ජාතිය නසන ජාතික(ත්)ත්වය

පසුගිය ජනපතිවරණ සමයේ “ජාතික සමතා බලවේගය” නමින් ව්‍යාපාරයක් දියත් විය. එහි මූලිකත්වය ගත්තේ මා ගරු කරන සංඝයා වහන්සේ කිහිප නමකි. එහි සමාරම්භක උත්සවයට මා නරඹන්නෙකු ලෙස සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ එක් උගත් හිමි නමක් “සමතාව” යන අලුත් යෙදුම පැහැදිලි කළේ ඒ ඒ විවිධ ජාතීන්ට ඒ ඒ ජාතික ප්‍රමාණයෙන් සැලකිම ලෙසය. උන්වහන්සේ එම අදහස  සමාන කළේ ඉංග්‍රීසි භාෂාවේ “Equity” යන වචනයටය. නමුත් එහි පරස්පරයක් විය.

Equity යන වචනයට ඉංග්‍රීසි භාෂාවේ අර්ථ කිහිපයක් ඇත. මුල්‍ය, ව්‍යාපාර සහ ගිණුම්කරණ අර්ථයෙන් ගත් විට එය කිසියම් වස්තුවක “හිමිකම” ලෙස අර්ථ දක්වයි. උදාහරණයක් ලෙස යම් ව්‍යාපාරයක අයිතිකරුවන් තුන් දෙනෙක් ඇත්නම් ඒ ඒ අයිතිකරුවන්ගේ හිමිකම් ප්‍රමාණ අනුව ඔවුන්ට ලාභාංශ හිමි වෙන්නේ මෙම Equity පදනම මතය.

නමුත් Equity යන්නට සමාජ-දේශපාලන අර්ථයක්ද ඇත. එනම් සමාජයේ සියලු දෙනාට සමාන (Equal) තත්ත්වයක් තිබිය යුතු බවත්, එම සමාන තත්ත්වය ඇති කිරීම සඳහා අඩු තත්ත්වයක් තිබෙන අයට වැඩිපුරත්, වැඩි තත්ත්වයක් තිබෙන අයට අඩුවෙනුත් සැලකිය යුතුය යන්නයි. බටහිර ක්‍රමයට අනුව සුළු ජාතිකයන්ට විශේෂ අයිතීන් සහ වරප්‍රසාද තිබීමේ පදනම මෙයයි. රැකියා විරහිත උපාධිග්‍රාහීන්ට ආණ්ඩුවේ රැකියා ලබාදෙන්නේ එම පදනම මතය.

ජාතික සමතා බලවේගය දේශපාලන කර්මයක් හෙයින් එයට අදාළ වන්නේ මෙම දෙවන අර්ථය යි. මා ගරු කරන මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේට මෙකී පරස්පරය පැහැදිලි කළ විට උන්වහන්සේට එකිනෙහිම ගැටලුව අවබෝධ විය. ඉන් පසුව “සමතා” කතාව එහෙමම යට ගියේය.

මා මෙයින් පෙන්වන්නේ අපගේ චේතනාව කුමක් වුවත් අප අද භාවිතා කරන සිංහල වචන සහ ඒවා සමාන කරන ඉංග්‍රීසි වචන අනුව අනාගතයේ නැති ප්‍රශ්න ඇති වන බවයි. මෙයින් මා කිසි ලෙසකින් එම ස්වාමීන් වහන්සේලාගේ දැනුම අවතක්සේරු කරන්නේ නැත. නමුත් යම් සංකල්පයක් ගොඩනැගීමේදී එහි වචන පිළිබඳව ගැඹුරු අවබෝධයකින් එය කළ යුතුය.

ඊනියා ජාතික(ත්)ත්වය

මෙය දුටු පමණින් අඥාන ජාති(ක)වාදීන්ගේ සිහි විකල් වේ. නමුත් ඊනියා ජාතික(ත්)ත්ව වචනයද ඉහත ආකාරයේ නැති ප්‍රශ්නයක් ඇති කිරීමක් බව මා තර්කයෙන් පෙන්වන්නම්. එම නිසා මොළේ කලඳක් හෝ ඇත්නම් මෙය ඉවසීමෙන් කියවා තේරුම් ගන්න.

ඇතැමුන් “ජාතික(ත්)ත්වය” යනුවෙන් තේරුම් ගන්නේ තමන්ගේ ජාතියට ඇති ආදරය යි. ආදරය යනු හැඟීමකි. එම හැඟීමට සිංහල භාෂාවේ නිවැරදි වචනයක් ඇත. එය නම් “ජාත්‍යාලය”යි. -ත්ව ප්‍රත්‍යය අගට යෙදෙන්නේ යම් කිසි “තත්ත්වයක්” කීමට මිස හැඟීමක් ප්‍රකාශ කිරීමට නොවේ. මනුෂ්‍යත්වය, පෞරාණිකත්වය, විශිෂ්ටත්වය යනු ඊට අදාළ සචේතනික හෝ අචේතනික වස්තුවේ “තත්ත්වය”යි, “ස්වභාවය”යි” “බව”යි, “කම”යි. ජාතික(ත්)ත්වය යනු තම ජාතියට ඇති ආදරය හෙවත් “ජාත්‍යාලය” යනුවෙන් සිතා සිටින අයට අනුකම්පා කරනවා විනා කළ හැකි දෙයක් නැත. මන්ද ඔවුන් හැසිරෙන්නේ හැඟීම් අනුව මිස අවබෝධයෙන් නොවේ.

නමුත් මෙය බලවත් ගැටලුවක් වන්නේ එය ඉංග්‍රීසි භාෂාවේ නූතන “Nationality” යන්නට දේශපාලනිකව සමාන කිරීමත් සමගය. මෙය අහම්බයෙන් සිදු වූවක් යැයි මම නොසිතමි. මෙම අදහස සමාජගත කළ අය සියලු දෙනාම පාහේ සිංහල ජාති(ක)වාදයේ සළු පොරවා ගත් පැරණි මාක්ස්වාදීන් සහ ඔවුන්ගේ අන්ධ භක්තිකයන්ය. 

“ජාතිය” යනු මාක්ස්වාදීන්, ලෙනින්වාදීන්, සමාජවාදීන්, කොමියුනිස්ට්වාදීන් ඇතුළු සමස්ත දේශපාලන වමම හිර වෙන තැනයි. “ජාතිය” මගහැර යෑමට ඔවුන් නිර්මාණය කරගත් වචනය ඊනියා “ජාතික(ත්)ත්වය”යි. සිංහල ජාතිය මිශ්‍ර කිරීමේ භාෂා උපක්‍රමය එයයි.

ජාතිය

ජාති” යන වචනයේ මුල් අර්ථය උපත, ඉපදීම, බිහි වීම යන්නයි. “ජාති” ලෙස හඳුනා ගැනීම යනු උපත අනුව වර්ගීකරණයකි. උදාහරණයක් ලෙස ජපන් පවුලක ඉපදීම නිසා හෝ හැදීම නිසා හෝ ජපන් භාෂාව කතා කරමින්, ජපන් සිරිත් විරිත් පිළිපදිමින්, ජපන් ආහාර කමින්, ජපන් සංස්කෘතිය අනුව යමින් සිටින කෙනා “ජපන් ජාතියේ” කියා හඳුනා ගත හැකියි. 

මෙම වර්ගීකරණයේදී උපත මූලික වේ. උදාහරණයක් ලෙස උපතින් වෙනස් ජාතියක කෙනෙක් කෙතරම් ජපන් භාෂාව කතා කළත් ජපන් සංස්කෘතිය අනුව හැසිරුනත් සමාජය එම පුද්ගලයා ජපන් ජාතිකයෙක් ලෙස පිළිගැනීමට කැමති නැත. එය සියලුම ජාතික වර්ගීකරණයන්ට පොදු සමාජ ලක්ෂණයකි. 

ජාති’ක’ යනු ජාති’යේ’ යන්නයි. උදාහරණ ලෙස X සභාවේ කෙනා X සභික, Y ආගමේ කෙනා Y ආගමික. ඒ අනුව සිංහල “ජාතියේ” කෙනා සිංහල “ජාතික” වේ. මාගේ සරල තර්කය නම් “ජාතික” යනු “ජාතියේ” අර්ථය දෙන විශේෂණ පදය බවයි. 

එවිට ජාතික(ත්)ත්වය යනු “ජාතියේ කෙනාගේ ජාතියයි”. එනම් ජාතික(ත්)ත්වය යනු නැවත ‘ජාතිය’ම වේ. උදා. Y ආගමිකත්වය යනු Y ආගමිකයාගේ ආගමයි. එනම් Y ආගමයි. එසේ නම් ජාතික(ත්)ත්වය යනු ජාතියට සමාන වචනයකි. “ජාතිය” යනුවෙන් නිශ්චිත වචනයක් අපට තිබියදී අනවශ්‍ය අලුත් වචනයක් හදන්නේ ඇයි? අපි විමසා බලමු.

“ජාතිය” යන වචනය ඉංග්‍රීසි භාෂාවේ “Natio” යන අදහසට ටක්කෙට සමාන වේ. -Nat හඬ ඇති එහි මුල් වචනයේ අර්ථයත් උපතය. අද පවා Natal (උපතේදී), Nativity (ක්‍රිස්තුස් උපත) ආදී වචන යෙදෙන්නෙ එම “ඉපදීම” අර්ථයෙනි. 

සරලව කිවහොත් “ජාතිය” යනු යම් නිශ්චිත මානව-සමාජ-සංස්කෘතික අනන්‍ය ලක්ෂණ පෙන්වන පිරිසකට ඉපදීම නිසා එම “ජාතියේ” හෙවත් එම “ජාතික” කියා හඳුනා ගැනීමය. සමේ පැහැය, කෙස්, ඇස, නාසය, උරහිස් ආදී දේහලක්ෂණ අනුව හඳුනාගත හැකි වාර්ගික (Race) අදහස අනුවත් එසේ හඳුනාගත නොහැකි නමුත් භාෂා-සමාජ-සංස්කෘතික ලක්ෂණ පෙන්වන ජනවර්ගය (Ethnicity) අනුවත් ඒ දෙකම අනුවත් “ජාතිය” හඳුනාගත හැකියි. 

ඒ අනුව “National” යනු එම “ජාතියේ” හෙවත් “ජාතික” යන විශේෂණයයි. උදාහරණයක් ලෙස Sri Lankan National යනු ශ්‍රී ලාංකික “ජාතියේ කෙනා” හෙවත් ශ්‍රී ලාංකික “ජාතිකයා”ය. නමුත් ශ්‍රී ලාංකික ජාතිකයෙක් සිටීද?

ශ්‍රී ලාංකික යනුවෙන් නිශ්චිත මානව-සමාජ-සංස්කෘතික ලක්ෂණ නැත. ශ්‍රී ලාංකික යනුවෙන් භාෂාවක් නැත. ශ්‍රී ලාංකික යනුවෙන් සමාජ සිරිත් විරිත් නැත. ශ්‍රී ලාංකික යනුවෙන් කෑම බීම නැත. ශ්‍රී ලාංකික යනුවෙන් ඇඳුම් නැත. උත්සව නැත. ඒ වෙනුවට ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, ආදිවාසී වැදි ආදී ජාතික ලක්ෂණ පමණී. 

එසේ නම් දැන් අප ගැටලුවේ මුලට පැමිණ සිටී.

ජාතික රාජ්‍යය

“Nation State” හෙවත් “ජාතික රාජ්‍යය” යනු 19 වැනි සියවසේ ජනප්‍රිය කරවූ බටහිර දේශපාලන සංකල්පයකි. එහි පදනම වන්නේ යම් අනන්‍ය ජාතියක් ඇත්නම් එම ජාතියට අනන්‍ය වූ පාලන දේශයක්ද තිබිය යුතුය යන්නයි. යුදෙව් ජාතිය වෙනුවෙන් ඊශ්‍රායලය නම් දේශපාලන ඒකකය හදන්නේ එම “ජාතික රාජ්‍යය” පදනම මතය. “එක්සත් ජාතීන්ගේ” සංවිධානය “එක්සත් රාජ්‍යයන්ගේ” සංවිධානය නොවන්නේ එම පදනම මතය.

“Nationality” යන වචනය ඔවුන් හදන්නේ ඊනියා “Nation State” සංකල්පය අනුවය. මන්ද ජාතික රාජ්‍යය සංකල්පයේ ඇති ප්‍රධානතම අවුල නම් කලින් එන්නේ “ජාතිය”ද නැත්නම් “රාජ්‍යය”ද යන්නය. සරලව කිවහොත් තිබෙන ජාතිය නමින් රාජ්‍යය හැදෙනවාද? නැත්නම් තිබෙන රාජ්‍යය නමින් ජාතිය හැදෙනවාද? යන අවුලයි. එම අවුල මගහැර යෑමට ඔවුන් “Nationality” යන අලුත් වචනයක් හඳුන්වා දුනි. අපේ මුග්ධ නායකයන් එයට “ජාතික(ත්)ත්වය” නමින් සිංහල වචනයක් නිර්මාණය කර දුනි.

නමුත් Nationality යන්න සැබැවින්ම “රාජ්‍යයේ ජාතික තත්ත්වය” පෙන්වන්නකි. (මා “ජාතිකත්ත්වය” යනුවෙන් හල් ‘ත’යනු දෙකක් භාවිතා කරන්නේ එම නිසාය.) ශ්‍රී ලංකාවේ වැසියන්ගේ “ජාතික(ත්)ත්වය” හෙවත් Nationality එක “ශ්‍රී ලංකන්” වී ඇත. පැරණි මාක්ස්වාදීන් විසින් ගැසූ ගැටය දැන් ගැලවිය නොහැකි ලෙස පැටලී තදවී ඇත. 

එනම් රාජ්‍යයක් හදා එම රාජ්‍යය අනුව ජාතිය හැදීමේ “Nation State” ව්‍යාපෘතිය දැන් සමාජයේ ස්ථාපනය වී ඇත. එහි වඩාත්ම සිත්ගන්නා සුලු කාරණය නම් සිංහල ජාතියේ ආරක්ෂකයන් යැයි කියන අයම එම ව්‍යාපෘතියේ ප්‍රධාන අවිය වන ඊනියා “ජාතික(ත්)ත්ව” සංකල්පය පෝෂණය කිරීමයි.

පුරවැසිභාවය

පුරවැසිභාවය (Citizenship) යනු යම් රාජ්‍යයක වැසිභාවයයි. එය යම් රාජ්‍යයක දේශසීමාවේ ඉපදීම නිසා හෝ දෙමව්පියන්ගේ පුරවැසිභාවය නිසා හෝ නිත්‍යානුකුලව සංක්‍රමණය වීමෙන් හෝ ලබා ගත හැකි නෛතික අනන්‍යතාවයක් පමණී. 

නමුත් දැන් සිදු කර ඇත්තේ පුරවැසිභාවය සහ ජාතික(ත්)ත්වය සමාන කිරීමකි. එය අර මා කලින් පැහැදිලි කළ “Nation State” ව්‍යාපෘතිය ඔප්පු කරනවා නේද? එහි ඊළඟ සහ අවසාන පියවර පුරවැසිභාවය සහ ජාතිය සමාන කිරීමයි. ජාතික(ත්)ත්වය යනු එම පරිවර්තනයේ පහසුව සඳහා මැදට දමා ගත් වචනයකි. 

සිංහල ජාතියට මිශ්‍ර කිරීම

මේ ගැන ප්‍රශ්න කළ විට ඔවුන් කියන්නේ මෙය “සිංහල-බෞද්ධ” රාජ්‍යයක් විය යුතු බවයි. එසේ නම් මා ඔවුන්ගෙන් අසන්නේ කෙලින්ම සිංහල “ජාතිය” යැයි නොකියා ඊනියා සිංහල “ජාතික(ත්)ත්වය”ක් ගැන කියන්නේ කුමටද? 

ඒ පිරිසෙන් කොටසක් එය නැවත අර බටහිර සංකල්පයේම “ජාතික රාජ්‍යයක්” විය යුතු යැයිද, අනෙක් පිරිස තවත් බටහිර සංකල්පයක් වන “සභ්‍යත්ව රාජ්‍යයක්” විය යුතු යැයිද කියයි. නමුත් ඒ කිසිවෙක් එම රාජ්‍යයේ නිශ්චිත “තත්ත්වය” කුමක්දැයි නොකියයි. දැන් මේ රාජ්‍යයේ සිටින දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, ආදිවාසී වැදි ආදී ජාතිකයන්ට සිදු වන්නේ කුමක්ද? එක්කෝ ඔවුන් ඒ කුමක්දැයි දන්නේ නැත. නැතිනම් දැනගෙන කියන්නේ නැත.

කාර්ල් මාක්ස් බාගෙට ලියා තැබූ පිටපත ව්ලදිමීර් විසින් ලෙනින්ට අවබෝධ වූ ලෙස රඟපෑවාක් මෙන්ද ජෝසප් විසින් ස්ටාලින්ට අවබෝධ වූ ලෙස රඟපෑවාක් මෙන්ද ඉහත බටහිර සංකල්ප තම තමාට අවබෝධ වන ප්‍රමාණයෙන් වේදිකාවේ රඟ දක්වන දේශපාලන නළුවන් සිංහල ජාතියේ උග්‍ර සතුරන්ය. 

ඔවුන් දැන හෝ නොදැන කරන්නේ සිංහල ජාතිය මිශ්‍ර කිරීමකි. තනුක කිරීමකි. දියාරු කිරීමකි. උදාහරණයක් ලෙස ඉහත සිංහල ජාතික(ත්)ත්වය ගැන කතා කරන කථිකයන් කියන්නේ දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, ආදිවාසී වැදි ආදී සියලු ජාතිකයන් සිංහල ජාතියට අන්තර්ග්‍රහණය විය යුතු බවයි. නමුත් එයින් සැබැවින්ම සිදු වන්නේ එම වෙනස් ජාතිකාගමික සමාජ-සංස්කෘතික ලක්ෂණ සිංහල ජාතික අනන්‍යතාවයට එකතු වීමයි.

13 වැනි සියවසෙන් පසුව ලක්දිව සිදු වූ සිංහල ජාතික සෝදා පාළුවට හේතුව වුයේද මෙලෙසම නූතන දකුණු ඉන්දියානු කලාපයෙන් සංක්‍රමණය වූ ජාතිකාගමික සංස්කෘතීන් සිංහල සංස්කෘතියට එබ්බවීමයි. මෙකල සිංහල ඉතිහාසයට බරපතල ලෙස පහර ගසන රාවණා මිත්‍යාව සිංහල සමාජයේ මුල් බැසගන්නේ ඒ අයුරිනි. යටත් විජිත යුගයේ පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය සංස්කෘතික එබ්බවීම් නිසා දැන් සිංහල ජාතික අනන්‍යතාවය නිශ්චිතව සොයා ගැනීමටත් බැරි තරම් තනුක වී ගොසිනි.

නූතන ඉන්දියාවේ ක්‍රියාත්මක සංස්කෘතික “හින්දුකරණයේ” රහස් අත් මගින් දැන් එය වඩාත් තීව්‍ර වෙමින් යයි. මහාවංශය ගැන සැක උපදවමින්, බෞද්ධ ඉතිහාසය විකෘති කරමින්, රාජ්‍ය නායකයන්ගේ අතේ බෙල්ලේ ඇට එල්ලන බ්‍රාහ්මණ චාරිත්‍ර බුද්ධ ශාසනයට ඔබ්බවමින්, සිංහල තරුණ පරම්පරාව විද්‍යාත්මක දැනුමින් ඈත් කරමින් මේ සිදු කරන්නේ “සිංහල-බෞද්ධ” රාජ්‍යයක් හැදීමද?

නැත! සිංහල ජාතියේ සැබෑ සතුරා ඉන්නේ සිංහල ජාතික සළු පොරවාගෙන, සිංහල “ජාතික(ත්)ත්වය” නළලේ ගසාගෙනය. නමුත් ඔවුන්ගේ බොක්කේ ඉන්නේ කාර්ල් මාක්ස්ය. එය විනිවිද දැකීමට හැක්කේ මේ සියල්ල ගැන එළියේ සිට මධ්‍යස්තව බලන අයෙකුට පමණී. මාගේ අදහස නම් තිබිය යුත්තේ සහ සැබැවින්ම තිබෙන්නේ සංකල්ප දෙකක් පමණී. එනම් 1) ජාතිය; සහ 2) පුරවැසිභාවය පමණී.

ගිනිගේ
2020 ජූලි 25 

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu