ජාතික ගීයේ භාෂාව

මා බාලදක්ෂ සංගමයට බැඳුනේ පාසලේ හත වසරේ ඉගෙනුම ලබන කාලයේ ය. බාලදක්ෂයෙකු විසින් සිදු කළ යුතු විවිධ ක්‍රියාකාරකම් ඇත. ඒවා පියවරෙන් පියවර සාර්ථකව නිම කළ විට ඒ සඳහා ක්‍රමයෙන් උසස්වීම් ලැබේ. ඒ අතරින් තිබූ පළමු කාර්යයක් වූයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය තනිවම ගායනා කර පෙන්වීමය. සංගමයට බැඳුනු මුල් දිනයේම එය කර පෙන්විය හැකි යැයි ජ්‍යෙෂ්ඨ බාලදක්ශයෝ අපට කීවෝය.

නැවුම් කඩදාසි සහ තීන්ත සුවඳ රැඳි පෙළපොත් සඳහා කවර දමන අතරතුර බ්‍රවුන්පේපරයෙන් වැසී යෑමට මත්තෙන් පසු කවරයේ මුද්‍රණය කර ඇති ජාතික ගීය මා ආසාවෙන් කියවා ඇත. එමෙන්ම සියලු පාසල් උත්සවයන් හිදී සෙසු ශිෂ්‍යයන් සමග එය උස් හඬින් ගායනා කර ඇත. එබැවින් ජාතික ගීය කියන එක මොන කජ්ජක්දැයි මට සිතිණි. පළමු දිනයේම ජාතික ගීය ගායනා කර පෙන්වීමට අනෙක් නවක බාලදක්ෂයන් සමග මම ද ඉදිරිපත් වීමි.

හිස් පන්ති කාමරයක ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් දෙදෙනකු ඉදිරියේ තනිවම සීරුවෙන් හිටගෙන ගීය ගායනා කළ යුතුව තිබිණි. ජාතික ගීය තබා කිසිදු ගීයක් පිට අය ඉදිරියේ ඊට පෙර මා තනිවම ගයා නැත. මගේ වාරය පැමිණියේය. “ශ්‍රී ලංකා මාතා… අප ශ්‍රී… ලංකා… නමෝ නමෝ නමෝ නමෝ මාතා…” මුලින්ම මට දැනුනේ ගීය තාලයට ගායනා කිරීම අපහසු බවයි. පිරිසක් සමග සංගීතයට ගායනා කරන විට ඇති ආත්ම විශ්වාසය තනිව සංගීතය නොමැතිව ගායනා කරන විට නැති බව ඉක්මනින්ම අවබෝධ විය. 

“සුන්දර සිරි බරිනී…” පළමු පද පෙළ නම් කියා ගත හැකි විය. දැන් දැන් ගීය ගායනා කරනවාට වඩා මනස කරන්නේ ඊළඟට එන වචන මොනවාදැයි මතක් කිරීමයි. එවිට මතක ඇති වචනත් පැටලෙයි. ජාතික ගීය මෙච්චර දිගට ලිවීම ගැන කේන්ති එයි.

“ඔබ වේ අප විද්‍යා…” දෙවන පද පෙළ අතරමග හදිසියේ විදුලිය විසන්ධි කළාක් මෙන් මතකය නැවතිණි. හාත්පස දැඩි නිහැඬියාවකය. පාදාන්තයේ සිට සියලු රුධිරය මුහුණට ඇදී එන්නාක් මෙන් දැනෙන්ට විය. “ඔබ… ඔබ… අප… අප…” වචන එන්නේම නැත. ජ්‍යෙෂ්ඨයන්ගේ සරදම් මුව මාගේ බොඳ වූ දෑසට පෙනේ. මම ලැජ්ජාවෙන් බිම බලා ගතිමි. 

“ඊළඟ සතියේ නැවත උත්සාහ කරන්න.” මම එදා රාත්‍රියේ ජාතික ගීය සිය වරකට වඩා උස් හඬින් ගායනා කර කටපාඩම් කර ගතිමි. ජාතික ගී ගැන වහසි බස් දොඩන නෝනා මහත්තුරුන්ගෙන් කී දෙනෙකුට පිරිසක් ඉදිරියේ සංගීතය නොමැතිව තනිවම ගීය ගායනා කළ හැකිදැයි මට සැක සිතේ.

නමෝ නමෝ මාතා

අද භාවිතා වන සිංහල බසින් රචිත “ශ්‍රී ලංකා මාතා” නමැති ගීය ලියා ඇත්තේ දක්ෂ සංගීතඥයකු වූ ආනන්ද සමරකෝන් ශූරීන්ය. නමුත් එම ගීය සමරකෝන්ගේ ගුරුදේවයන් වූ රබින්ද්‍රනාත් තාගෝර් මහා ප්‍රාඥයා විසින් රචනා කර සංගීතවත් කළ මුල් ගීයක සිංහල අනුවාදයක් යැයි විශ්වාස කෙරේ. තාගෝර්ගේ ප්‍රියතම සිලෝන ශිෂ්‍යයා හට සිය ගුරුදේවයන්ගේ යම් නිර්මාණාත්මක පුර්වාදර්ශයක් ලැබුනාට සැක නැත.

ඉන්දියාවේ සහ බංගලාදේශයේ අද භාවිතා වන බෙංගාලි බසින් ගායනා කරන ජාතික ගී රචනා කර ඇත්තේද රබින්ද්‍රනාත් තාගෝර් ය. ආර්ය සිංහල සම්භවය සිදු වූ නූතන බටහිර බෙංගාලය සහ සිංහල භාෂාව ද අයත් වන ඉන්දු-ආර්ය භාෂා පවුලේ සමකාලීනව විකාශය වූ බෙංගාලි බස සමග නූතන ශ්‍රී ලංකාවේ ජාතික ගීය ඈඳී තිබීම හරිම අපූරුය.

Image result for tagore samarakoon"

එකල “නමෝ නමෝ මාතා” නමින් තිබූ එම දේශානුරාගී ගීය මුලින්ම ගායනා කර ඇත්තේ සමරකෝන් මහතා සංගීතය උගැන්වූ මහින්ද විද්‍යාලයේ සිසුන් විසිනි. සිලෝන රේඩියෝවේ වැඩිපුර ප්‍රචාරය වීම නිසා එකල එය ජනප්‍රියව තිබිණි. 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොලනි තත්ත්වයෙන් මිදී ඩොමිනියන් තත්ත්වය ලබා ගැනීමට (නිදහස නොවේ) ලක ලැහැස්ති වෙමින් සිටිය දී ජාතික ගීයක අවශ්‍යතාවය යෝජනා වී තිබේ. 

“ලංකා ගාන්ධර්ව සභාව” ඒ සඳහා ගී රචනා තරගයක් පවත්වා තිබේ. සමරකෝන් මහතාගේ “නමෝ නමෝ මාතා” ගීයද තරගයට ඉදිරිපත් කර ඇත. තරගයෙන් ජයගන්නේ “ශ්‍රී ලංකා මාතා – පාලා යස මහිමා” නමැති ගීය යි. නමුත් එම ගීයේ රචකයන් වන පී. බී. ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ යන මහත්වරු දෙපළම තරග තීරකයන් වී සිටීම නිසා එම තෝරා ගැනීම අසාධාරණ යැයි විරෝධතාවයක් මතු වී තිබේ.

අපේ ඈයෝ එසේ ඇනකොටා ගනිද්දී 1948 පෙබරවාරි 4 වැනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමිනියන් සිලෝනය බිහි වීම “ගෝඩ් සේව් ද කිං” බ්‍රිතාන්‍ය ජාතික ගීයම ගායනා කරමින් සිදු වී ඇත. අද මෙන්ම එදාත් අපේ මිනිසුන් ගීයක් වෙනුවෙන් බෙදී කුළල් කා ගෙන ඇත. වෙනසකට ඇත්තේ එදා ඇනකොටා ගෙන ගත්තේ සිංහල බසින් ලියැවුණු ගී දෙකකින් එකක් තෝරා ගැනීමට නොහැකිවය.

කෙසේ හෝ 1949 වසරේ පැවති ප්‍රථම නිදහස් දිනය* සැමරීමේ උත්සවය දා ඊනියා ගී දෙකම සිංහල සහ දෙමළ බසින් ගායනා කර තිබේ. ඒ බව එම උත්සවයට යැවූ ආරාධනා පතෙහි ද ලියා ඇත. එනම් එකල ජාතික ගී දෙකක් තිබී ඇත. ඒවා සැබැවින්ම ජාතික ගී (anthem) නොව, ජාතික සිංදු (songs) ලෙස හඳුන්වා ඇත. (*නිදහස් දිනය යනු අවභාවිතයකි. අපගේ රාජ්‍යය නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනතා රාජ්‍යයක් වන්නේ 1972 මැයි මස 22 වැනි දාය.)

1949 Independence Day National Songs

 

ජේ. ආර්. ගේ දීර්ඝ කුමන්ත්‍රණය

බ්‍රිතාන්‍යයන් විසින් අරඹන ලද සිංහල-දෙමළ භේදය සූක්ෂම ලෙස ඉදිරියට ගෙන ගොස් 1983 කළු ජූලිය හරහා ඊළඟ වසර 25 පුරා දිව යන යුද්ධයකින් අවසන් කළ ලක් ඉතිහාසයේ කපටිම සහ දුෂ්ටම දේශපාලන චරිතය ජේ. ආර්. ජයවර්ධන ය. ඒ ගැන වෙනම පොතක් ලිවිය හැකිය. නමුත් ඒ දීර්ඝකාලීන සැලසුම්, කුමන්ත්‍රණ සහ දුෂ්ටකම් ගැන සිතීම පවා මා හට බිය ගෙන දේ.

1950 දී එවක මුදල් ඇමතිව සිටි ජේ. ආර්. විසින් එක නිල ජාතික ගීයක් තෝරා ගැනීමට යෝජනා කරයි. ආන්දෝලනයකට තුඩු දුන් ජාතික කොඩිය යෝජනා කිරීමට කටයුතු කළේ ද ජේ. ආර්.මය. අනාගතයේ සිය නිශ්චිත දේශපාලන සතුරා නිර්මාණය කර ගැනීම සඳහා ජේ. ආර්. වැඩ කර ඇත්තේ දීර්ඝ කාලයක සිටමය. 

ඒ අනුව ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා නැවත කමිටුවක් පත් කෙරී ඇත. ගී කිහිපයක් අතුරින් අවසානයේ සමරකෝන්ගේ “නමෝ නමෝ මාතා” ගීයම, ජේ. ආර්.ගේ දැඩි උවමනාවට තෝරා ගත් බව කියවේ. එම තනුවටම ගායනා කළ හැකි වන ලෙස එහි ඍජු දෙමළ පරිවර්තනය සිදු කර ඇත්තේ කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයෙකුව සිටි එම්. නල්ලතම්බි නමැති සම්මානලාභී දෙමළ කාව්‍ය රචකයෙකි. 

සමරකෝන් සහ නල්ලතම්බි දෙපළම පාසල් ගුරුවරුන් වීමත්, සමරකෝන් කිතුනුවෙකු ලෙස බෞතිස්ම ලබා තරුණ වියේ දී ශාන්තිනිකේතනයට යෑමෙන් පසුව බෞද්ධ ආගම වැළඳ ගැනීමත්, නල්ලතම්බි මුස්ලිම් පාසලක උගැන්වීමත් අප නිරහංකාරකරවන අපූරු සිද්ධීන්ය. 

ඒ අනුව ඩොමිනියන් සිලෝනයේ නීත්‍යානුකූල ජාතික ගීය ලෙස පළමු වරට “නමෝ නමෝ මාතා” ගීය ගායනා කරන්නේ 1952 දීය. එම රාජ්‍ය උත්සවයේ දී දෙමළ බසින් ගීය ගායනා කළාද නැද්ද කියා විස්තරයක් මා හට සොයා ගත නොහැකි විය. ජේ. ආර්.ගේ සැලැස්ම ක්‍රියාත්මක වූවා නම් එය ගායනා කළා විය නොහැකිය.

ශ්‍රී ලංකා මාතා

ඒ වසරේදී ම ඩී. එස්. සේනානායක අගමැතිවරයා ගාලු මුවදොර පිටියේ දී අසු පිටින් වැටී මළේය. ඩී. එස්. සහ ජේ. ආර්.ගේ ගැටයට මුල සිටම යොදාගත් එළුබිල්ල වූයේ සොලමන් බණ්ඩාරනායකයි. 1956 දී රාජ්‍ය භාෂා පනත ගෙනැවිත් සිදු කර ගත් වරද හරි ගස්සන්නට බණ්ඩා-චෙල්වා ගිවිසුම ගෙන ආවත්, ජේ. ආර්. සහ ආර්. ප්‍රේමදාස විසින් සිදු කළ විරෝධතා මගින් ඇති කළ සිංහල-දෙමළ කෝලාහල නිසා බෙදුම්වාදය හරියටම ස්ථාපිත විය.

පසු කලෙක ලොව භයානකම ත්‍රස්තවාදී නායකයකු බවට පත් වන වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහිවීමට ඔහු කුඩා කල අත්දුටු 1958 කෝලාහලය දැඩි ලෙස බලපෑ බව ඔහු කියා තිබේ. අද දවසේ අප සිදු කරන ක්‍රියාදාමයන් වල ප්‍රතිඵල දැක ගත හැක්කේ අනාගතයේ ය. ඒවා එන්නේ සිය දහස් වාරයක් දරුණු වෙලාය. අද මෙන්ම එදත් කාඩ්බෝර්ඩ් වීරයන් ලෙස රැඟූ අමන මිනිසුන් විසින් ජනරජයේ එක පරම්පරාවක් සහමුලින්ම විනාශ කර දැමිණි.

1959 දී තල්දූවේ සෝමාරාම භික්ෂුව විසින් “රට, ජාතිය, ආගම!” යනුවෙන් මොර දෙමින් බණ්ඩාරනායක අගමැතිවරයාගේ පපුවට රිවෝල්වරයකින් පිට පිට වෙඩි තබා ඝාතනය කර දැමිණි. ඩොමිනියන් සිලෝනය මෙලෙස අභාග්‍ය සම්පන්න ලෙස බිඳ වැටෙද්දී එයට හේතුව ලෙස ඇතැමුන් දැක්වූයේ ජාතික ගීයේ ආරම්භක පද පෙළෙහි ඇති ගණ පිහිටීමේ වරදකි.

එම නිසා ආරම්භක “නමෝ නමෝ මාතා” කොටස වෙනුවට “ශ්‍රී ලංකා මාතා” යනුවෙන් 1961 දී නිල වශයෙන් ආදේශ කෙරිණි. ආනන්ද සමරකෝන් එයට දැඩි ලෙස විරුද්ධ විය. නමුත් ගීයේ පූර්ණ අයිතිය ආණ්ඩුව විසින් සමරකොන්ගෙන් රු. 2,500 කට මිලට ගෙන තිබූ නිසා ඔහුට කළ හැකි කිසිවක් නොවීය. මේ සිදු වීමෙන් අතිශය කලකිරීමට පත් සමරකෝන් 1962 වසරේ දී නිදිපෙති බී සිය දිවි නසා ගත්තේය.

වර්තමාන ජාතික ගීය යනු ඒ සා අමිහිරි ඉතිහාසයක් ඇති ගීයකි. එය සැබැවින්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන උපායමාර්ගික නිර්මාණයකි. මෙවැනි කරුණු ගැන අවබෝධයක් ඇති සාධාරණ මිනිහෙක් මේ කපේට එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්නේ හෝ ඊනියා ජාතික ගීයේ භාෂා ගැටයට උඩගෙඩි දෙන්නේ නැත.

ජනරජයේ පළමු උපත

කෙසේ හෝ ඩොමිනියන් සිලෝනය බිහි කර වසර 24 ක ඇවෑමෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සහ එකල සැබෑ ප්‍රගතිශීලී වාමාංශිකයන් විසින් 1972 මැයි මස 22 වන දින සියලු ජාතික වැසියන්ට එක හා සමානව රාජ්‍යයේ පරමාධිපත්‍යය උරුම කර දෙමින් ජේ. ආර්. ඇතුළු එජාපයේ විරෝධය හමුවේ නිදහස් ශ්‍රී ලංකා ජනරජය බිහි කළෝය (පින්). නමුත් ඔවුන් වසර 25 ක්ම ප්‍රමාද වැඩිය.

අඩුම තරමින් එවිටම සිංහල සහ දෙමළ භාෂා දෙක රාජ්‍ය භාෂා ලෙස ව්‍යවස්ථාපිත කළා නම් ජනරජයේ ඉතිහාසය සහමුලින්ම වෙනස් වෙනු ඇත. එම අවස්ථාව ඔවුන් මග හරියේ ඇයි දැයි මා හට සිතා ගත නොහැකිය. ජනරජය යන්තම් දණගාගෙන එන විට හඳේ හාල් කෑමට පෙරේත වූ ජනරජවැසියා ජේ. ආර්. ට ආසන හයෙන් පහක ඒකාධිපතීත්වයක් ලබා දී ජනරජය හැදූ සිරිමාවෝ මැතිණිය පන්නා දැමීය. ජනරජය යටපත් කරමින් ජේ. ආර්.ගේ ඊනියා ජාතික රාජ්‍යය බිහි වන්නට පටන් ගති.

ජේ. ආර්.ගේ “එක්සත්” ජාතික රාජ්‍යය

1978 දී ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවෙන් වර්තමාන ජාතික ගීය ව්‍යවස්ථාගත කෙරිණි. එය 7 වැනි වැනි ව්‍යවස්ථාවේ සහ තුන්වැනි උපලේඛනයෙහි දක්වා ඇත. එය කදිම උපායකි. මන්ද 83 වැනි ව්‍යවස්ථාව සහ ඒ හා බැඳි තවත් ව්‍යවස්ථා අනුව 4 වැනි සහ 5 වැනි ව්‍යවස්ථා හැර, 1 සිට 11 දක්වා ව්‍යවස්ථා වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය සහ ජනමත විචාරණයක සරල බහුතර ඡන්දය ද අවශ්‍යය.

4 වැනි ව්‍යවස්ථාවෙන් ජනතාව සතු පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ස්ථාපිත කෙරේ. 5 වැනි ව්‍යවස්ථාවෙන් ජනරජයට අයත් දේශය දැක්වේ. ඒවා වෙනස් කිරීමට ජනමත විමසුමක් අවශ්‍ය නැත! ජේ. ආර්. යනු කපටියන්ගේත් කපටියෙකි.

එම ව්‍යවස්ථාවෙන්ම සිංහල සහ දෙමළ භාෂා ජාතික භාෂා ලෙස ව්‍යවස්ථාපිත කෙරිණි. නමුත් රාජ්‍ය භාෂාව සිංහල ලෙසම ලෙස තබා ගත්තේය. එයින් ඔහු සිදු කළේ භාෂාව මත පදනම් වූ ජාතීන් දෙක නිශ්චිතව ව්‍යවස්ථාපිත කිරීමත්, දෙමළ ජාතියට වඩා සිංහල ජාතිය උසස් කිරීමත්ය. එය එතෙක් අලිඛිතව පැවති භාෂාව-මත-පදනම්-වූ ජාතිවාදය ව්‍යවස්ථාපිත කළ සාහසික ක්‍රියාවකි. දෙමළ වැසියා බෙදුම්වාදයට නැවත නැවත උවමනාවෙන්ම තල්ලු කළේ ජේ.ආර්.ය

1983 දී ජේ.ආර්.ට අවශ්‍ය කළ සතුරා ඔහු නිර්මාණය කර ගත්තේය. දශක ගණනාවක් තිස්සේ විස පොව පොවා, ගිනි පිඹ පිඹා ඔහු පැසවූ කල්දේරම උතුරා ගියේය. එයින් ජනරජය පිච්චි පිච්චී, සම ගැලවි ගැලවී  ගියේය. මාද අයත් වන 80 සහ 90 දශකයේ උපන් සහස්‍රයේ දරුවන්ගේ ජීවිත උපන් මොහොතේ සිට කාබාසිනියා කළේ ජේ. ආර්. සහ එක්සත් “ජාතික” පක්ෂය යි.

රාජීව් ගාන්ධිගේ කීමට ජේ.ආර්. 13 වැනි සංශෝධනය ගෙන ආවේය. ජනමත විමසුමක් නොමැතිව තනි කැමැත්තට ජනරජය පළාත් සභාවලට බෙදා වෙන් කෙරිණි. නමුත් අවසානයේ මේ සියලු කරුමයන්ට මුල් වූ ගැටලුවට විසඳුම ලැබුනේද ජේ.ආර්.ගෙන්මය. එනම් 1987 දී දෙමළ භාශාව ද රාජ්‍ය භාෂාවක් කිරීමය. එය ඔහු සිදු කළේ කැමැත්තෙන් විය නොහැකිය.

1949 දී කළ යුතුව තිබූ, 1956 දී මර්ධනය කෙරුණු, 1972 දී මග හැරුණු, 1978 දී කළ හැකිව තිබූ ඒ කාර්යය අවසානයේ ජේ.ආර්. අතින්ම සිදු වීම දෛවයේ සරදමකි. නමුත් ඔහු වසර 38 ක් ප්‍රමාද වැඩිය. එයින් යුද්ධය නවත්වා ගත හැකි නොවීය. තවත් වසර 25 ක් යන තෙක් ජේ.ආර්.ගේ යුද්ධය ඇවිලිණි. 

දුෂ්ට යමක් ආරම්භ කිරීමට පෙර සිය දහස් වාරයක් සිතිය යුත්තේ එබැවිනි. තමාගේ ඡන්ද කුට්ටිය තර කර ගෙන පාර්ලිමේන්තුවට පැන ගැනීම සඳහා අද බෙරිහන් දෙන ඇතැමුන් සහ ජේ. ආර්. අතර වෙනසක් නැත. තමා ප්‍රාර්ථනා කරන දෙය ගැන ප්‍රවේශම් වෙන්න කියා ප්‍රසිද්ධ කියමනක් තිබේ.

ව්‍යවස්ථාවේ ජාතික ගී

සිංහල භාෂාවෙන් ලියා ඇති 7 වැනි ව්‍යවස්ථාව මෙසේය: “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීය වන්නේ ය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේ ය.” තුන්වැනි උපලේඛනයේ ඇත්තේ සිංහල බසින් ලියැවුණු ජාතික ගීය සහ එය ගායනා කළ යුතු තාලයද ඇතුළත්ව අතින් ලියා ඇති සංගීත සංයුතිය යි.

National Anthem Sinhala

 

 

 

දෙමළ භාෂාවෙන් ලියා ඇති 7 වැනි ව්‍යවස්ථාවේ ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා තායේ” ගීය වන්නේය. එහි තුන්වැනි උපලේඛනයෙහි ඇත්තේ එම දෙමළ බසට පරිවර්තනය කළ ජාතික ගීය සහ එය ගායනා කළ යුතු තාලයද ඇතුළත්ව අතින් ලියා ඇති සංගීත සංයුතිය යි.

National Anthem Sinhala

සිංහල සහ දෙමළ භාෂා දෙකම ජනරජයේ ජාතික භාෂා නිසාද, ඒ දෙකම රාජ්‍ය භාෂා නිසාද, දෙමළ පරිවර්තනයේ අර්ථය වචනයක් වචනයක් පාසා සිංහල ගීයට සමාන වන නිසාද, මේ ගී දෙකෙන් කුමන ගීයක් ගායනා කළත් ගැටලුවක් නොමැත. වචනවල අර්ථය තේරුම් ගෙන ගායනා කරන විට පමණක් දේශානුරාගය ඇති වන නිසා එම වචනවල අර්ථය තේරුම් ගත හැකි භාෂාවෙන් කවුරුත් ගීය ගායනා කළ යුතුය.

නමුත් දෙමළ භාෂාවෙන් ජනරජයේ වැසියෙකු ජාතික ගීය ගායනා කරනු ඉවසා සිටිය නොහැකි ජාතිවාදීන් ට මෙය ගැටලුවකි. ජාතිකවාදීන් යැයි තමාවම හඳුන්වා ගන්නා ඔවුන් වනාහී ජේ. ආර්.ගේ දරුවන්ය. තම කුහකකම වසා ගැනීමට ඔවුන් විවිධාකාර හේතු දක්වයි. ඒවා එකින් එක පහතින් බිඳ දමමි.

1) ඉන්දියාවේ ජාතික ගීය

ඉන්දියාවේ විවිධ භාෂා කතා කරන වැසියන් සිටියත් ඔවුන්ට ඇත්තේ එක ජාතික ගීයකැයි ඔවුන් කියයි. එය අර්ධ සත්‍යයකි. නූතන ඉන්දියාවේ ජාතික ගීය (anthem) සහ ජාතික සිංදුව (song) යනුවෙන් ගී දෙකක් ඇත. “ජන ගන මන” නම් ජාතික ගීය ලියා ඇත්තේ තාගෝර්ය. එය ලියා ඇත්තේ සංස්කෘත ආභාෂයෙන් බෙංගාලි බසිනි. ඔවුන්ගේ ජාතික සිංදුව ලෝක ප්‍රසිද්ධ “වන්දේ මාතරම්”ය. බෙංගාලි බසින් මුලින් ලියැවුණු එය දෙමළ, තෙලුගු, කන්නඩා, මලයාලම්, උර්දු ආදී විවිධ භාෂා වලින් ගායනා කරනු ලැබේ.

ඉහත හේතුව දක්වන අය සරල තාර්කික ආභාසයක් සිදු කරයි. එනම් ඔවුන් සසඳන්නේ වැරදි රාජ්‍යයන්ය. ශ්‍රී ලංකාව සැසඳිය යුත්තේ නූතන ඉන්දියාවට නොවේ. ශ්‍රී ලංකාව සැසඳිය යුත්තේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට පෙර තිබූ භාරත රාජ්‍යයටය.

භාරතය සිය නිදහස ලැබීමෙන් පසුව අප මෙන් ඒකීය රාජ්‍යයක් ලෙස පැවතුනේ නැත. උර්දු භාෂාව කතා කළ මුස්ලිම් ජාතිකයන් පාකිස්ථානය ලෙස ලේ ගංගාවකින් බෙදා වෙන් නොවුනා නම් ඇතැම් විට අද ඉන්දියාවේ බෙංගාලි සහ උර්දු බසින් ජාතික ගීය ගැයෙනු ඇත. 

එමෙන්ම ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ට වෙනම ගී ඇත. උදාහරණයක් ලෙස “තමිල් තායි වලදු” ගීය තමිල්නාඩු ප්‍රාන්තයේ ගීය යි. සියලු ප්‍රාන්ත රාජ්‍ය උත්සවයන්ගේ මුලින් ගයන ගීය එයයි. “ජන ගන මන” ජාතික ගීය ගයන්නේ උත්සවය අවසානයේ ය.

එසේ නම් ඉන්දියාව උදාහරණයට ගන්නා ජේ. ආර්.ගේ දරුවන් ලංකාවේත් විවිධ පළාත්බදව වෙනම ගී ගායනා කරනවාට කැමතිද? දෙමළ බසින් ජාතික සිංදුවක් ගායනා කරනවාට කැමතිද? “ජන ගන මන” ගීයේ “පන්ජාබ, සින්ධ්, ගුජරාට, මරාට, ද්‍රවිඩ, උත්කල්, බෙන්ගාල” යනුවෙන් රාජ්‍යයේ විවිධ ඓතිහාසික රාජ්‍යයන් එම නම් වලින්ම උත්කෘෂ්ටයට නගයි. 

ඉන්දියාවේ එක ජාතික ගීයක් ගායනා කළ හැක්කේ ඉහත කාරණා නිසාය. ඔවුන් විවිධත්වය අගය කරමින් එය සමරයි.

2) බහුතරය කතා කරන භාෂාව

බහුතරයක් දෙනා කතා කරන භාෂාවෙන් පමණක්ම ජාතික ගීය ගායනා කළ යුතු යැයි කියන පිරිසක් ද සිටී. නමුත් ඉන්දියාවේ “ජන ගන මන” ගීය ලියා ඇති බෙංගාලි භාෂාව කතා කරන්නේ ජනගහණයෙන් 8% ක් පමණී. සිංගප්පුරුවේ ජාතික ගීය ලියා ඇති මැලේ භාෂාව කතා කරන්නේ ජනගහණයෙන් 10% ක් පමණී.

එම නිසා බහුතරය කතා කරන භාෂාවෙන්ම ජාතික ගීය ගායනා කළ යුතුය යන තර්කයද බිඳ වැටේ. එය සැබැවින්ම බහුතරවාදී හෙවත් බහුතරය විසින් සුළුතරය මර්ධනය කරන ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයකි. එසේ නම් ශ්‍රී ලංකාවේ බහුතරයක් කතා කරන භාෂාව ඉංග්‍රීසි විය හැකිය. මන්ද සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන් වැඩි වැඩියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා බැවිනි. එවිට ජාතික ගීය ඉංග්‍රීසියෙන් ගායනා කළ යුතුද?

3) ලෝකයේ අනෙකුත් රටවල ජාතික ගී

ලෝකයේ කිසිදු රාජ්‍යයක් තවත් රාජ්‍යයක් සමග සමාන කළ නොහැකිය. එම රාජ්‍යයන් බිහි වී ඇත්තේ විවිධ ඓතිහාසික කාරණා නිසාය. ඒවායේ නූතන තත්ත්වයන් සහ අනාගත අභියෝග එකිනෙකට සපුරා වෙනස්ය. නවසීලන්තය සහ ඩෙන්මාර්කය රාජ්‍යයන් හී නිල ජාතික ගී එකකට වඩා ඇත. ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය වැනි රාජ්‍යයන් හී එකම ජාතික ගීය වෙනස් හාෂා වලින් ගායනා කරයි. කැනඩාවේ එකම ගීයේ භාෂා දෙකක පදවැල් ඇත. දකුණු අප්‍රිකාවේ එකම ගීයේ භාෂා පහක පදවැල් ඇත. ස්පාඥ්ඥ වැනි රටවල ජාතික ගීයට වචන කිසිවක් නොමැත. ඇත්තේ සංගීතය පමණී.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ එය ගායනා කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික, නූතන සහ අනාගත තත්ත්වයන් අනුව මිස වෙනත් රාජ්‍යයන් කරන නොකරන පළියට නොවේ. ශ්‍රී ලංකාව යනු ජාතීන් දෙකක් අතර ඓතිහාසික අරගලයක් ඇති රාජ්‍යයකි. එය මහපොළොවේ සත්‍යයකි. එම අරගලය අනාගතයටත් ගෙන යෑමට කැස කවන්නේ ජේ.ආර්.ගේ දරුවන් සහ ඔවුන්ගෙන් උපදින බෙදුම්වාදීන් ය.

4) අරාබි බසින් ජාතික ගීය

ජේ.ආර්.ගේ  දරුවන්ගේ ඊළඟ තර්කය වන්නේ දෙමළෙන් ජාතික ගීය ගායනා කළ හොත් ඊළඟට අරාබි බසටද එය පරිවර්තනය කිරීමට සිදු වෙනු ඇති බවයි. එය ‘ලිස්සන බෑවුම’ වර්ගයේ තාර්කික ආභාසයකි. එයින් සැබැවින්ම පෙන්වන්නේ ඔවුන්ගේ ඉස්ලාම් භීතිකාව යි. 

සිංහල සහ දෙමළ හැරුණු විට ශ්‍රී ලංකා ජනරජයේ වෙනත් රාජ්‍ය හෝ ජාතික භාෂාවක් හෝ නොමැත. එවැනි වෙනත් භාෂාවකින් ජාතික ගීය ගායනා කරන තත්ත්වයක් අනාගතයේ උද්ගත වන්නේ නම් එයට හේතුව වෙනමම සොයා බලා නීත්‍යානුකූල විසඳිය යුතුය. එවැනි තත්ත්වයක් සැබැවින්ම උද්ගත වුවහොත් ජාතික ගීතය ට වඩා බරපතල දේශපාලන අර්බුදයකට රාජ්‍යය වැටී තිබිය යුතුය. එම නිසා එවැනි කල්පිතයන් හී සිට දෙමළ පරිවර්තනය ගායනා කිරීම වැළැක්වීම අතාර්කිකය.

ජාතික ගීය එක බසකින් පමණක් ගැයීම යනු සම්පන්තන්ලාට, සුමන්තිරන්ලාට, විග්නේශ්වරන්ලාට, සිවාජිලිංගම්ලාට පොහොරකි. සිංහල ජාතිය විසින් දෙමළ ජාතිය පාගා දමන බව ලොවට කිව හැකි හේතුවකි. ජේ. ආර්.ගේ දරුවන්ට ඔවුන් කැමති එබැවිනි. එක්සත් ජාතික පක්ෂය විසින් දෙමළ වැසියන් කෙතරම් රැවටුවත්, එම දෙමළ රදළයන් එජාපයටම සහාය දෙන්නේ එබැවිනි. 

බාලදක්ෂයා

මීට වසර කිහිපයකට පෙර කොළඹ පැවති සම්මන්ත්‍රණයක් මෙහෙයවීමට මා හට ආරාධනා කෙරිණි. ඇමතිවරයෙක්, විදේශීය සම්පත් දායකයන් සහ ව්‍යවසායකයන් රැසක් එයට සහභාගී වී සිටියේ ය. උත්සවය ආරම්භ කිරීම සඳහා ජාතික ගීය ගායනා කිරීමට සියලු දෙනා අසුනෙන් නැගී සිටින ලෙස මම ප්‍රකාශ කළෙමි.

පටිගත කළ ජාතික ගීය වාදනය වීම සිදු වූයේ නැත. මෙවැනි තාක්ෂණික ප්‍රමාදයන් ලංකාවේ සුලබය. නමුත් මෙම පමාව අවසන් වන බවක් පෙනුනේ නැත. විනාඩියක් පමණ යන තෙක්ම ශබ්ද සහ රූප හසුරුවන්නන් කලබලයෙන් අසරණව ඇඹරෙයි. සභාව නොසන්සුන්ය. අර ඇමතියා සහ ප්‍රභුන් මා දෙස තුෂ්නිම්භූතව බලා සිටියි.

තවත් ඉවසා සිටිය නොහැකිය. වේදිකාවට ගොඩ වූ මම “ජාතික ගීය ඇත්තේ අපට ගායනා කිරීමට නිසා සියලු දෙනා මා සමග ගයන්න” යැයි ප්‍රකාශ කළෙමි. වසර 20 කට පසු නැවතත් සභාවක් ඉදිරියේ තනිවම සීරුවෙන් සිටගෙන ජාතික ගීය ගැයීමට මට සිදු විය. ඒ මදිවාට මයික්රොෆෝනයකින්! නමුත් එදා මට වචන අමතක වූයේ නැත. වසර 20 කට පෙර සිතෙහි දරාගත් වචන අභිමානයෙන් ගලා ආවේය. සභාවේ සියල්ලෝ මා අනුව සම්පූර්ණ ගීයම ගායනා කළෝය.

ජාතික ගීයේ භාෂාව

මාගේ මව් භාෂාව සිංහලය. සිංහල භාෂාවට මම ආදරය කරමි. මා ලෝකය අවබෝධ කරගන්නේත්, ලෝකයාට මා අවබෝධ කරවන්නෙත් සිංහල භාෂාවෙනි. මා හිතන්නේ සිංහලෙනි. මා අඬන්නේ සිංහලෙනි. මා ආදරය කරන්නේ සිංහලෙනි. සිංහල භාෂාව මාගේ ජාතික හෙවත් උපන් සමාජ-සංස්කෘතික අනන්‍යතාවය යි. එලෙසින්ම දෙමළ වැසියාට ද දෙමළ භාෂාව සුවිශේෂය. එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය යි. ඒවා ජාතික භාෂා ලෙස හැඳින්වීමේ සැබෑ තේරුම එය යි.

මා ජාතික ගීය ගයන්නේ එය හුදු ජාතික ගීය නිසා නොවේ. මා කොහොමත් අහේතුක බටහිර පන්නයේ ඊනියා ජාතික රාජ්‍යය පිළිගන්නේ නොමැත. මා එය ගයන්නේ එහි වචනවල ඇති වටිනා අර්ථය නිසාය. එම අර්ථාන්විත වචන උස් හඬින් තාලයට ගයන විට හදවතට දැනෙන අභිමානය නිසාය. මා එය ගයන්නේ අනුන්ට නොවේ. මටමය. එම චෛතසික අනුප්‍රාණය මා හට පෞද්ගලික එකකි.

ඉදින් එම ගීයේ වචනවල අර්ථය මා නොදනී නම් ඉහත කිසිවක් මට නොලැබේ. එය හරියට ඇතැම් උපාසක උපාසිකාවන් තේරුම නොදැන පාලි සූත්‍ර සජ්ජායනා කරනවා වැනිය. හිස්ය. සිංහල භාෂාව නොදන්නා දෙමළ හෝ මුස්ලිම් වැසියාට සිංහලෙන් ජාතික ගීය බලෙන් ගායනා කරවීම ද එවැනි හිස් ක්‍රියාවකි. දෙමළ භාෂාවෙන් ගයන විට දෙමළ හෝ මුස්ලිම් වැසියාට එහි අර්ථය වැටහේ. එය මා ලබන අර්ථයමය. ඔවුන් ලබන්නේ මා ලබන අභිමානයමය. මා ලබන අනුප්‍රාණයමය. එවිට ගීයේ පරමාර්ථය ඉටු වේ.

සැබැවින්ම ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගී දෙකක් නොමැත. ඇත්තේ එකම ගීයකි. එය පළමුව බෙංගාලි සහ සංස්කෘතයෙන් ලියැවී පසුව සිංහල බසට නැගී පසුව දෙමළ බසට නැගී ඇත. ගෝර්කිගේ “අම්මා” මොන භාෂාවෙන් කියෙව්වත් එම “අම්මා” මය. රතු පාට මොන භාෂාවෙන් කිව්වත් “රතු” පාටමය. බයිබලය මොන භාෂාවෙන් ලියූවත් එකම පණිවිඩය ය.

ජාතික ගීය ඇත්තේ ගයන්නටය. වෙනත් ගායක කණ්ඩායමක් විසින් ගායනා කරනු අසන්නට නොවේ. එම නිසා මින් මතු සියලු උත්සවාදියේ ජාතික ගීයේ සංගීතය පමණක්ම වාදනය කළ යුතුය. වැසියන්ට තමන් කැමති භාෂාවකින් ගීය ගායනා කළ හැකිය. ඇත්තටම ගීයේ වචන දන්නා අය එවිට හඳුනාගත හැකිය. නොදන්නා අය පාඩම් කර ගනු ඇත. තමා ගයන ගීයේ අර්ථය එවිට ඔවුන්ට සැබැවින්ම වැටහෙනු ඇත. ගීයකට සැබැවින්ම භාෂාවක් නොමැති බව සුළු පිරිසකට හෝ අවබෝධ වනු ඇත. 

එවිට විද්‍යාවෙන් සත්‍යයත්, සත්‍යයෙන් ශක්තියත්, ශක්තියෙන් භක්තියත්, භක්තියෙන් ආලෝකයත්, ආලෝකයෙන් අනුප්‍රාණයත්, අනුප්‍රාණයෙන් ජීවනයත්, ජීවනයෙන් මුක්තියත් ඔබට ලැබෙනු ඇත.

එරන්ද ගිනිගේ
ජනරජවැසියා
2019 දෙසැම්බර් 30

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Keerthi Jayasuriya
    In my reply I did not refer the Dhamma anywhere. You need to understand the Dhamma preached by the Buddha is factual and it is the same anywhere in the world it is preached and practiced. Buddhism as a practiced religion, varies from county to country, in the way it is practiced. As such in Sri Lanka there are certain rituals that are unique to us. These practices form the Sinhala Buddhist identity. With regards to singing the National Anthem in Sinhala and Tamil, I see that you are appearing for extremists with the usual “Moderate” Mask or you are so naive that you cannot understand the extremist strategy of “Bit now More later”. Reconciliation is a two-way process where there has to be give and take. I cannot agree with you that we with 70% of the population and being the rightful owners of this country have to bend over backwards to placate less than 10% of the people. I say we are the rightful owners, because, it is Sinhala Kings that built this nation and protected it from invaders, it is the Sinhalese who fought Colonial Pirates that invaded and plundered the country and fought the terrorists and liberated the country for all communities to live in peace. I know at one time you were a great admirer of J. R. J and wondering why this change of heart. Is it because you are wiser now or is this taking different route to engineer the gullible intelligentsia of this country to accept another demand of the extremist elements of this country. At one point you state that you cannot compare one country with another, then you bring up example of Indian National Anthem and National Song. You to need make up your mind as to what you want and not use opposite examples to suite your argument. Anyway the Indian National Anthem is Compulsory and it is in the Indian Constitution like the Sri Lanka National Anthem and both songs are sung in one language. National Song is not compulsory to be sung. If someone wants they can sing a patriotic song in whatever in whatever language they want and call it whatever they want, we have no problem. The National Anthem has to be sung only in Tamil. I am not here to have a debate on the linguistics skills each other. But very happy that you take pride in your language skills. Budusaranai
    Reply
    • When you don't have a credible argument, you retort to attack the person's character with unfounded claims. I never was an admirer of JR. I once wrote that JR was a great statesmen, which is a fact. I'm not suggesting to follow India. Simply exposing the fallacy of your argument. You're the who connected "Buddhist" in your reply. Teachings of Buddha are NOT the same around the world. So your that claim is also fallacious. If you have a credible rational argument against any of my points, please present. Here's the English translation for your better understanding: http://ginige.com/language-of-the-national-anthem-en/erandaginige/2020/01/
      Reply
  2. Ajith Perakum Jayasinghe
    ජාතික ගීයේ ගැටලු පිළිබඳ ලොව රටවල් කීපයක අත්දැකීම් මෙම ලිපියෙහි තිබේ. http://praja.lk/politics/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b8%e0%b7%85-%e0%b6%b6%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b7%90/
    Reply
  3. Nanda Wanninayaka
    හිතවත් එරන්ද, ඔබ ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වනවිට මම ඇත්තටම හිතුවේ ඔබත් අනෙක් බෝහෝ දෙනා මෙන්ම අමු සිංහල ජාතිවාදියකු කියාය. එහෙත් මෙම දීර්ඝ ලිපිය කියවීමේදි "නියම එරන්ද" නම් සැබෑ දේශප්‍රේමියා කදිමට එළියට පැමිණ තිබේ. "වැල යන පැත්තට මැස්ස ගහන" බොහෝ දෙනාට ඔබ නියම ආදර්ශයක් දී තිබේ. ජාතික ගීය සම්බන්ධයෙන් මටත් ඇත්තේ ඔබ වැනිම හෝ අඩුම තරමින් ඔබේ අදහසට 90%ක් පමණම සමාන වූ අදහසකි. මමත් මේ ගැන ලියන්නට සිතා සිටියත් ඔබ මට ලියන්නට දෙයක් ඉතුරුකර නැති බව පෙනේ. (කොහොමටත් මට ඔබ, අජිත් පැරකුම් වැන්නන් මෙන් ලියන දේ ගැන දීර්ඝ ගවේෂණ කිරීමට පුරුද්දක් හෝ වෙලාවක් නැත. මම ලියන්නේ මගේ මතයන් මිස ගවේෂණාත්මක ලිපි නොවේ.) නව ජනපතිවරයා ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට තීරණය කළේ මන්දැයි මට සිතාගැනීමට නොහැක. එය බොහෝදුරට අයියණ්ඩියගේ බලපෑම නිසා සිදුවූවක් විය හැකිය. නැත්තන් ජනපතිවරයා පත්කළ ඡන්ද පදනම පිනවීමට තවත් කවුරු හෝ දුන් ලණුවක් විය හැක. කෙසේ වෙතත් එම මුග්ධ තීරණය ආපසු කැඳවීමට ජනපතිවරයා තවමත් ප්‍රමාද නැත. අපි (ජේ. ආර්. නම් පාහර තක්කඩියා - ඔහුව දෙවරක්ම ජනපති ලෙස පත් කළේ අපිමය - බණ්ඩාරනායක ගැන කීමට ඇත්තේද මෙයමය) ඕනෑවටත් වඩා දෙමළ ජනතාවට මදි පුංචිකම් කර ඇත. එයට අපි රටක් වශයෙන් ගෙවූ වන්දිය රුපියල් ට්‍රිලියන ගණනින්වත් ගණන් කළ නොහැක. දැන්වත් අපි දෙමළ සහ මුස්ලිම් ජනතාව අපේ සහෝදර ජන කොට්ඨාශයන් ලෙස සලකමු.
    Reply
  4. Keerthi Jayasuriya
    For the first time in a long we have a leader who is not shy to say that this is a Sinhala Buddhist Country. That in itself a huge relief to all those who love this country. We are also happy that the head of Catholic Church has come out and said that this is a Sinhala Buddhist Country and have heard few others religious leaders who have come out made this statement. Our unique identity is the Sinhala Buddhist heritage. One may argue that it has Indian roots. The one can provide counter argument that there were no countries called India, Pakistan and Bangaladesh before the British came and went. Those cultures and countries have evolved overtime and now these features are carved into their own identity. No one is game even to suggest that they tamper with those unique features that have been imbedded into their culture and heritage. For instance, the Indian National Anthem is written in Sanskritised Bengagali. People living all 29 state of India are happy to sing it in that language. No one is suggesting the music be played and people living in each different Indian state are free to sing in their own language. The national language sung by all Indians Sing in Sanskritised Bengagali. That is one unique feature that makes people living in all states of India, Indian. I think it is ludicrous to sing our National Anthem in Tamil or another language to satisfy the wishes of few extremists. In my opinion it is a recipe for further polarization of the Sri Lankan Society.
    Reply
    • Thank you. First, this has nothing to do with Bauddha Dharma. If you are saying that we should sing the national anthem only in Sinhala language because we are a Sinhala state, then your claim is factually wrong. As much as I like to have a Sinhala state, the fact is we are a Republic with EQUAL Sovereignty held not just by the Sinhala people, but also by the Tamil, Muslim, Malay, Burgher, Chetti, Vadi etc. We do have a beautiful Sinhala language, Sinhala history, and Sinhala culture all of which I'm very proud of. As you can see, my Sinhala writing skills are pretty good. Probably better than yours. And yes, the Sinhala people were the pioneers of building the current civilisation in this land which we call as Sri Lanka today. However, I have clearly written that there is an undeniable issue between the Sinhala and Tamil nationalities in Sri Lanka. To ignore that is childish. We have tried to resolve the issue in different ways and some have worked while some others have not. One successful solution is the recognition of both Sinhala and Tamil languages as Official languages, National languages, Administrative languages, and Judiciary languages in Sri Lanka. So constitutionally the national anthem should be sung in both languages and at least should be allowed to be sung in both languages. As for your comparison with India, I have clearly answered you in the article itself: //1) ඉන්දියාවේ ජාතික ගීය ඉන්දියාවේ විවිධ භාෂා කතා කරන වැසියන් සිටියත් ඔවුන්ට ඇත්තේ එක ජාතික ගීයකැයි ඔවුන් කියයි. එය අර්ධ සත්‍යයකි. නූතන ඉන්දියාවේ ජාතික ගීය (anthem) සහ ජාතික සිංදුව (song) යනුවෙන් ගී දෙකක් ඇත. “ජන ගන මන” නම් ජාතික ගීය ලියා ඇත්තේ තාගෝර්ය. එය ලියා ඇත්තේ සංස්කෘත ආභාෂයෙන් බෙංගාලි බසිනි. ඔවුන්ගේ ජාතික සිංදුව ලෝක ප්‍රසිද්ධ “වන්දේ මාතරම්”ය. බෙංගාලි බසින් මුලින් ලියැවුණු එය දෙමළ, තෙලුගු, කන්නඩා, මලයාලම්, උර්දු ආදී විවිධ භාෂා වලින් ගායනා කරනු ලැබේ. ඉහත හේතුව දක්වන අය සරල තාර්කික ආභාසයක් සිදු කරයි. එනම් ඔවුන් සසඳන්නේ වැරදි රාජ්‍යයන්ය. ශ්‍රී ලංකාව සැසඳිය යුත්තේ නූතන ඉන්දියාවට නොවේ. ශ්‍රී ලංකාව සැසඳිය යුත්තේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය ලෙස බෙදී වෙන් වීමට පෙර තිබූ භාරත රාජ්‍යයටය. භාරතය සිය නිදහස ලැබීමෙන් පසුව අප මෙන් ඒකීය රාජ්‍යයක් ලෙස පැවතුනේ නැත. උර්දු භාෂාව කතා කළ මුස්ලිම් ජාතිකයන් පාකිස්ථානය ලෙස ලේ ගංගාවකින් බෙදා වෙන් නොවුනා නම් ඇතැම් විට අද ඉන්දියාවේ බෙංගාලි සහ උර්දු බසින් ජාතික ගීය ගැයෙනු ඇත. එමෙන්ම ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ට වෙනම ගී ඇත. උදාහරණයක් ලෙස “තමිල් තායි වලදු” ගීය තමිල්නාඩු ප්‍රාන්තයේ ගීය යි. සියලු ප්‍රාන්ත රාජ්‍ය උත්සවයන්ගේ මුලින් ගයන ගීය එයයි. “ජන ගන මන” ජාතික ගීය ගයන්නේ උත්සවය අවසානයේ ය. එසේ නම් ඉන්දියාව උදාහරණයට ගන්නා ජේ. ආර්.ගේ දරුවන් ලංකාවේත් විවිධ පළාත්බදව වෙනම ගී ගායනා කරනවාට කැමතිද? දෙමළ බසින් ජාතික සිංදුවක් ගායනා කරනවාට කැමතිද? “ජන ගන මන” ගීයේ “පන්ජාබ, සින්ධ්, ගුජරාට, මරාට, ද්‍රවිඩ, උත්කල්, බෙන්ගාල” යනුවෙන් රාජ්‍යයේ විවිධ ඓතිහාසික රාජ්‍යයන් එම නම් වලින්ම උත්කෘෂ්ටයට නගයි. ඉන්දියාවේ එක ජාතික ගීයක් ගායනා කළ හැක්කේ ඉහත කාරණා නිසාය. ඔවුන් විවිධත්වය අගය කරමින් එය සමරයි.// Also" //ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ එය ගායනා කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික, නූතන සහ අනාගත තත්ත්වයන් අනුව මිස වෙනත් රාජ්‍යයන් කරන නොකරන පළියට නොවේ. ශ්‍රී ලංකාව යනු ජාතීන් දෙකක් අතර ඓතිහාසික අරගලයක් ඇති රාජ්‍යයකි. එය මහපොළොවේ සත්‍යයකි. එම අරගලය අනාගතයටත් ගෙන යෑමට කැස කවන්නේ ජේ.ආර්.ගේ දරුවන් සහ ඔවුන්ගෙන් උපදින බෙදුම්වාදීන් ය.//
      Reply
  5. සමීර
    බොහොම ස්තූතියි එරන්ද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මගෙත් අදහස ක් තියනවා අපිට බැරිද එකම ජාතික ගීය තුළ භාෂා දෙකෙන්ම පද පෙලක් දෙකක් දාන්න. එතකොට අපි හැමෝම දෙමළ ක් සිංහලත් ගායනා කරනවා.
    Reply
    • ස්තුතියි. ජාතික ගියේ පද වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විමසුමක් අවශ්‍යයි.
      Reply
Menu