ධම්මික පෙරේරාගේ සහජීවනයට විසඳුම එරන්ද ගිනිගේ තාර්කිකව බිඳ දමයි

1. ජාතික ගැටලු සහ ආගමික විශ්වාස පටලවා ගැනීම

ජාතීන් අතර අසමගිය විසඳීමට ධම්මික පදනම් කරගන්නේ විවිධ ආගම් වල එන අපාය සහ දිව්‍යලෝකය (hell & heaven) පිලිබඳ සංකල්පයයි. (ඔහුගේ විසඳුම) ජාතීන් අතර අසමගිය සහ ආගමික විශ්වාස පටලවා ගැනීම තාර්කික වැරැද්දක්. උදාහරණයක් හැටියට සිංහල සහ දෙමළ ජාතික ප්‍රශ්නය සඳහා මූලිකව බලපා ඇත්තේ ජනගහණය සහ ව්‍යාප්තිය, භාෂා භාවිතය, භූමිය, ස්වභාවික සම්පත් සහ දේශපාලන වරප්‍රසාද වැනි කාරණා.

කතෝලික භක්තිකයන් සහ මුස්ලිම්වරුන් අතර අසමගියට හේතුව ජෙරුසලම මූලික කරගත් ඓතිහාසික එදිරිවාදිකම්, කතෝලික ක්‍රිස්තියානි බටහිර සංස්කෘතික සහ දේශපාලන අතපෙවීම් වලට මුස්ලිම්වරුන්ගේ ඇති විරෝධය සහ ඔවුන්ගේ ආගමික විශ්වාස අතර තිබෙන යම් යම් වෙනස්කම්.

ඒ වගේම කිසිදු ආගමක් නොදරන විශාල පිරිසක් මේ විවිධ ජාතීන් අතර සිටින බවත් ධම්මික තේරුම් ගත යුතුය. එම නිසා ජාතීන් අතර අසමගිය ඍජුවම ආගමික විශ්වාස සමග පැටලවීම අතාර්කිකය, අහේතුකය.

2. ආගමික විශ්වාස සමාන කිරීම

ධම්මිකගේ ඊළඟ තර්කය නම් බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, සහ ඉස්ලාම් ආගම් අදහන අයගෙන් 99% කටම දිව්‍ය ලෝකයට යාමට අවශ්‍ය බවත් ඉතිරි 1% නැතිනම් 0.5% නැතිනම් 0.1% ක පිරිසකට අපායට යාමට අවශ්‍ය බවත්ය. ඔහු එම අගයන් වරින් වර වෙනස් කිරීමෙන් පෙනී යන්නේ එම සංඛ්‍යා ප්‍රතිශත කිසිදු විද්‍යාත්මක ගවේෂණයක නිගමනයන් නොවන බවත් හුදු කටට ආ පළියට කියන අගයන් බවත්ය.

විවිධ ආගම්වල අපාය සහ දිව්‍යලෝක සංකල්පය තිබුනත් ඒවා එක හා සමාන නොවේ. කතෝලික, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ඒකදේවවාදී (monotheistic) ආගම් වල සර්වබලධාරී මැවුම්කාර එක් දෙවියෙක් සහ එම දෙවියන්වහන්සේ ප්‍රධාන දේව දූතයන් සිටින ස්වර්ගයක් පිළිබඳව විශ්වාස කෙරේ. එමෙන්ම නැවත ඉපදීමක් විශ්වාස නොකරන ඔවුන් මරණයෙන් පසු ඔවුන්ගේ දේහයන් මිහිදන් කරන්නේ මරණයෙන් උට්ඨානය ලබා සදාකාලික ස්වර්ගයට යන බව විශ්වාස කරන නිසාය.

නමුත් හින්දු ආගම සර්වබලධාරී දෙවියන් රැසක් සිටින බහුදේවවාදී (polytheistic) ආගමක් වන අතර එම දෙවියන් සහ දිව්‍යාංගනාවන් සිටින විවිධ ස්වර්ග ලෝක ගැන විශ්වාස කෙරේ. ඔවුන් නැවත ඉපදීම විශ්වාස කරන අතර සදාකාලික ස්වර්ගයක් විශ්වාස නොකෙරේ.

බෞද්ධ ධර්මයේ සර්වබලධාරී දෙවි කෙනෙක් හෝ පිරිසක් හෝ විශ්වාස නොකෙරෙන අතර දිව්‍ය ලෝක හයක් සහ තිරිසන් ලෝකය ඇතුළු අපාය ලෝක හතරක් ගැන විශ්වාස කෙරේ. බෞද්ධයන් උත්සාහ කරන්නේ දිව්‍යලෝකවලට යාමට නොව මනුෂ්‍ය භවය තුලදීම කෙසේ හෝ සංසාරයේ නැවත ඉපදීම නවතා දමා විමුක්තිය ලබා ගැනීමටය.

ඒ කෙසේ වෙතත් ධම්මික කියන ආකාරයට කිසිදු ආගමිකයෙක් උවමනාවෙන්ම කතෝලික, ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් අපායට යාමට හෝ, හින්දු නරකයට යාමට හෝ බෞද්ධ අපායයන් වලට යාමට උත්සාහ කරන බව පිළිගත නොහැකි විකාර කතාවකි. එමෙන්ම ජාතීන් හෝ ආගමිකයන් අතර අසමගිය ඇති කරන සියලු දෙනා එසේ කරන්නේ අපායට යන්න උත්සාහ කිරීමට යැයි කීම පදනම් විරහිත ප්‍රකාශයකි.

බොහෝ විට ආගමික ගැටුම් ඇතිවන්නේම ස්වර්ගයට යාමට ඇති උත්සාහය නිසාය. උදාහරණයක් හැටියට ඉස්ලාම්වාදීන්, අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව එයින් ස්වර්ගයට යාමට හැකි නිසාය.

එම නිසා ජාතික සහජීවනය සඳහා ධම්මික ඉදිරිපත් කරන විසඳුමේ පදනමම බොරුවකි.

3. AI අනවබෝධය සහ වැසියන්ගේ පෞද්ගලිකත්වය නැති කිරීම

ධම්මිකගේ විසඳුම වන්නේ එවැනි අපායට යාමට උත්සාහ කරන අය කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) යොදා අල්ලා ගැනීමයි. එසේ අල්ලාගෙන ඔවුන් එක්කෝ දැන්මම අපායට යැවිය යුතු බවත් නැතිනම් පුනරුත්ථාපනය කළ යුතු බවත් ඔහු කියනවා. දැන්මම අපායට යවනවා යැයි කියන්නේ ඔවුන් අල්ලා මරා දැමීමදැයි මා ධම්මිකගෙන් අහනවා.

ධම්මික කියන පරිදි ඔහු සියලුම පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු සහ මුහුණු වැනි ජීව දත්ත සහ හැසිරීම් රටා පරිගණක පද්ධතියකට ඇතුළු කරයි. ඉන්පසුව ජාතීන් අතර ගැටුම් ඇතිවන අවස්ථාවල ගන්නා පින්තූර සහ වීඩියෝ එම පරිගණක පද්ධතියෙන් විශ්ලේෂණය කර එම අවස්ථාවල සිටින එකම පුද්ගලයන් හඳුනා ගනියි. අනතුරුව ඔවුන්ට දඬුවම් ලබා දෙයි.

පළමුවෙන්ම ධම්මික මේ කියන දෙය කෘත්‍රිම බුද්ධිය (AI) නොවේ. කෘත්‍රිම බුද්ධිය යනු තවම පර්යේෂණ මට්ටමේ තිබෙන තාක්ෂණයකි. ඔහු මේ කියන්නේ දියුණු දත්ත විශ්ලේෂණ (Advanced Data Analytics) ගැනයි. මෙහිදී ගැටළු කිහිපයක් පැන නගී. සියලුම වැසියන්ගේ ජීව දත්ත ආණ්ඩුවේ පරිගණක පද්ධතියකට ඇතුළු කර සියලුම වැසියන් නිරීක්ෂණය කිරීම ඉතා භයානකය. එවැනි පද්ධතියක් හරහා වැසියන්ගේ පෞද්ගලිකත්වය නැති වේ. අප යන එන තැන්, කන බොන දේ, හමුවෙන අය, උපයන දේ, බොන බෙහෙත් හේත්, කියවන දේ ආදිය පැය 24 ම නිරන්තර නිරීක්ෂණය කරන ආණ්ඩුවක් යනු ඉතා භයානක සර්වබලධාරී ආණ්ඩුවකි (Eye in the sky). එම දත්ත භාවිතා කර වැසියන් නිහඬ කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. සියලුම වැසියන් නිරන්තර බියෙන් සහ සැකයෙන් කල් ගත කළ යුතු වනු ඇත.

තවද එවැනි ගැටුම් ඇති කරන පුද්ගලයන් වෙස් මුහුණු පැළඳගෙන පැමිණිය හැකිය. පින්තූර Photoshop කළ හැකිය. අද වනවිට ලෝකයේ නිර්මාණය වී ඇති Deep Fake (ගැඹුරු ව්‍යාජ) තාක්ෂණය යොදා ගනිමින් ඕනෑම කෙනෙකුගේ මුහුණට වෙනත් කෙනෙකුගේ මුහුණ සහ ඉරියව් ආදේශ කර වීඩියෝ පවා නිෂ්පාදනය කළ හැකිය. ධම්මික පෙරේරා එම තාක්ෂණය හරහා අහිංසක මිනිසෙකු වරදකරු කර ඔහු හෝ ඇය එවෙලේම අපායට යැව්වොත් එය බලවත් අපරාධයකි.

ඉහත කාර්යය සඳහා සැබැවින්ම කෘත්‍රිම බුද්ධිය භාවිතා කළ හැකි එක් උපකල්පනයක් නම් වැසියන්ගේ ජීව දත්ත සහ හැසිරීම් රටා විශ්ලේෂණය කර අනාගතයේ ජාතීන් අතර ගැටුම් ඇති කළ හැකි පුද්ගලයන් ලෙස වැසියන් හඳුනාගෙන ඔවුන්ව සමාජයෙන් ඉවත් කිරීමයි. ඒ අනුව ඇතැම් විට ඔබේ දඟකාර දරුවා පවා අනාගතයේ වැරදිකරුවෙකු වන බවට හිත්පිත් නැති කෘත්‍රිම බුද්ධිය විසින් නිගමනය කළ හැකිය. එමගින් එම දරුවාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකිය.

ඉහත කරුණු සහ තවත් බොහෝ කරුණු නිසා ධම්මික පෙරේරාගේ අපායගාමී මිනිසුන් අල්ලන්නට යෝජනා කරන පරිගණක පද්ධතිය සහිත විසඳුම අතාර්කික වනවා පමණක් නොව නූතන ශිෂ්ට සම්පන්න ලෝකයට නොගැලපෙන, අසාධාරණ, අප්‍රායෝගික, අසාර්ථක විසඳුමකි.

4. ගැටුම් විසඳීමට දඬුවම් දීම

ධම්මිකගේ ඊළඟ විසඳුම වන්නේ එසේ අල්ලාගන්නා වැසියන්ට දඬුවම් කිරීමයි. ඒ සඳහා ඔහු සිංගප්පුරුවේ සහ කැනඩාවේ දෙන දඬුවම් දිය හැකි නීතියක් ලංකාවේ සෑදිය යුතු බව කියයි. ඔහුට අනුව බ්‍රසීලයේ මෙන් සිරගත කර පොත් කියවන්නට දීමෙන් එම සිරකරුවන් හොඳ මිනිසුන් වී අවුරුද්දකින් දෙකකින් නැවත සමාජයට එකතු කළ හැකිය.

විවිධ ජාතිකයන් සහ ආගමිකයන් අතර ගැටුම් ඇති කිරීමට දැනටමත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු අවසරයක් නොමැත. එවැනි ගැටුම් ඇති කරන ලදැයි අධිකරණයකදී සාධාරණ නඩු විභාගයකින් අනතුරුව තහවුරු වුවහොත් වත්මන් දණ්ඩ නීති සංග්‍රහයේ ඒ සඳහා දඬුවම් නිර්දේශ කර තිබේ. එම නිසා ධම්මික පෙරේරා කියන දෙය දැනටමත් ක්‍රියාත්මක වේ.

එවැනි නීති වෙනස් කිරීමක් සිදු කළ යුත්තේ ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය හරහාය. එය ධම්මිකගේ උවමනාවට සිදු කිරීම ඉතා භයානකය. යම්කිසි ගැටුමක් ඇති වුනාට පසුව වැරදිකරුවන් අල්ලා දඬුවම් කිරීම යනු ගැටුම් විසඳීම නොවේ. එය දැනටමත් සිදු වේ. දඬුවම් මගින් ජාතිකයන් අතර හෝ ආගමිකයන් අතර හෝ ඕනෑම පුද්ගලයන් අතර හෝ ගැටුම් ඇති වීම වැළැක්විය නොහැක. ගැටුම් ඇතිවීම වැළැක්වීමට නම් විවිධ ජාතිකයන් සහ ආගමිකයන් අතර අන්‍යොන්‍ය අවබෝධය ඇති කර, එකිනෙකා සහ එකිනෙකාගේ අදහස් ඉවසන සමාජයක් නිර්මාණය කළ යුතුය. දඬුවම් දෙන නායකයන් සැබෑ නායකයන් නොවේ. ආදර්ශයෙන්, දර්ශනයෙන්, ඉගැන්වීමෙන් මිනිසුන් දැනුවත් කිරීමෙන් ගැටුම් වළක්වන අය සැබෑ නායකයන් වේ.

ඉහත කරුණු අනුව අපට පෙනී යන්නේ ජාතීන් සහ ආගමිකයන් අතර ගැටුම් පිළිබඳව ධම්මික පෙරේරා ඉතා ලඝු ලෙස සිතන බවයි. ඒවාට හේතු වන සැබෑ තාර්කික කාරණා පිලිබඳ කිසිදු අවබෝධයක් ඔහුට නැති බව පැහැදිලිය. පෞද්ගලික සමාගමක තමන්ගේ තනි මතයට නීති දමාගෙන පාලනය කළත්, විවිධ මත දරන පුරවැසියන් ජීවත් වන ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් එසේ පාලනය කළ නොහැකිය.

එරන්ද ගිනිගේ

2019 ජූලි මස 19 වැනිදා

ශ්‍රී ලංකා ජනරජයේදී

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker