ඇතුළේ සතුරා

දිනය මැයි 13 වැනි සඳුදා. “අසාත් සාලි සහ බදුඋදීන් වැනි මුස්ලිම් නායකයන්ගේ සහාය ලැබෙන ජනපති අපේක්ෂකයාට අපේ සහාය නැහැ.” – මාධ්‍ය ඉස්සරහා ප්‍රසිද්ධියේ එහෙම කිව්වේ උදය ගම්මන්පිල. උදය සමග මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුගේ එම තර්ජනාත්මක කොන්දේසියත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.

මේ වෙලාවේ උදය සහ ඔහුගේ ක්ෂුද්‍ර පක්ෂය සහාය දෙන්නේ කාටද? මහා ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. එතුමා අපේක්ෂකත්වයවත් තවම දැනුම් දී නැහැ. අපේක්ෂකත්වයක් දැනුම් දෙන්නේ වරණයක් කැඳ වූ විට පමණයි. නමුත් මා ඇතුළු අපේ දේශපාලන කඳවුරේ බලාපොරොත්තුව එයයි. මට නම් වෙන අපේක්ෂකයෙක් නැහැ. මා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් ගත්තම තමයි. ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පනින්නේ නැහැ.

මේ ඉතාම අනතුරුදායක අවස්ථාවේ ජනපති අපේක්ෂකයෙක් ගැන කතා කරන්නෙ ඇයි? අසාත් සාලි සහ බදුඋදීන්ලව මේ වෙලාවේ ජනපති අපේක්ෂකත්වය සමග ඇමිණීමෙන් කාටද වාසි වෙන්නේ? උදය ගම්මන්පිලගේ සහයෝගය දෙන්නේ ගෝඨාභය මහත්තයට නම්, ඔහු මේ කරන්නේ ගෝඨාභයට කොන්දේසි දැමීමක්. හරියට 2014 දී උදයයි, චම්පිකයි, රතනයි, සෝභිතයි (ඕමල්පේ) මහින්දට කොන්දේසි දැම්මා වගේ.

මහින්දව මුලින්ම බිත්තියට තද කරේ උදයලා. ඔය විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කරන්න කියලා මහින්දට බල කරේ උදයලා. එහෙම නොකෙරුවොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා තර්ජනය කරේ උදයලා. “යහපාලනය” කියන ඊනියා වචනය මුළින්ම කතා කරේ උදයලා. මහින්දට බැරි නම් අපි වෙන අපේක්ෂකයෙක් ගේනවා කියලා මාධ්‍ය සාකච්ඡා තියලා පාරම් බෑවේ උදයලා. අපේ බයියන්ට අමතකයි ඒවා.

අනෙක් පැත්තෙන් උදයගේ ප්‍රකාශයෙන් අප තේරුම් ගත යුත්තේ ඔහුට ගෝඨාභය හැරෙන්න වෙන විකල්ප තිබෙන බවයි. අඩුම ගානේ එහෙම හිතන්නවත් පුළුවන් බවයි. ඒක බරපතල කාරණාවක්. 2015 වේ එකට ආප්ප කාලා මහින්දගේ පිටට පිහියෙන් ඇන්නේ ඔහුගේ අතිජාත සගයා. “මහින්ද ඔබ අපට රජෙක්” කියා වේදිකා දෙවනත් කළ මෛත්‍රිපාල සිරිසේන කියන ද්‍රෝහියා. ඒ නිසා පූච්චම් කතා කියන ඇතුළේ ඉන්න සතුරා ගැන මට තිබෙන්නේ ලොකු බයක්.

උදයගේ ඉහත ප්‍රකාශයෙන් වාසියක් වෙනවා නම් වෙන්නේ උදයට විතරයි. ඔහු සර්ෆ් කරන්නේ සිංහල-බෞද්ධ අන්තවාදී රැල්ලේ. ඒ රැල්ල නැත්නම් ඔහුට පැවැත්මක් නැහැ. ඔහු ගෝඨාභයට තර්ජනය කරලා ලකුණු දාගන්නේ තමන්ට. මොකද සැබැවින්ම අසාත් සාලිලා බදුඋදීන්ලා සහාය දෙනවට අකමැති නම්, ඔහුට කරන්න තිබුනේ රාජපක්ෂලා සමග ඒ ගැන ඇතුළේ සාකච්ඡා කිරීම. එළියේ තර්ජනය කිරීම නොවෙයි.

අමතක කරන්න එපා 2015 රෙජීම් change එකට ජාතික හෙළ උරුමය ප්‍රධානම සාධකයක් වුනා. හෙළ උරුමයෙන් ඡන්දේ ඉල්ලපු ගලගොඩඅත්තේ තමයි බොදු බල සේනා ඊනියා සංවිධානය හදන්නෙ. රාජපක්ෂලා එපා කියද්දී අලුත්ගම රැලි තියලා මිනිස්සු කුපිත කරවන්නේ 13 වැනිදා මිනුවන්ගොඩ පාරේ ඇවිදගෙන ගිය හෙළ උරුමයේ ළාමක ටිං ටිං ජාතිවාදියෝ තමයි. ඒ සිදුවීම තමයි මහින්ද පරදින්න ප්‍රධානතම හේතුව. ඔවුන් දැන් කරන්නෙත් ඒක.

තිස් අවුරුදු යුධ සාපය නිමා කළ මහින්ද රාජපක්ෂගේ උපන්දිනය දවසේ, එනම් 2014 නොවැම්බර් 18 වැනිදා ඔහුට උපන්දින තෑග්ග හැටියට, ඉතා පහත් ලෙස, කෘර ලෙස, අධම ලෙස, මහින්දගේ ආණ්ඩුවෙන් එළියට බැහැලා රෙජීම් change ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශ කරේ චම්පික, සෝභිත, රතන සහ උදය කණ්ඩායම. එහෙම කරන්න හිත හදාගත්ත මිනිස්සු ගැන මට විශ්වාසයක් නැහැ. අමතක නම් මෙන්න වීඩියෝව: https://youtu.be/GSPmgcWauwo

“එකම පරීක්ෂණය නැවත නැවත කිරීමෙන් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකිය” කියා එදා මහින්දට කෝචෝක් කරේ උදය. එහෙම ගිය මිනිහා පැය 48ක් යන්න කලින් ආයෙත් මහින්දට සහාය දෙන්න පැන්නා. එක්කෝ තමන් කාටවත් සහාය දෙන්නේ නැහැ කියලා ස්වාධීනව ඉන්න ඕන. එහෙම නැතුව මෙහෙට පැන්නේ මොකද? මොන බයිලා ගැහුවත් ඒක සැක සහිතයි.

රාජපක්ෂලා ඇතුළු අපේ බයියන්ව රවට්ටන්න හරි ලේසියි. ලඟට ඇවිල්ලා මිහිරි වචන ටිකක් කියපු ගමන් සාතන්ටත් සමාව දෙන බොළඳ පැටව් අපි. උස හීන්දෑරි මිනිහගේ කොට මහත ඉත්තා. එදා රාජපක්ෂ කිව්වනම් කොහොමද “මට විරුද්ධ වෙච්ච කිසිම කෙනෙක් සමග නැවත එකතු වෙන්නේ නැහැ” කියලා? උදය කොහෙද අද?

ඉතිහාසයේ තව කියන්න බොහෝ දේ තිබෙනවා. නමුත් මම හිතන්නේ මොළේ තියෙන මිනිහෙක්ට මේ සිදුවෙමින් පවතින මහා ද්‍රෝහීකම තේරුම් ගන්න මේ ටිකෙන් පුළුවන් විය යුතුයි. මම සිංහල-බෞද්ධ. ඒත් මම ඔය සමහරු වගේ මගේ සිංහල-බෞද්ධකම නළලේ ගහගෙන සිංහල-බෞද්ධයව ගොනාට අන්දන්නෙ නැහැ. දැන් සමහරු මට ගහයි ජේවීපී කාරයා, සිංහල-බෞද්ධ විරෝධියා, මඩ ගහනවා කියලා. කමක් නැහැ මිත්‍රයා. මම උඹලගේ ඡන්දේ ඉල්ලන්නේ නැහැ. මම කියන සත්‍යය විතරක් තේරුම් ගනිල්ලා. මොකද මේ පාරත් අපි රැවටුනොත්, ජනරජය ඉවරෙටම ඉවරයි.

එරන්ද ගිනිගේ

2019 මැයි 15

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker