අධිකරණය සහ රෙජීම් Change

රෙජීම් change ව්‍යාපෘතියකදී භාවිතා කරන තවත් එක් උපක්‍රමයක් තමයි target රාජ්‍යයේ අධිකරණ පද්ධතිය බිඳ දැමීම. අධිකරණය නැත්නම් ඉංග්‍රීසියෙන් judiciary කියන්නේ දේශපාලන ආකෘතියේ මූලික කොටස් තුනෙන් එකක්. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව නීති හදනවා. විධායකය ඒ නීති ක්‍රියාත්මක කරනවා. එසේ ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු අධිකරණයෙන් විසඳනවා. ඔය ක්‍රියාවලියට තමයි සරලව දේශපාලනය කියන්නේ. මෙයින් එකක් හරි බිඳ වැටුනොත් සමස්ථ රාජ්‍යයම බිඳ වැටෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, පළාත් මහාඅධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ඊට පහළ ප්‍රාථමික අධිකරණ වගේම පාර්ලිමේන්තුව විසින් පිහිටුවන FCID වගේ ආයතනත් මේ අධිකරණ පද්ධතියට අයත් වෙනවා. ජනරජයේ පොදු නීතිය (රෝම-ලන්දේසි), අපරාධ නීතිය (ඉංග්‍රීසි), කසාද-දික්කසාද සහ බූදල් නීති (උඩරට, තේසවලාමේ, මුස්ලිම්) ආදී නීති භාවිතා කරමින් ජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලන්නේ මේ ආයතන. මේ ආයතනවල එම යුක්තිය පසිඳලීම සිදු කරන්නේ විනිසුරුවන්. චෝදකයන් සහ චූදිතයන් වෙනුවෙන් කතා කරන්නේ නීතිඥයන්. මේ සියල්ලම එකට ගත්තම අධිකරණය කියලා කියනවා.

එතකොට අධිකරණය කියන්නේ ජනතාවගේ ගැලවුම්කාරයා වගේ. ජනතා නියෝජිතයන්ට ජනතාව විසින් තාවකාලිකව පවරා තිබෙන බලය ඔවුන් අයුතු ලෙස භාවිතා කරලා ජනතාව මර්ධනය කිරීම (tyranny of the government) නවත්වන්න ඉන්නේ අධිකරණය. ඒ වගේම අසමතුලිත සමාජයේ මුදල් සහ පිරිස් බලය වැඩි මිනිසුන් විසින් අසරණ දුප්පත් මිනිසුන් තලා පෙලා ඔවුන්ගේ සම්පත් සහ අවස්ථා කොල්ලකෑම නවත්වන්න ඉන්නෙත් අධිකරණය. මා කියන්නේ නැහැ අපේ අධිකරණය සර්ව සාධාරණ, ශුද්ධ පිරිසිදු, පට්ට පංකාදුයි කියලා. නමුත් අධිකරණය සර්ව අසාධාරණත් නැහැ.

අධිකරණය, නීතිය, විනිසුරුවන් සහ නීතිඥයන් ගැන ජනතාව බොහෝ විට ඉන්නේ දෙගිඩියාවෙන්. එක පැත්තකින් තමන්ට අසාධාරණයක් වුනාම තමන්ව ආරක්ෂා කරයි කියන විශ්වාසය සහ ගෞරවය. අනෙක් පැත්තෙන් තමන් අතින් වැරැද්දක් වුනාම තමන්ට දඬුවම් කරයි කියන බය. ඒක තමයි මිනිස් ස්වභාවය. මෙන්න මේ මිනිස් දුර්වලතාවය නියමෙට පාවිච්චි කරනවා රෙජීම් change ඒජන්ට්ස්ලා.

රාජ්‍යයක අධිකරණය බිඳ දමන්න හොඳම ක්‍රමය තමයි ඒ කෙරෙහි ජනතාව බිඳවන එක. එතකොට ඒ ජනතාවම ඔවුන්ගේ අධිකරණය ප්‍රතික්ෂේප කරනවා. අධිකරණයට ගහන්න ඕනා නම් ඒකට තෝරාගත යුතු සුදුසුම කෙනා කවුද? ඒකට සුදුසුම කෙනා තමයි ඒ අධිකරණ පද්ධතියේම මිනිහෙක්. ඒක හරියට බෞද්ධාගමට ගහන්න ඕන වුනාම ඥානසාර වගේ භික්ෂුවක් භාවිතා කරනවා වගේ. අපට පෙනෙනවා කලක සිට කිසිම වැදගත් නඩුවක් දිනලා නැති එක්තරා ආගන්තුක පෙරකදෝරුවෙක් දිගට හරහට අපේ අධිකරණයට ගහනවා. නීතිය පසිඳලන විනිසුරුවන්ට ගරහනවා. ඔහු පුන පුනා, හැපි හැපී, පස් කකා කියනවා ශ්‍රී ලංකාවේ අධිකරණය අන්තිම දූෂිතයි කියලා.

දැන් මේකට අර දෙගිඩියාවෙන් ඉන්න ජනතාව රැවටෙනවා. අධිකරණය කිව්වම එක පුද්ගලයෙක් හෝ එක ආයතනයක් නොවෙයිනෙ. ඒක හරියට අර “සිස්ටම්” එකට බනිනවා වගේ. අයිතිකාරයෙක් නැහැ. Ambiguous දෙයකට බනින්න ලේසියි. පොලීසියෙන් දඩ කොලේ කාපු එකත් අධිකරණයට බනිනවා. බූදල් නඩුවට රස්තියාදු වෙන මිනිහත් බනිනවා. කුකුල් හොරාගේ ඉඳලා මහබැංකු හොරු දක්වා ඔක්කොම සොරුනුත් අධිකරණයට බනිනවා. පාරේ තොටේ මොනයම් වැරැද්දක් හෝ දැක්ක ගමන් අඩු හෝ වැඩි වශයෙන් වැරදි කරලා තියෙන පෘතග්ජන මිනිස්සු හැමෝම නීතියට ඇඟිල්ල දික්කරලා හිත හදාගන්නවා. දැන් ඉතින් රෙජීම් change එක හරි ලෙහෙසියි.

ඔන්න ඒ අස්සේ අර පෙරකදෝරුවා සාමාන්‍ය මිනිහට නොතේරෙන ඉංග්‍රීසියෙන් බ්ලොග් ලිපි ලියනවා “ශ්‍රී ලංකාවේ අධිකරණය දූෂිතයි ය. අපේ අධිකරණය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැතය. ඒ නිසා යුධ අපරාධ විභාග කරන්න විදේශීය විනිසුරුවන් මෙරටට ගෙන්වලා “හයිබ්‍රිඩ්” අධිකරණ හදන්නය කියලා.” ඒ වාර්තා මෙහෙ ඉන්න විදෙස් තානාපතිවරුන් සහ එන්ජීඕ කාරයෝ ජිනීවා, වොෂින්ටන්, ලන්ඩන් හැමතැනටම tweet කරනවා. Fax කරනවා. Email කරනවා. බුකියේ දඟලන බාලයන්ට ඒවා කියවන්න බැහැ. කොහොමද සැලැස්ම ක්‍රියාත්මක වෙන ලස්සන!

පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වැනි උසස්ම ආයතන වලට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්‌ ලවා බරපතල ලෙස පහර දුන්නා ඔබට මතක ඇති. දැන් ඔන්න ඊට පස්සේ කියනවා මේක හදන්න නම් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඔබ දන්නවා පසුගිය කාලය පුරාම අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න දැඟලුවේ කවුද කියලා. ඒ තමයි බෙදුම්වාදීන්. පෙරකදෝරුවත් ඒකම කරපු එක අහම්බයක් කියලද ඔබ හිතන්නේ? එයට සහාය දෙන ඔබත් මේ සැලැස්මේ චරිතයක්. දැන හෝ නොදැන. ඒ ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්.

කොපි කරන්න. SHARE කරන්න. හැබැයි සම්පූර්ණ ලිපියම.

එරන්ද ගිනිගේ
2019 අප්‍රේල් 9

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker