ප්‍රතිශක්තිය, මිත්‍යාව සහ විද්‍යාව සරලව

අර්බුද අවස්ථාවක ඒ ගැන ලිවීම ඉතාම අවදානම් වැඩකි. මන්ද මාගේ ජන්මාන්තර වෛරක්කාරයන් කට උල් කරගෙන ඉන්නේ මට බනින්නටය. එහෙත් සහෝදර ජනරජවැසියන්ගේ ප්‍රයෝජනය පිණිස සරල බසින් සත්‍යය පහදන එක නවත්වන්නේ නැත.

පළමුව කිව යුත්තේ මා ජානවිද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යාව පිලිබඳ උපාධිධාරියෙකි. (සමාවෙන්න, එසේ නොකීවොත් බොහෝ අය පිළිගන්නේ නැහැ.) එම නිසා වසංගත ගැන ප්‍රමාණවත් විද්‍යාත්මක දැනුමක් මා සතුය. නමුත් මා වසංගත රෝග පිලිබඳ විශේෂඥයයෙකු නොවේ. අප සෑම විටම සැලකිය යුත්තේ යම් ප්‍රකාශයක ඇති විද්‍යාත්මක සහ තාර්කික බව මිස ලියන්නාගේ හෝ කියන්නාගේ හෝ සුදුසුකම් නොවේ. ඉතින් මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ඉවසීමෙන් මෙය කියවන හැටියට.

ප්‍රතිශක්තිය 

ඔබ දන්නවද “ප්‍රතිශක්තිය” කියන්නේ කුමක්ද කියා? ඒ තමයි අපේ ඇඟට පිටින් ඇතුල් වන යම් කිසි විෂබීජයක් අල්ලගෙන එය කඩා බිඳ දමා විනාශ කිරීමට අපට ඇති හැකියාව. ඒක කරන්නේ ඔබේ ශරීරයේ “ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන්”. කොහොමද ඒක කරන්නේ? 

අපි නිකමට හිතමු ඔබේ ඇඟට X කියන වෛරසය ඇතුල් වුනා කියා. වෛරසය අපේ සෛල වලට ඇතුල් වෙලා තව අලුත් වෛරස පිටපත් හදාගෙන අපේ සෛලත් පුපුරුවාගෙන එළියට එනවා. එතකොට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට පණිවිඩය යනවා මෙහෙම විෂබීජයක් ඇවිත් කියා. එවිට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (B-සෛල සහ T-සෛල) ඒ වෛරසයට විරුද්ධ “ප්‍රතිදේහ” හදනවා ඉක්මනට. ඒ ප්‍රතිදේහ ගිහිල්ලා අර විෂබීජ හොයලා අල්ලගන්නවා. ඊට පස්සේ ඒ වෛරස බිඳ දමනවා.

එහෙම සටන් කරන වෙලාවට තමයි අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙන්නේ (උණ). අර විෂබීජ විනාශ වුන නිසා ඔබට රෝගය වැළඳෙන්නේ නැහැ. වැළඳුනත් සුළු රෝග ලක්ෂණ විතරක් ඇවිත් ඉක්මනට සුව වෙනවා. නමුත් කලාතුරකින් කෙනෙකුගේ ඇඟේ අර විෂබීජ කිහිපයක් හැංගිලා ඉන්නත් පුළුවන් (හරියට මුහුණුපොතේ හැංගිලා ඉන්න විෂබීජ වගේ). ඒ නිසා තමයි සමහර අයට රෝග ලක්ෂණ නැවත මතු වෙන්නේ.

ඔන්න දැන් අපි හිතමු මාසයකට විතර පස්සේ නැවත X ජාතියේ වෛරසයක් ඔබේ ඇඟට ඇතුල් වුනා කියා. එතකොට සමහර විට අර කලින් හදලා තිබුන ප්‍රතිදේහ තාම රුධිරයේ ඉතුරු වෙලා තිබෙන්න පුළුවන්. නැති වුනත් අර ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල වලට වෛරසය හොඳට මතකයි. ඒ නිසා වහාම හදනවා අලුත් ප්‍රතිදේහ. විෂබීජය හැරෙන්නත් කලින් ගිහින් බැටේ දෙනවා. 

ඒ කියන්නේ එක පාරක් විෂබීජය ආසාදනය වෙලා ප්‍රතිදේහ හදලා මතක තියාගත්තම නැවත ජීවිත කාලයටම එම විෂබීජයට ඔරොත්තු දීමේ හැකියාව අපට ලැබෙනවා. එතකොට අප කියනවා “X වෛරසයට ප්‍රතිශක්තිය” තියෙනවා කියා. ප්‍රතිශක්තිය හැදුනම බොහෝ විට ඔබෙන් තව කෙනෙකුට විෂබීජය බෝ වෙන්නේ නැහැ. මොකද ඒ වෛරසයට ඔබේ ඇඟේ හැදෙන්න බැරි නිසා.

හැබැයි සමහර වෙලාවට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම් විෂබීජය විනාශ කරගන්න බැරි වෙනවා. එවිට නැවත ආසාදනය වෙන්නත් පුළුවන්. සමහර අයට රෝගය උත්සන්න වෙනවා. එතකොට තමයි බෙහෙත් වලින් විෂබීජය විනාශ කරන්න වෙන්නේ. නමුත් වෛරසයකට ප්‍රති-වෛරස බෙහෙතක් හදන එක ඉතාම අපහසු කල්ගත වන වැඩක්.

සමහර වසංගත රෝග සඳහා විද්‍යාඥයින් හදලා තිබෙනවා “වැක්සීන”. ඒ කියන්නේ රසායනාගාර තුළ විෂබීජයක් දුර්වල කර හෝ විෂබීජයක කොටසක් හෝ අරගෙන ඒක උවමනාවෙන්ම අපේ ඇඟට ඇතුල් කරනවා. පොඩි කාලේ දෙන එන්නත් අන්න ඒ වගේ. එතකොටත් අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය පෙර වගේම ක්‍රියාත්මක වෙලා ප්‍රතිදේහ හදලා මතකයේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ ජාතියේ විෂබීජයක් ඇඟට ඇතුල් වුනොත් එසැනින් ඒවා බිඳ දමනවා. 

නමුත් වැක්සීන හදන එකත් ඉතා අපහසු කල්ගත වන දෙයක්. බොහෝ රසායනාගාර පරීක්ෂණ කළ යුතුයි. සතුන් සහ මිනිසුන් යොදාගෙන අත්හදා බැලිය යුතුයි (සතුන් යොදාගන්නවට මා පෞද්ගලිකව විරුද්ධයි). කොහොම හරි ඒවා කරලා එනකොට මාස ගණන් සමහර විට අවුරුදු ගණන් යා හැකියි.

තවත් ක්‍රමයක් තමයි, ප්‍රතිදේහ හැදිලා තිබෙන කෙනෙකුගේ රුධිරයෙන් ඒ ප්‍රතිදේහ (හෝ T-සෛල) වෙන් කරගෙන රෝගය උත්සන්න වෙලා සිටින රෝගියකුට එන්නත් කිරීම. ඒකත් ඉතා අපහසු අවදානම් සහගත දෙයක්. එය තාවකාලික ප්‍රතිශක්තියක් පමණයි. මොකද ලෙඩා හොඳ වුනත් අර විෂබීජය නැවත ආවොත් ප්‍රතිදේහ හදන්න එයාගේ සෛල වලට මතකයක් නැහැ.

ප්‍රජා ප්‍රතිශක්තිය

මේ දිනවල ඇහෙන අලුත් යෙදුමක් තමයි ප්‍රජා ප්‍රතිශක්තිය. ඒ ගැන බොහෝ අය වැරදි අදහසක් මවාගෙන තිබෙනවා (හරියට ප්‍රජාතන්ත්‍රය ගැන වැරදියට හිතාගෙන ඉන්නවා වගේ). ඒ නිසා මෙය සරලව තේරුම් ගන්න බලමු. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කෝවිඩ්-19 වැනි ඉක්මනින් සහ පහසුවෙන් බෝ වෙන රෝගයක් සඳහා.

කෝවිඩ්-19 වෛරසය ඉක්මනට පැතිරුනාට එය වැළඳෙන අතිශය බහුතරයක් සුවය ලබනවා. බොහෝ විට මිය යන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල, වෙනත් ලෙඩ රෝග වලින් ශරීර ඉන්ද්‍රියන් දුර්වල වී තිබෙන අය. ඒ වගේම මත්දුම්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශරීර ඉන්ද්‍රියයන් දුර්වල වී තිබෙන අය. විශේෂයෙන්ම පෙනහළු සහ හෘදය ආශ්‍රිත රෝග තිබෙන අයට අවදානම වැඩියි. 

වයස 70 ට වැඩි අය කොහොමත් ස්වභාවිකවම දුර්වල වන නිසා වයස්ගත අය මිය යෑමේ සම්භාවිතාවය වැඩියි. ඒ කියන්නේ වයස්ගත අය ඔක්කොම මැරෙනවා කියන එක නොවෙයි. අනෙක් වයස් කාණ්ඩ වලට සාපේක්ෂව වයස්ගත අය මිය යෑමේ සම්භාවිතාවය වැඩියි. මේක තමයි අප පිළිගත යුතු විද්‍යාත්මක සත්‍යය.

අපි හිතමු ඔබේ ගමේ බාල මහළු වැසියන් 100 ක් ඉන්නවා කියා. මේ 100 දෙනාටම කෝවිඩ්-19 ආසාදනය වුනත් ඔවුන් සියලු දෙනාටම රෝගී තත්ත්වයක් ඇති වන්නේ නැහැ. මොකද ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා වහාම වෛරසය බිඳ දමන නිසා. දරුවන්ට පුංචි හෙම්බිරිස්සාවක් හැදිලා හොඳ වෙන්න පුළුවන්. සමහර විට 10 දෙනෙකුට පමණ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එයිනුත් රෝගය දරුණු වෙන්නේ 5 දෙනෙකුට පමණ වෙන්න පුළුවන්. එයිනුත් සුව කරගත නොහැකිව මිය යන්නේ 1 කෙනෙක් වෙන්න පුළුවන්. කිසිවෙක් මිය යන්නේ නැති වෙන්නත් පුළුවන්.

1 වැනි සිනාරියෝව (Scenario 1)

දැන් මෙහෙම හිතමු. ඔබේ ගම වහන්නේ නැතුව තබනවා. වෙනදා වගේම උත්සව, රැස්වීම් ආදියත් ති‍යනවා. ගොවිතැන් රස්සා කරනවා. රංචු ගැහිලා ඕපාදූප කියවනවා. දැන් කෝවිඩ්-19 වෛරසය ගමේ අයට ඉක්මනින් බෝ වෙන්න පුළුවන්. ඒ අස්සේ ගමේ මන්ත්‍රී සංගීත සංදර්ශනයක් කරනවා. එතනට ගමෙන් බාගයක් යනවා. එකවර 40 ක් විතර රෝගී වෙනවා. අන්න එතකොට ඔවුන්ට එකවර ප්‍රතිකාර කරන්න ගමේ රෝහල් සහ වෛද්‍ය පහසුකම් නැතිවෙන්න පුළුවන්. එයින් සමහර විට සුවකර ගත හැකිව තිබූ අය කිහිප දෙනෙකුත් මිය යන්න පුළුවන්.

නමුත් කොහොම හරි ගමේ 50 කට 60 කට විතර ප්‍රතිශක්තිය හැදෙනවා. ඊට පස්සේ පිටින් ආසාදිතයෙක් ආවත් නැතත් අලුතෙන් රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනටම ගම නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

2 වන සිනාරියෝව (Scenario 2)

ඔබේ ගමට ඇතුල් වෙන්න තියෙන පාරවල් වසා දමා ඔබේ ගම අනෙක් ගම් නගර වලින් සම්පුර්ණයෙන්ම වෙන් කරනවා යැයි සිතමු. ඉන්පසු ගමේ කිසිම කෙනෙකුට එළියට යන්න තහනම් කරනවා. දැන් ඔහොම ඉන්නවා දින 14ක් (21 හෝ 30 වෙන්නත් පුළුවන්). මොකද හදිසියේ හරි කෝවිඩ්-19 ආසාදිත අය ඔබේ ගමේ හිටියොත් ඒ කාලය තුළ රෝග ලක්ෂණ පෙන්විය යුතුයි. ඒ අයව වහාම වෙන් කර, රෝහලකට යවා ප්‍රතිකාර කළ හැකියි. සමහර අයට රෝගය වැළඳී ප්‍රතිශක්තිය ඇති වී තිබිය හැකියි.

නමුත් ගමේ 100 දෙනාගෙන් ප්‍රතිශක්තිය හැදිලා තිබෙන්නේ 10කට විතරයි කියා අපි හිතමු. ඔන්න දැන් දින 14 කට පස්සේ ගම නැවත විවෘත කරනවා. එවිට ගමේ කෙනෙක් එළියට ගිහිල්ලා ආසාදනය වෙලා නැවත ගමට එනවා. එහෙම නැත්නම් ආසාදිතයෙක් පිටින් ගමට එනවා. ගමේ අයට ප්‍රතිශක්තිය නැති නිසා ඔන්න නැවත වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා.

එහෙම නොවෙන්න නම් එක්කෝ ගම හැමදාම වසා තැබිය යුතුයි. එහෙම නැත්නම් අනෙකුත් සියලුම් ගම් නගර වලින් කෝවිඩ්-19 සහමුලින්ම නැති කර තිබිය යුතුයි. එහෙමත් නැත්නම් වැක්සීනයක් හදාගෙන ගමේ සියලු දෙනාටම එන්නත් කළ යුතුයි. ඒ කිසිවක් ප්‍රායෝගික නැති බව ඔබට වැටහිය යුතුයි.

3 වන සිනාරියෝව (Scenario 3)

දැන් මෙහෙම හිතමු. ඔබේ ගම වහන්නේ නැතුව තබනවා. නමුත් උත්සව රැස්වීම් ආදිය තහනම් කරනවා. වැසියන්ට කෑම බීම ගන්න කඩ සාප්පු ඇරලා තබනවා. ගොවිතැන් රස්සා කරගන්න පුළුවන්. හැබැයි හැමෝටම කියනවා පුළුවන් තරම් ඈත් වෙලා ඉඳගෙන සනීපාරක්ෂිතව වැඩ කරන්න කියලා. වරු ක්‍රමයට කාර්යාල වැඩ කරනවා. 

ගමට එන පිට අයයි, එළියට ගිහිල්ලා නැවත එන අයයි හොඳට පරික්ෂා කරලා අරගෙන ඇහැ ගහගෙන ඉන්නවා. ගමේ රෝහලේ ඇඳන් සංඛ්‍යාව ඉක්මනට වැඩි කරලා වෛද්‍යවරුන් සහ සාත්තු සේවකයන් සුදානම්ව තබනවා. වයස්ගත සහ දුර්වල අය තෝරලා ඔවුන් ආරක්ෂා කරනවා. 

දැනුත් කෝවිඩ්-19 වෛරසය ගමේ අයට ආසාදනය වෙන්න පුළුවන්. නමුත් 1 වන සිනාරියෝවේ වගේ එකපාරටම විශාල සංඛ්‍යාවකට රෝගය වැළඳෙන්නේ නැහැ. වයස්ගත සහ දුර්වල අයට අවදානමත් අඩුයි. එහෙම වුනත් දැන් රෝහලට පුළුවන් ඔවුන්ට ප්‍රතිකාර කරන්න. බොහෝ අයට ඉක්මනට හොඳ වෙලා ප්‍රතිශක්තිය ඇති වෙනවා. රෝගය වැලඳෙන අයගෙන් 1 කෙනෙක් 2 ක් මිය යනවා.

දැනුත් ගමේ 50 කට 60 කට ප්‍රතිශක්තිය හැදිලා. එතකොට පිටින් ආසාදිතයෙක් ආවත් නැතත් අලුතෙන් නැවත රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනටම ගම නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ආර්ථිකය බිඳ වැටිලත් නැහැ.

අන්න එහෙම ජනගහනයෙන් සෑහෙන පිරිසකට ප්‍රතිශක්තිය ඇති වීමට අපි කියනවා “ප්‍රජා ප්‍රතිශක්තිය” කියා. මේක ඉතාම ස්වභාවික සංසිද්ධියක්. සරම්ප, රුබෙල්ලා, වසූරිය, පෝලියෝ වගේ රෝග අද ලෝකයේ පාලනය වෙලා තිබෙන්නේ මෙන්න මේ ප්‍රජා ප්‍රතිශක්තිය නිසා. ඒක කෘත්‍රිමව කරන්න නම් වැක්සීනයක් හොයාගෙන ජනගහනයෙන් සෑහෙන පිරිසකට ප්‍රතිශක්තිය ඇති කළ යුතුයි.

මිත්‍යාව සහ විද්‍යාව

ප්‍රජා ප්‍රතිශක්තිය හදන්න ගියොත් විශාල පිරිසක් මැරෙනවා කියන කතාව අපව නොමග යවන අතාර්කික ප්‍රකාශයක්. ඒක ප්‍රශ්නය වලිගයෙන් අල්ලා ගැනීමක්. කෝවිඩ්-19 මරණ අනුපාතය තවම හරියට දැනගන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි ආසාදනය වෙන සියලුම රෝගීන් නිශ්චිතව හඳුනාගන්න බැරි වීම. මොකද ඒකට සියලුම දෙනාව පරික්ෂා කර බැලිය යුතුය. ඒ නිසා මෙච්චර ගානකට හැදුනම මෙච්චර ගානක් අනිවාර්යයෙන්ම මැරෙනවා කියන එක අහේතුක අතාර්කික අවිද්‍යාත්මක ප්‍රලාපයක්.

දැන් හැදුනත්, ඇඳිරිනීතිය ඉවත් කළාට පස්සේ හැදුනත්, ගුවන් තොටුපොළ විවෘත කළාට පස්සේ හැදුනත්, වැක්සීනයකින් හැදුවත් අවසානයේ ප්‍රජා ප්‍රතිශක්තිය හැදෙන තුරු අපට මේ වසංගතයෙන් මිදෙන්න බැහැ. වසංගතය අවසානයේ මැරෙන සංඛ්‍යාව තීරණය වෙන්නේ අපේ සැලසුම් කිරීමේ, ක්‍රියාත්මක කිරීමේ සහ විශේෂයෙන්ම සන්නිවේදනය කිරීමේ හැකියාව මතයි. 

මා හිතනවා ජනරජයේ විධායකය ඉදිරි සති දෙක තුන තුළ ක්‍රමයෙන් 3 වන සිනාරියෝවට යයි කියා. නමුත් ඒක කරන්න ඔබේත් මගෙත් දැනුවත් භාවය සහ අවබෝධය වැදගත්. ඒ නිසා තමයි මේක ලිව්වේ.

හරි නම් මේ විදිහට සරලව වැසියන්ට තේරෙන භාෂාවෙන් කරුණු කාරණා කාරුණිකව නිරන්තරයෙන් පැහැදිලි කළ යුත්තේ ජනමාධ්‍ය විසින්. නමුත් ඔවුන්ට ඊට වඩා වැදගත් ජනතාව කුපිත කරන වැඩ තිබෙන නිසා අපි අපිවත් දැනුවත් වෙමු. මේක පුළුවන් තරම් අයට යවන්න. ඉහත සිනාරියෝවලින් ආර්ථිකයට සහ ජන ජීවිතයට විය හැකි බලපෑම් ගැන ඊළඟට ලියන්නම්.

ස්තුතියි!

එරන්ද ගිනිගේ
2020 අප්‍රේල් 9
ජනරජයේදී

කෝවිඩ්-19 ආසාදනය වී තිබීමේ අවදානම තක්සේරු කරගන්න මෙවලම: http://covid19.kpolom.com/

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Lal chandrasena
    Excellant and simple explanation by a professional where anyone can understand. Superb.
    Reply
Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker