ඉස්ලාම් අන්තවාදීන් හදන්නේත් ඇමරිකාවම බව ප්‍රසිද්ධ කරුණක්. ඒ ගැන මා වෙනම ලියන්නම්. BBS එකට මමත් මුලින් රැවටුනා. අදටත් සිංහල-බෞද්ධ සමාජයේ සුළු කොටසක් කොටසක් ඔවුන්ට කැමතියි. නමුත් ඔවුන් ඕනෑකමින්ම ගිහිල්ලා මුස්ලිම් ජනතාව කුපිත කරවන වැඩ කරන කොට මට ඔවුන්ගේ යටි අරමුණ තේරුණා. හැබැයි එතකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි. එදා මහින්දට වුනේ පෙරදා බුදුන්ට මුහුණ දෙන්න වුනු ද්විත්ව බන්ධනයමයි.

මහින්ද BBS එකට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්ත නම් එදා සිංහල-බෞද්ධ ජනතාව ඔහුට විරුද්ධ වෙනවා. මහින්ද BBS එකට සහයෝගය දුන්න නම් මුස්ලිම් ජනතාව ඔහුට විරුද්ධ වෙනවා. ජනරජයේ ජනපති හැටියට මහින්ද පැත්තක් ගන්නෙ නැතුව ඉවසගෙන හිටියා. නමුත් අන්තිමට BBS කරුමය රාජපක්ෂලාගේ ගිණුමට ඔවුන් බැර කළා. 2015 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න BBS එකට පැවරුණ ව්‍යාපෘතිය ඔවුන් අකුරටම කළා. ඒ රෙජීම් change සැලැස්මෙදී පැල කරපු අන්තවාදී බීජ හෙමින් හෙමින් වර්ධනය වෙලා 2019 දී මරාගෙන මැරෙන බෝම්බකරුවන් හැටියට එළියට ආවා.

එරන්ද ගිනිගේ

2019 අප්‍රේල් 30

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker