පරම්පරා ඝාතකයෝ සහ සහස්‍රයේ දරුවන්

“අද ලංකාවේ සියලු ක්ෂේත්‍රවල නායකත්වයේ සිටිය යුතු දක්ෂ මිනිසුන් කෝ?” මෙය බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්. එය සාධාරණ ප්‍රශ්නයක්. ව්‍යාපාර ක්ෂේත්‍රයේ අද සිටිය යුතු නව්‍යකරණශීලී මිනිසුන් කෝ? අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද සිටිය යුතු බුද්ධිමතුන් කෝ? කලාවේ අද සිටිය යුතු නිර්මාණශීලී මිනිසුන් කෝ? පරිපාලනයේ අද සිටිය යුතු දක්ෂයන් කෝ? දේශපාලනයේ අද සිටිය යුතු නායකයන් කෝ? සැබැවින්ම ඔවුන් කෝ?

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්නේ හද්ද පරණ පප්පලා සහ ඇන්ටිලා දෙතුන් දෙනෙකි. පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නේ ඇදුරන්ට වඩා යකැදුරන්ය. කලාකාරයෝ ගැන කීමට කිසිවක් නොමැත. පරිපාලනය එකම අකාර්යක්ෂම ගොහොරුවකි. දේශපාලනය… දේශපාලනයේ ඉන්නේ වයස්ගත තක්කඩි රැලකි. රාජ්‍යයේ සියලු ක්ෂේත්‍රවල මානව සම්පත මෙලෙස බිඳ වැටෙන්නට හේතුවක් තිබිය යුතුය.

වයස

ඕනෑම ක්ෂේත්‍රයක නායකත්වයට ඒමට පුද්ගලයෙකුගේ වයස වැදගත් වේ. තෘතියික අධ්‍යාපනය ලැබ, පහළ ශ්‍රේණියකින් අරඹා ක්‍රමයෙන් උසස් වීම් ලැබ, විවිධ ආයතන සහ වෘත්තීන්වල රැකියාව කර, පවුල් බර දරා, දරුවන් ලැබ, ව්‍යාපාර අරඹා, ජීවිතයේ සාර්ථක වී, අසාර්ථක වී, නැවත සාර්ථක වී, හැකියාවන් ප්‍රගුණ කර, ගෙයක් දොරක් හදාගෙන, ලෝකයේ වෙනත් රටවල් කිහිපයක හෝ සංචාරය කර, විවිධාකාර මිනිසුන් ඇසුරු කර, සමාජ යතාර්ථයන්ට මුහුණ දී, ලෝකාවබෝධයෙහි මුහුකුරා ගොස් සාධාරණ පරිණතබවක් ලබා ගැනීමට නම් දශක හතරක්වත් ගත වේ. 

වයස අවුරුදු 45 ත් 55 ත් යනු මිනිසෙකු නායකත්වයට එන වයසයි. එය මිනිසෙකුගේ ජීවිතයේ විශිෂ්ටතම කාලයයි. එම වයසේ අයට දැනුම මෙන්ම බොහෝ අත්දැකීම්ද ඇත, බුද්ධිය මෙන්ම කායික ශක්තියද ඇත, තවත් වයසට යෑමට පෙර සමාජයට විශිෂ්ට දෙයක් කිරීමට නිරන්තර උත්සාහයක් ඇත. ආයතනයක තීරණ ගත හැකි තනතුරුවලට එන්නේ ඒ වයසේදීය. තම කලාවේ උච්චස්ථානයට එන්නේ ඒ වයසේදීය. හොඳම ගුරුවරු බිහිවන්නේ ඒ වයසේදීය. උගතුන් දාර්ශනිකයන් වන්නේත්, පිකටිං කරුවන් සැබෑ විප්ලව කරන්නේත්, බණ කියන්නන් ධර්මය අවබෝධ කරගන්නෙත් ඒ වයසේදීය. ඉතින් ඒ වයසේ හොඳම එවුන් ටික කෝ?

‘70 වේ දරුවන්

අද වයස 45 ත් 55 ත් අතර ජීවත් විය යුතු හොඳම මිනිසුන් එදා 1987-88-89-90 යුගයේ තරුණ තරුණියන් ලෙස මරා දැමිණි. එසේ මරා දැමුණු ගණන 30,000 ක් වුවත් 60,000 ක් වුවත් ලංකාව වැනි ජනගහණය සහ ජනගහණ වර්ධන වේගය අඩු කුඩා රාජ්‍යයකට එය දැරිය නොහැකි පරම්පරා හානියකි. එදා වයස 20 අවට වයස්වල මියගිය තරුණ තරුණියන් අද ජීවත්ව සිටියා නම් ඔවුන් වයස අවුරුදු 50 අවට විය යුතුය. එසේ මරා දැමුණේ සමාජයේ යම්කිසි නායකත්වයක් පෙන්නුම් කළ අය විය යුතුය. එමෙන්ම ඒ තරුණයන්ට මග කියාදෙමින් සිටි එදා බුද්ධිමතුන්, කලාකරුවන් සහ සමාජ නායකයන්ද මරා දැමිණි. 

අද ලංකාවේ තිබිය යුතු ඩොලර් මිලියන ගණන් වටිනා ව්‍යාපාර අරඹන මිනිසුන් එදා මහරෑ මහමග මරා දැමිණි. අද ලංකාවේ ඉගැන්විය යුතු මහා ප්‍රාඥයන් එදා වධකාගාර වල එල්ලා මරා දැමිණි. අද ජීවත් විය යුතු විශිෂ්ට කලාකරුවන්ගේ මළකඳන් එදා ගංගාවල පා කර හැරිණි. අද ලංකාවේ දේශපාලන නායකත්වයේ සිටිය යුතු සුන්දර මිනිසුන් එදා ටයර් සෑයන් මත පණපිටින් පුළුස්සා දැමිණි. ඒ පරම්පරාවේ හොඳම මිනිසුන් එලෙස අපට අහිමි කර වූයේ කවුද? 70 වසරක් මොකද කරේ කියා අසන මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ සහ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා යන බිහිසුණු එක්සත් ජාතික පක්ෂයයි.

88-89 එජාප-ජවිපෙ භීෂණයෙන් වැඩියෙන්ම මරා දැමුනේ සිංහල තරුණ තරුණියන්ය. එසේ නම් ඒ වයසේ දෙමළ පරම්පරාව අද කෝ? ඔවුන්ගෙන් කොටසක් යූඇන්පීය විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ 1983 කළු ජූලියෙන් අනතුරුව කුඩා දරුවෝ ලෙස ඔවුන්ගේ දෙමව්පියන් විසින් වෙනත් රටවලට රැගෙන ගියෝය. අද වයස 50 ගණන් වල ජීවත් වන ඔවුන් එම විදේශ රටවල ඩොලර් මිලියනපතියන්ය. ඔවුහූ අද පිටරට සිට තම මව් රටට විරුද්ධව කටයුතු කරති. එසේ යාගත නොහැකිව ඉතිරිවූ දෙමළ දරුවන් එල්ටීටීඊ ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගෙන යුද්ධය අතරතුර දිවි පිදීය.

ඉහත මර්ධන සියල්ලෙන් බේරී දිවි ගලවාගත් අපතයන් ටික අද වයස 50 ගණන් වල ලංකාවේ ජීවත් වේ. අවශේෂ සාම්පල වන උන්ගෙන් එතරම් වැඩක් නැත. කැළඹුණු මනස් ඇති උන්ගෙන් බොහෝ දෙනා උග්‍ර සමාජ පිළිලයන් ය.

සහස්‍රයේ පරම්පරාවේ නැගීම

ඉහත පරම්පරාවෙන් පසු බිහිවන පරම්පරාව එනම් වසර 1980 සහ 2000 අතර ඉපදුනු පරම්පරාව හඳුන්වන්නේ සහස්‍රයේ පරම්පරාව ලෙසිනි. මා ඒ පරම්පරාවේ මුල්ම පුරුකකි. මාගේ පරම්පරාවේ මිනිසුන් සිය තරුණ විය ගත කරන්නේ නූතන තාක්ෂණික විප්ලවය සිදුවන සහස්‍රයේ උපතට සමගාමීවය. අන්තර්ජාලය ඔස්සේ පළමුවරට ලෝකය දකින ළාබාලතම පරම්පරාව වන අප අතට ජංගම දුරකථනය ලැබෙන්නේ තරුණ වියේදීමය. 30 අවුරුදු යුද්ධය මතක ඇති අවසාන පරම්පරාවත් අපමය. 

අපේ පරම්පරාවේ කොටසක්ද යුද්ධයෙන් මිය ගොස් ඇත. නමුත් අපේ පරම්පරාවේ වාසනාවට තවත් පරම්පරා ඝාතනයක් වීමට පෙර ඒ යුද්ධය අවසන් විය. ඒ විමුක්තිය වෙනුවෙන් නායකත්වය දුන් සහ ඇස් ඉස් මස් ලේ දන්දුන් සියලු දෙනාට මාගේ ප්‍රණාමය. මාගේ පරම්පරාවේ මිනිසුන් වයස 45 පනින්නේ 2020න් ඇරඹෙන දශකයේය. එනම් සහස්‍රයේ දරුවන් සියලු ක්ෂේත්‍ර වල නායකත්වයට එන්නේ මීළඟ දශකයේය. අපේ පාරම්පරාවේ මිනිසුන් සමාජ, පාරිසරික, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ගැටලු දෙස බලන්නේ ලෝකය පිලිබඳ පුළුල් විද්‍යාත්මක දැනුමක් සහ සංවේදීතාවයක් ඇතිවය.

අපේ පරම්පරාව එසේ නායකත්වයට එන්නේ ඉහත අහිමි කළ පරම්පරාව පන්නා ගෙනය. එම නිසා ඊළඟ දශකය පරම්පරා කම්පනයක් ඇති කරනු ඇත. අද ඉතිරි වී සිටින වයසක මිනිසුන් ස්වභාවිකව මිය යනු ඇත. අවශේෂ 70 වේ දරුවෝ පසු බා යනු ඇත. නමුත් මේ අතිශය වැදගත් පරම්පරාවේ නැගීම මර්ධනය කිරීමට අර පරණ අවතාර උත්සාහ කරමින් තිබේ. 88-89 භීෂණයේ සාතනික පියාගේ සාපලත් පුත්‍රයාත්, ජාතික සළුපටින් උල් දත් වසාගත් ෆැසිවැදී ඩ්‍රැකියුලා කුමාරයත්, ජනරජය සදා පාගා දමන බටහිර රෙජීම් චේන්ජ් ඒජන්තවරුත් උන්ගේ කුමන්ත්‍රණය නැවත ක්‍රියාත්මක කරමින් තිබේ. 

ඊළඟ පරම්පරාවත් නැවත අහිමි කරනවාද? නැතිනම් ඒ පරම්පරාවට නැගිටින්න අවස්ථාවක් දෙනවද? තීරණය ඔබ සතුය.

එරන්ද ගිනිගේ
2019 ඔක්තෝබර් 16 වැනි දා
ජනරජයේදී ය.

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker