ටොයියන් හඳුනා ගනිමු

මම බයියෙක්මි. එනම් දේශීය සමාජ-සංස්කෘතික ප්‍රතිපත්ති, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, සහ පෙරදිගට බර විදේශ ප්‍රතිපත්ති දරන දේශපාලන කඳවුරේ එකෙකි. ටොයියා යනු නූතනලිබරල් සමාජ-සංස්කෘතික ප්‍රතිපත්ති, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති, සහ බටහිරට බර විදේශ ප්‍රතිපත්ති දරන එකෙකි.

එම ප්‍රතිපත්තිමය නිර්වචනය බර වැඩි අයගේ පහසුව සඳහා: මා පොහොට්ටුවේ සාමාජිකයෙකි; රාජපක්ෂලාගේ වහලෙකි; ගෝඨාභයගේ මිනිහෙකි. ටොයියා එජාපයේ සාමාජිකයෙකි; රනිල්ගේ හෝ ප්‍රේමදාසගේ ෆෑන් කෙනෙකි; අඩුම තරමින් ජවිපෙ “වෙන්ට-ටොයියෙකි”.

බයියා බයියෙකු වීමටත්, ටොයියා ටොයියෙකු වීමටත් ඔවුන්ගේ පුද්ගල ස්වභාවයන් (personality traits) බොහෝ දුරට බලපාන බව පෙනේ. මා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි සඳහා දේශන සිදු කළ කාලයේ ප්‍රධාන පුද්ගල ස්වභාව පහක් පිළිබඳව ඉගැන්වූ සැටි මගේ සිසුන්ට මතක තිබිය යුතුය. (මෙම පුද්ගල ස්වභාවයන් හරි හෝ වැරදි ලෙස හෝ විශ්වීය සත්‍යයන් ලෙස හෝ නොගත යුතුය.)

ටොයියන් අලුත් අත්දැකීම් වලට බයයි

පළමුවැනි පුද්ගල ස්වභාවය “අලුත් අත්දැකීම් වලට ඇති විවෘත භාවයයි” (openness to new experience). 1994 සිට අද දක්වා එනම් වසර 25 ක්ම ටොයියන්ගේ ආදරණීය සදාදරණීය නායකයා එකම මිනිසෙකි. එම නායකයා නැවත නැවත අසාර්ථක වුවත්, කෙතරම් වැරදි තීරණ ගත්තත්, ජනරජය චකබ්ලාස් කළත්, ඔහු වෙනුවට අලුත් නායකයෙක් පත් කරගැනීමට ටොයියෝ බිය වෙති.

ඒකට අපේ බයියො! අප නම් අලුත් අත්දැකීම් වලට උපන් රුසියෝය. ටොයියන් නම් කවදා කොහෙන් කැපුවත් කොළ පාටය. අපේ බයියන් කාලෙන් කාලෙට එක එක පාටට කැපේ. එජාපයෙන් වෙන්වුණු බණ්ඩාරනායක-රාජපක්ෂ විප්ලවකරුවන්ට අලුත්ම පක්ෂයක් හදලා ජනරජයේ අනාගත දේශපාලන වම නිර්මාණය කිරීමට හැකි වූයේ අපේ බයියන්ගේ එම විවෘත භාවය නිසාය.

2015 දී සිරිසේන වැන්නෙකුට ඡන්දය දෙන්න තරම් ඇතැම් බයියෝ විවෘත විය. නමුත් ටොයියන් නම් ඡන්දය දුන්නේ රනිල් කී නිසාය. රනිල්ට අගමැතිකම දෙන බවට සිරිසේන පොරොන්දු වූ නිසාය. බයියන් නැවත 2018 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් අලුත්ම පක්ෂයකට ඡන්දය දීමට තරම් විවෘත විය. නමුත් ටොයියන් නම් ඡන්දය දුන්නේ එජාපයටමය. බයියෝ කාලෙන් කාලෙට එක එක පැත්තට ඡන්දය දුන්නත්, ටොයියන් එසේ වෙනස් නොවේ. අලුත් අත්දැකීම් වලට ටොයියන් හරි බයයි.

ටොයියන් ඉතා කල්පනාකාරීව කටයුතු කරයි

දෙවැනි පුද්ගල ස්වභාවය “කල්පනාකාරීව කටයුතු කරන භාවයයි” (Conscientiousness). ටොයියෝ කට්ටයෝය. ඔවුන් ලෙහෙසියෙන් රැවටිය නොහැකිය. ඔවුන්ගේ වටපිටාවේ සිදුවන දේ ගැන ටොයියන් හොඳ අවධානයෙන් සිටී. කුට්ටමේ කාර්ඩ් 52ම කාගේ කාගේ අතේද යන්න ඔවුන්ට මතක තිබේ. බයියා එක ඉත්තෙකු අදින විට ටොයියා චෙස් ලෑල්ලේ පියවර දහයක් ඉදිරියට සැලසුම් කර ඇත.

අපේ බයියන් නම් හරිම නොසැලකිලිමත් ජාතියකි. නැත්නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මර උගුලට පාර්ලිමේන්තුවේ අත් ඔසවන්නේ නැත. සිරිසේන එන්න කියපු ගමන්ම දුවගෙන ගොස් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහින්ද අගමැතිකම ගත්තාට, කරූ සහ ප්‍රේමදාස එවැනි ඉක්මන් තීරණයක් නොගත්තේ ඔවුන්ගේ තිබෙන ඒ ටොයිමය කපටි බව නිසාය. කෙසේ වුවත් එයින් අවසානයේ සිදු වූයේ 20 වැනි සංශෝධනය සහ අලුත් කොන්-ෆෙඩරල් ව්‍යවස්ථාව අකුළා ගැනීමට සිදු වීම නම් ජනරජයේ වාසනාවකි.

එමෙන්ම හරි හෝ වැරදි එක්සත් ජාතික පක්ෂයේ තීරණ යටතේ පාලනය වීමට ටොයියන් කැමතිය. ඔවුන්ගේ නායකයාට දරදඬු ඒකාධිපති පාලනයක් ගෙන යාමට හැකි වන්නේ එම නිසාය. නමුත් බයියන්ට නම් එහෙම පාලනය වෙන්නට බැරිය. දිනේෂ්ලා එක පැත්තකට අදියි. වාසුදේවලා තව පැත්තකට අදියි. විමල්ලා තවත් පැත්තකට අදියි. එක ක්‍රමයකට යන්නට බයියන්ට උපතින්ම බැරිය.

ටොයියන් හරිම අන්තර්වර්තිකයි

තුන්වැනි පුද්ගල ස්වභාවය “අන්තර්වර්තික හෝ බහිර්වර්තික භාවයයි” (Introversion vs extroversion). ටොයියන් ලෝකය දකින්නේ තමා තුලින්ය. ඔවුහූ තරමක ගුප්ත ගති ඇත්තහුය. තමා දන්නා හැමදේම කියවන්න යන්නේ නැත. රනිල් එයට හොඳම උදාහරණයයි. ඔහු හරිම බෝරිං චරිතයකි. අනෙකාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්නට ඔහුට නොහැකිය. ඔහුගේ ජෝක් වලට ඔහුට හැර වෙන කිසිවෙකුට හිනා යන්නේ නැත.

නමුත් බයියන් නම් විවෘත පොත් වැනිය. විනාඩියක් කතා කළොත් ඕනෑම නාඳුනන පුද්ගලයෙකු සමග තමාගේ මුළු ජීවිත කතාවම නොපැකිළව වමාරයි. බයියන් ලෝකය දකින්නේ අනුන් තුළින්ය. බයියන් අනුන්ගේ බස් ඉස් මුදුනින් පිළිගනී. බයියන් ඡන්දය දෙන්නේ අසල්වැසියන්ගෙන් අසාය. නැතිනම් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් අසාය. ගොසිප් සයිට්ස්වලට වැඩියෙන්ම ට්‍රැෆික් දෙන්නේත්, ගොබ්බ යූටියුබ් වීඩියෝ ට්‍රෙන්ඩ් කරන්නෙත් බයියන් බවට සැක නැත.

ටොයියන් මුරුංගා ඇත්තේ නග්ගන්නට බැරිය. ටොයියන්ට බටර් ගාන්නට බැරිය. ඔවුන් එවැනි වර්ණනා පැසසුම් වලින් නොසෙල්වේ. නමුත් අපේ බයියන් නම් තමන්ව වර්ණනා කරනවාට හරිම කැමතිය. ටොයියන්ට බයියන්ව ලෙහෙසියෙන් රවට්ටන්න පුළුවන් වන්නේ ඒ නිසාය.

ටොයියන් හරි දරදඬුයි

හතරවැනි පුද්ගල ස්වභාය “එකඟ වීමේ භාවයයි” (Agreeableness). ටොයියන් යනු තමන්ගේ මතයේම එල්බගෙන සිටිනා පිරිසකි. එම මතය වැරදි යැයි සාක්ෂි සහිතව තාර්කිකව පෙන්වා දුන්නත් එය වෙනස් කර ගැනීමට ඔවුන් සුදානම් නැත. අනුන් සමග එකඟතාවයෙන් කටයුතු කිරීම සමාජයේ ප්‍රගමණයට අත්‍යවශ්‍ය දෙයකි. 1940 ගණන් වල සිට ඉතිහාසයේ සියලු ගැටුම් වලට මුල් වූයේ ටොයියන්ගේ මෙම දරදඬු ගතියයි.

මහින්ද රාජපක්ෂ යනු එකඟතාවයේ හපනෙකි. ඕනෑම කෙනෙකු සමග “ඉතිං කොහොමද?” කියා කාලයක් තිස්සේ දැන සිටියාක් මෙන් කතාවට වැටෙයි. ගෝඨාභය රාජපක්ෂ අනෙක් මිනිසුන් කියන දේ සාවධානව අසා සිටියි. එජාපයේ ලොක්කෝ නම් එසේ නැත. ඔවුන් කිසිදාක වෙනස් මතයක් දරන කෙනෙකු සමග එකඟ වනවා තබා වෙනස් මතයක් අහන්නෙවත් නැත. ටොයියන් යනු කිසිදාක තමන්ගේ වැරැද්දක් පිළිගන්නේ නැති ජාතියකි.

අතිශය දුර්වල, අතිශය අසාර්ථක, අතිශය දූෂිත පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට ජනතාව සතු (විය යුතු) ජනතාපාලන (ප්‍රජාතන්ත්‍රවාදී) අයිතිය පවා නැති කරමින් තමන්ගේ පක්ෂය ආරක්ෂා කර ගැනීමට 2018 ඔක්තෝබර් මාසයේ පාරට බැස්සේ ටොයියන්ය. එයට හේතුව ජනරජයට හෙණ ගැහුවත් තමන්ගේ මතය වෙනස් කර ගැනීමට ටොයියන්ට ඇති උපන් නොහැකියාවය.

ටොයියන්ට හැඟීම් නොදැනේ

පස්වැනි පුද්ගල ස්වභාවය “හැඟීම් දරා ගැනීමේ භාවයයි” (Neuroticism). පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එජාප නායකයන් සිනා සිසී මාධ්‍යය ඉදිරියේ කතා කරන්නේ ඔවුන්ට සැබැවින්ම හැඟීම් නොදැනෙන නිසාය. “බෝම්බෙකින් ළමයෙක් මැරුණොත් ලක්ෂයක් දෙනවා යැයි” අධ්‍යාපන ඇමතිවරයා කියන්නේ ඔහුගේ මෝඩ කමට වඩා සැබැවින්ම ඔහුට දරු දුක යනු කුමක්දැයි නොදැනෙන නිසාය.

බයියන්ට නම් හැඟීම් දරාගත නොහැකිය. කිසිවෙකු හඬනු දුටු විට මහින්දටත් ඇඬෙයි. රනිල් විහිළු කර කර පාර්ලිමේන්තුවේ සැහැල්ලුවෙන් කතා කරන විට, මහින්දගේ කටහඬ වෙව්ලන්නේ ඔහුට ඔහුගේ හිතේ දුක පාලනය කර ගත නොහැකි නිසාය. බයියන්ට ඉක්මනට කේන්ති යන්නේ ඒ නිසාය.

ටොයියන් තමන් මොන වැරැද්ද කළත් පහුවදාට කිසිවක් නොවුනා සේ සිටිය හැකි අරුම පුදුම ජාතියකි. බයියන් තමන්ගේ වැරැද්ද ගැන තැවෙමින්, ළතවෙමින්, සමාව අයදමින් මැරෙන්න හදයි. ටොයියන්ට පශ්චාත්තාපයක් නැත. එය ඉතා භායනක පුද්ගල ස්වභාවයකි.

ඉහත පුද්ගල ස්වභාවයන් සියලු ටොයියන්ට සහ සියලු බයියන්ට සමාන ලෙස භාවිතා කළ නොහැකි බවත් කිව යුතුය (විශ්වීය නොවේ). නමුත් දැන් ඔබට පුද්ගලයෙකුගේ ස්වභාවය මත ඔහු ටොයියෙක් හෝ බයියෙක් වන සැටි හඳුනාගත හැකි විය යුතුය. එමෙන්ම බයි වේශයෙන් සිටින ටොයියන් හඳුනා ගැනීමටත් හැකි විය යුතුය.

එරන්ද ගිනිගේ

2019 මැයි 5

(ටොයියන්ටයි බයියන්ටයි පේන්න SHARE කරන්න)

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu