අලුත් ඇමති මණ්ඩලය හදන්නේ කොහොමද?

එළඹෙන ජනපතිවරණයෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයක් පත් වීම අනිවාර්ය ය. එය සාධාරණය. එය ව්‍යවස්ථානුකූලය. නමුත් එය ඉතාම බුද්ධිමත්ව සහ අවබෝධයෙන් සිදු කළ යුතුය. නැතිනම් නොවැම්බර් දහසය ලැබෙන ජනතා තීරණයේ වටිනාකම බාල්දු වීමට ඉඩ ඇත.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී මූලිකව සළකා බැලිය යුතු අදියර දෙකක් ඇත. පළමුව එම අමාත්‍යංශ මොනවාදැයි විද්‍යාත්මකව තීරණය කළ යුතුය. දෙවනුව එම අමාත්‍යංශ සඳහා ඇමතිවරුන් පත් කරන ක්‍රමවේදය විද්‍යාත්මකව තීරණය කළ යුතුය. මේ අවස්ථාව එය සාකච්ඡා කිරීමට කදිමය.

දැනට පවතින මණ්ඩලයේ අමාත්‍යංශ තිහක් ඇත. එය කලින් කලට වෙනස් කර කර, ඒ ඒ අවස්ථාවන් හි දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන්, මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීම සඳහා, අභූත කාර්යයන් එකතු කර කර, එහාට දමමින්, මෙහාට දමමින් විකාශය වූ ව්‍යාකූල ලැයිස්තුවකි.

අමාත්‍යංශ හඳුනා ගැනීම

ජනපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලීමේදී ඒවායේ වෙනස්කම් වෙනුවට ඇත්තේ බොහෝ සමානකම්ය. එය හොඳ පෙර නිමිත්තකි. ජනතා අවශ්‍යතාවයන් සහ යෝජනා මත එම ප්‍රතිපත්ති නිර්මිත වූ බව පෙනේ. එහෙයින් එම ප්‍රතිපත්ති දෙස බලා ජනරජයේ විධායක ප්‍රමුඛතාවයන් හඳුනා ගැනීම සාධාරණය.

ඒ අනුව පහත දැක්වෙන අමාත්‍යංශ 22 ක් මා විසින් යෝජනා කර ඇත. ඒවායින් ඇතැම්වා සාම්ප්‍රදායික ඒවාය (උදා. ආරක්ෂක, විදේශ කටයුතු, ක්‍රීඩා සංවර්ධන ආදී). අනෙක්වා යම් කාර්යයන් එකට තිබීමෙන් කාර්යක්ෂමතාවය වැඩි වේය යන පදනම මත නිර්මාණය කර ඇත (උදා. නගර, ගම්මාන, මාර්ග, ගොඩනැගිලි සහ නිවාස සංවර්ධන අමාත්‍යංශය, යාවජීව අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන අමාත්‍යංශය ආදී). එමෙන්ම එම අමාත්‍යංශ හැකි තරම් එකිනෙකා මත යැපෙන ලෙස සකසා ඇත. ඒ අතර ඇතැම් අමාත්‍යංශයන් හී කාර්යයන් නූතනයට ගැලපෙන ලෙස විස්තර කර ඇත. අතාර්කික යැයි සිතුනු අමාත්‍යංශ ඉවත් කර ඇත.

මෙය මාගේ යෝජනාවකි. මෙය තවත් වැඩි දියුණු කිරීමට කැමති අය ඒ සඳහා නව්‍යකරණශීලී සහ ප්‍රායෝගික යෝජනා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට අමතරව තවත් අමාත්‍යංශ තුනකට මා ඉඩ තබා ඇත. මාගේ යෝජනාව අමාත්‍යංශ 25 කට මෙම මණ්ඩලය සීමා කිරීමයි. (නගර, ගම්මාන, මාර්ග, ගොඩනැගිලි සහ නිවාස සංවර්ධන අමාත්‍යංශය වැනි ඇතැම් අමාත්‍යංශයන් හී කාර්යයන් පහසු කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කළ හැකිය.)

පහත රූපමය වගුව බලන්න:

මේ අනුව හෝ වෙනත් ක්‍රමයකට හෝ පවතින ලැයිස්තුවටම හෝ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සිදු කරන්නේ කෙසේද? දැනට සිදු වන්නේ ජනපති සහ අගමැති අතර අනවශ්‍ය කඹ ඇදිල්ලක් කර, තම තමන්ගේ පාක්ෂික හෙන්චයියන් අතර බලු පොරයක් කර, එකම පිරිස එම තනතුරු සඳහා පත් කිරීමයි. එය කිසිසේත්ම විද්‍යාත්මක නැත. එය සාධාරණ නැත. එය ප්‍රජාතාන්ත්‍රික නැත.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීම

සැබැවින්ම ඒ සඳහා ඉතා සරල, පරිණත සහ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ඇත. 

අ) අගමැතිවරයා පත් කිරීම 

ව්‍යවස්ථාවට අනුව පළමුව අගමැතිවරයෙකු පත් කර ගත යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ “උපරිම” විශ්වාසය ඇතැයි ජනපතිවරයා විසින් “සිතන” මන්ත්‍රීවරයා පත් කළ යුතුය. මෙම උපරිම විශ්වාසය මැන බලන්නේ කෙසේදැයි ව්‍යවස්ථාවේ නැත. එමෙන්ම මෙහිදී “උපරිම” යනු “බහුතර” නොවේ. එම නිසා එක පක්ෂයක් හෝ කණ්ඩායමක් වැඩිපුර හෝ බහුතර ආසන ගත් පමණින් එම පක්ෂයේ නායකයා අගමැති විය යුතු යැයි නියමයක් නොමැත. මෙකී කරුණ තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විනිශ්චය කර නැත. කෙසේ වෙතත් ජනපතිවරයා විසින් අගමැතිවරයා පත් කළ යුතුය. අවශ්‍ය නම් ඒ සඳහා ද පහත ක්‍රමයම අනුගමනය කළ හැකිය.

ආ) ඇමති සහ නියෝජ්‍ය ඇමති පුරප්පාඩු ප්‍රසිද්ධ කිරීම

අනතුරුව අදාළ අමාත්‍යංශ සඳහා අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය පුරප්පාඩු ප්‍රසිද්ධ කළ යුතුය. ඇමති මණ්ඩලය යනු ජනරජයේ “විධායකයේ” කොටසකි. එනම් ඔවුන්ගේ කාර්යය වන්නේ ව්‍යවස්ථාදායකය හදන නීති ක්‍රියාත්මක කිරීමයි. විධායක ඇමතිවරුන් ලෙස ඔවුන් ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රී ධූර එක විට දැරීම එම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර තිබිය යුතු වෙන් වීම සහ සංවරණ හා තුලන බිඳීමක් බව මා පුන පුනා කියා ඇත. එය ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක දී නිවැරදි කළ යුතුය.

ඇ) මන්ත්‍රීවරුන් අයැදුම් කිරීම

එම පුරප්පාඩු සඳහා දැන් ඕනෑම මන්ත්‍රීවරයෙකුට අයැදුම් කළ හැකිය. ඒ සඳහා තමන් කැමති අමාත්‍යංශ එකකට හෝ කිහිපයකට (උපරිම සංඛ්‍යාව තීරණය කළ යුතුය), අමාත්‍යවරයා ලෙස හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස හෝ අයැදුම් කළ හැකිය. ඒ සඳහා තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තීය පළපුරුද්ද, මින් පෙර සිදු කර ඇති මෙහෙය, නව අමාත්‍යංශයට තමා පත් කළ යුතු හේතු ආදිය ක්‍රමවත්ව ඉදිරිපත් කළ යුතුය. මේ සියල්ල පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

ඈ) ජනතා සංවාදය සහ පාර්ලිමේන්තු විවාදය

ඒ අනුව ඒ ඒ අයැදුම්කරුවන් ඒ ඒ අමාත්‍යංශ සඳහා සුදුසු හෝ නුසුදුසු වීම පිළිබඳව ජනතාව අතර සංවාදයක් ඇති විය යුතුය. එය සමාජ මාධ්‍ය හරහා නිතැතින්ම ඇති වේ. ජනපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එකතුව එම අයැදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවකට ද ලක් කළ හැකිය. පාර්ලිමේන්තුවේ අදාළ අයැදුම්කරුවන් ගේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව විවාද කළ හැකිය. එය ද ප්‍රසිද්ධ කළ හැකිය.

ඉ) පාර්ලිමේන්තුව තුළ ඡන්දය

අවසානයේ ඒ ඒ පුරප්පාඩුව සඳහා ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ වරණයක් පැවැත්විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තමන්ට ජනතාව විසින් පවරා ඇති “ව්‍යවස්ථාදායක බලය” හෙවත් “තීරණ ගැනීමේ බලය” සබුද්ධිකව, වගකීමෙන් සහ ජනතා අභිලාෂයන් අනුවම භාවිතා කර තම ඡන්දය ප්‍රකාශ කළ යුතුය. මෙය රහස් ඡන්දයක් විය හැකිය.

ඊ) ඇමතිවරුන් පත් කිරීම

ඒ අනුව ඒ ඒ අමාත්‍යංශ පුරප්පාඩු සඳහා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා මන්ත්‍රීවරයා, ඒ අදාළ ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ජනපති විසින් පත් කළ යුතුය. 

මෙය ඉතාම සරල, පරිණත සහ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකි.

මෙම ක්‍රමය රාජ්‍ය සේවයේ අනෙකුත් සියලු ඉහළ තනතුරු සඳහා ද භාවිතා කළ හැකිය. එවිට ඊනියා ව්‍යවස්ථාදායක සභාවක් හෝ විවිධ ස්වාධීන කොමිෂන් සභා හෝ අවශ්‍ය නොවේ. වෙනකක් තබා අගමැතිවරයා පවා මේ ආකාරයට පත් කර ගත හැකිය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු ජනතා නියෝජිතයන්ය. ඔවුන් තෝරා ගන්නේ ජනතාවයි. එම නිසා ජනරජයේ ආයතන සඳහා පත් කිරීම් ඇතුළු සියලු තීරණ ගත යුත්තේ එම මන්ත්‍රීවරුන් මිස ජනතාව තෝරා නොගත් පුද්ගලයන් නොවේ.

මෙවර ඇමති මණ්ඩලය කෙසේ වෙතත් ලබන මහමැතිවරණයෙන් පසු පිහිටුවන නව අමාත්‍ය මණ්ඩලය හෝ මෙලෙස විද්‍යාත්මක ක්‍රමයට පත් කිරීමට හැකි වේ යැයි අපේක්ෂා කරමි.

එරන්ද ගිනිගේ
2019 නොවැම්බර් මස 10 වැනි දා
ජනරජයේදී ය.

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu