සතුරා මගේ 

උගත් පමණින් මිනිහෙකුට අවබෝධ වෙන්නෙ නැහැ. ගැඹුරු අවබෝධයන් ඇති වන්නේ අප බලාපොරොත්තු නොවන මොහොතක. එහෙම අවබෝධයන් ඇති වුනාම එතැන් සිට ඒ කාරණය අරබයා ඒ මනුස්සයාගේ සිතිවිලි, වචන සහ හැසිරීම වෙනස් වෙනවා.

මාගේ ජීවිතයේ එවැනි එක් අවස්ථාවක් තමයි තරුණ කල අහම්බයෙන් නැරඹූ පැරණි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක එන දෙබසක්. ඒ කතාවේ ප්‍රධාන චරිත දෙකක් තිබෙනවා. එක්කෙනෙක් පෘථිවි මනුස්සයෙක් (Human). අනෙකා පෘථිවියේ උරගයන්ගේ වගේ සමක් තිබෙන වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි ජීවියෙක්. ඔහුටත් අත් දෙකක් සහ කකුල් දෙකක් තිබෙනවා (Bipedal).

ඒ අනාගත කාලය වෙනකොට මනුෂ්‍ය වර්ගයා සහ ඒ පිටසක්වල ජීවින් අතර දීර්ඝ යුද්ධයක් ඇති වෙලා. ඔවුන් එකිනෙකාට තදින් වෛර කරනවා. වරක් මේ මනුස්සයයි අර පිටසක්වල ජීවියයි ඔවුනොවුන්ගේ අභ්‍යවකාශ ප්‍රහාරක යානා වලින් එකිනෙකාට පහර දෙමින් වේගයෙන් යන අතර තුර දෙදෙනාම වෙනත් ග්‍රහලෝකයකට කඩාගෙන වැටෙනවා.

කතාව තියෙන්නේ දැන් මේ පරම සතුරන් දෙදෙනා ඒ නොදන්නා කර්කශ ග්‍රහලෝකයේ ජීවත් වෙන්න පුරුදු වෙන හැටි. ඔවුන් දෙදෙනා අතර ඇති වන එක් සංවාදයක් තමයි මට ඇත්තටම අමතක නොවන්නේ. 

පෘථිවි මනුස්සයා වරක් අර ජීවියාට සමච්චල් කරනවා “උඹ හරි කැතයි” කියා. එතකොට අර ජීවියා පෙරළා කියනවා “මම නෙවෙයි, උඹයි කැත” කියා. ඒ සංවාදයේ ඉතිරිය හරියටම මතක නැති වුනාට එයින් කියවුනේ අර රළු සමක් තිබෙන ජීවියාට පෘථිවි මනුස්සයව පෙනෙන්නේ අන්තිම කැත සතෙක් විදිහට. පෘථිවි මනුස්සයට අර ජීවියාව පෙනෙන්නේ අන්තිම කැත සතෙක් විදිහට.

ඒ සංවාදය හුදු ලස්සන කැත ගැන පමණක් වුනු එකක් නොවෙයි. එයින් කියන්නේ මා ලෝකය දකින්නේ මා හෝ මගේ වර්ගයා විසින් සම්මත කරගත් මිමි වලට සාපේක්ෂව බවයි. සුදු මිනිහට කළු මිනිහා කැතයි. කළු මිනිහට සුදු මිනිහා කැතයි. දේවවාදියාට අදේවවාදියා වැරදියි. අදේවවාදියාට දේවවාදියා වැරදියි. බයියට ටොයියා නපුරුයි. ටොයියට බයියා නපුරුයි. දොස්තරට වෙදා මෝඩයි. වෙදාට දොස්තර මෝඩයි. ලාංකිකයට සිංගප්පූරුව හොඳයි. සිංගප්පූරුවාට ලංකාව හොඳයි.

මේ අවබෝධයත් එක්ක තවත් සෑහෙන කාලයක් ගියා මට අනෙකාගේ මිමිමේ සිට ලෝකය දැක බලන්න. ඒක ලෙහෙසි නැහැ. මා හිතන්නේ නැහැ මා තවම එය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කර තිබෙනවා කියා. තර්ක කිරීමේදී මා ඒ නිසයි අනෙකාගේ අදහස හරියටම දැන ගන්න නැවත නැවත ප්‍රශ්න අහන්නෙ.

අර කතාව තව ඉදිරියට යනවා. අන්තිමට එහි “සත්‍යය” පිළිබඳව ඔවුන් කතා වෙනවා. ඒ කොටස මට හරියටම මතක නැහැ. නමුත් සත්‍යය යනු අපේ සම්මත මිමි වලට එහා ගිය දෙයක් විය යුතුයි කියා මා සිතනවා. චිත්‍රපටයේ නම මතක තිබුනේ නැහැ. අන්තර්ජාලයෙන් අමාරුවෙන් හොයා ගත්තා. නම “Enemy Mine”. නැවත ඒ චිත්‍රපටය සොයාගෙන බලන්න ඕනා. 

ගිනිගේ
2020 මැයි 23
ජනරජයේදී

 

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker