පුද්ගල ප්‍රහාර  (ad hominem)

ප්‍රතිවාදියා ඉදිරිපත් කරන තර්කයට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලික කාරණා හෝ චෝදනා ඉදිරිපත් කිරීම මගින් ප්‍රතිවාදියාගේ තර්කය වැරදි යැයි හැඟවීමට උත්සාහ දැරීම.

උදාහරණය:

රාමායණය පුරාවෘතයේ එන කිසිදු සිදුවීමක් හෝ චරිතයක් විද්‍යාත්මකව ඔප්පු කළ හැකි සාක්ෂි හමු වී නොමැති නිසා එහි එන රාවණා ඇතුළු චරිත සත්‍යය නොවේ යැයි කෙනෙකු තර්කයක් ඉදිරිපත් කරයි. එවිට එම තර්කය කරන්නා “බටහිර දැනුමට වහල් වුනු මෝඩයෙක්” යැයි කියමින් තර්කයට කිසිදු අදාළත්වයක් නැති අපහාස කර එම නිසා එම තර්කය පිළිගත නොහැකි යැයි කියයි නම් එය “පුද්ගල ප්‍රහාර” වර්ගයේ තර්කන වරදකි.

එම තර්කය ඉදිරිපත් කරන්නා කුමන දැනුමකට වහල් වුනත් නැතත්, ඔහු/ඇය මෝඩයෙක් වුනත් නැතත් එයින් ඔහුගේ/ඇයගේ තර්කය වැරදි හෝ නිවැරදි යැයි ඔප්පු වන්නේ හෝ නොවන්නේ හෝ නැත. තම ප්‍රතිවාදියාගේ චරිතය හෝ පෙර කළ කී දෑ ඈඳා නොගෙන අදාළ ප්‍රකාශයට අදාළව පමණක් තර්ක ඉදිරිපත් කළ යුතුය.


 

පඹයා දැමීම (strawmanning)

ප්‍රතිවාදියාගේ ප්‍රකාශය බිඳ දැමීමට පහසු ආකාරයෙන් වැරදියට අර්ථ දක්වා හෝ සම්පූර්ණයෙන් විකෘති කර දක්වා, මුල් ප්‍රකාශය වෙනුවට එම විකෘතියට විරුද්ධව තර්ක කර ප්‍රතිවාදියාගේ ප්‍රකාශය වැරදි යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“21 වන සියවසට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර මුදලක් වෙන් කළ යුතුය.” යැයි එක් මන්ත්‍රීවරයෙක් කියයි. එවිට වෙනත් මන්ත්‍රීවරයෙක් “මට කණගාටුයි ඔබතුමා අපේ රටට මෙතරම් වෛර කිරීම ගැන. මොකද ඔබතුමාට අවශ්‍ය අපේ හමුදා වියදම් කපා හැර රාජ්‍ය ආරක්ෂාව නැති කිරීමටයි.” යනුවෙන් පළමු ප්‍රකාශය විකෘති කිරීම “පඹයා දැමීම” වර්ගයේ තර්කන වරදකි.

මෙය නිතර දක්නට ලැබෙන තර්කන වරදකි. එවිට ඔබ කළ යුත්තේ එම වැරදි අර්ථ දැක්වීම හෝ විකෘතිය පෙන්වා දී නැවත මුල් ප්‍රකාශය තහවුරු කිරීමයි.


ඔබත් එහෙමයි (tu quoque)

ඔබේ වරදක් හෝ ඔබේ තර්කයේ වරදක් හෝ ඔබේ තර්කනයේ වරදක් හෝ ප්‍රතිවාදියා විසින් පෙන්වා දුන් විට, “ඔබත් එහෙම කළානේ” කියමින් ඔබේ වරද නොපිළිගනිමින් ප්‍රතිවාදියාට එය නැවත පැවරීම.

උදාහරණය:

යම්කිසි ඇමතිවරයෙකු විසින් අදාළ පරිසර සහතික නොමැතිව A නම් ව්‍යාපෘතියක් ආරම්භ කරයි. එය වැරදි යැයි හිටපු ඇමතිවරයෙකු විසින් පෙන්වා දෙයි. එවිට “ඔබත් ඇමතිව සිටි කාලයේ ඔබ විසින් සිදු කළ B නම් ව්‍යාපෘතියට අදාළ පරිසර සහතික අරගෙන නැහැ.” කියමින් ප්‍රතිවාදියාගේ වරද පෙන්වා තම වරද නොපිළිගැනීම “ඔබත් එහෙමයි” වර්ගයේ තර්කන වරදකි.

ප්‍රතිවාදියා සමාන හෝ අසමාන හෝ වරදක් කළත් නොකළත් එයින් ඔබේ වරද අහෝසි වන්නේ හෝ නිවැරදි වන්නේ හෝ නොමැත. මෙය බොහෝ විට ප්‍රතිවාදියා නිහඬ කරවීමට භාවිතා කරන ප්‍රයෝගයකි.


 

හැඟීම් ඇවිස්සීම (appeal to emotion)

අසන්නා තුළ බිය, කේන්තිය, ඉරිසියාව, අනුකම්පාව, ආඩම්බරය වැනි හැඟීම් ඇවිස්සෙන ආකාරයෙන් යම් ප්‍රකාශයක් කර එමගින් එම ප්‍රකාශය වැරදිය හෝ නිවැරදිය හෝ යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“1983 කළු ජූලිය අතරතුර සිංහල ජාතිකයන් විසින් අහිංසක දෙමළ ජාතිකයන් මරා දමා ඔවුන්ගේ දේපළ කොල්ල කන ලදී. එම නිසා සිංහල ජාතිය ම්ලේච්ඡ ජාතියකි.” යනුවෙන් පවසා කේන්තිය සහ/හෝ අනුකම්පාව ඇති කරවා එම ප්‍රකාශය සත්‍යය යැයි පෙන්වීමට උත්සාහ දැරීම “හැඟීම් ඇවිස්සීම” වර්ගයේ තර්කන වරදකි. එය බොහෝ විට ප්‍රතිවාදියා නොමග යැවීමට දරන ප්‍රයෝගයකි.

මෙයින් අසන්නා තුළ එක් එක් පාර්ශව කෙරෙහි කේන්තියක් හෝ අනුකම්පාවක් ඇති විය හැකිය. එම හැඟීම් හරහා එම ප්‍රකාශය සත්‍යය යැයි කෙනෙකුට සිතිය හැකිය. නමුත් 1983 කළු ජූලියට සියලු සිංහල ජාතිකයන් සම්බන්ධ වූයේ නැත. එම නිසා සමස්ත සිංහල ජාතියම ම්ලේච්ඡයන් වන්නේ නැත.


 

අසාධාරණ ඉල්ලීම් (special pleading)

ප්‍රතිවාදියා ඉදිරිපත් කළ තර්කය වැරදි යැයි සහේතුකව පෙන්වා දුන් විට එය නොපිළිගනිමින් අසාධාරණ අලුත් හේතු ඉදිරිපත් කරමින් වැරදි මතයම නිවැරදි යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

තම චිත්ත බලයෙන් වර්ෂාව ඇති කළ හැකි බව කියන පුද්ගලයෙකුට එය ඔප්පු කර පෙන්වීමට අභියෝග කරයි. නමුත් එම පුද්ගලයාට එය කරගත නොහැකි වීමෙන් එම ප්‍රකාශය බිඳ වැටෙයි. එවිට “වර්ෂාව ඇති කිරීම සඳහා රටේ සියලු දෙනාම ඔහුගේ/ඇයගේ චිත්ත ශක්තිය ගැන විශ්වාස කළ යුතු නිසා එම විශ්වාසය නොමැතිව වර්ෂාව ඇති කළ නොහැකි” යැයි කියමින් ඔප්පු කළ නොහැකි අලුත් ප්‍රකාශයක් කිරීම “අසාධාරණ ඉල්ලීම්” වර්ගයේ තර්කන වරදකි.

තර්ක කළ යුත්තේ යමක් අරබයා සත්‍යය සොයා ගැනීමට මිස ජය ගැනීමට නොවේ. ඒ සඳහා ඔබට අවංක උවමනාවක් තිබිය යුතුය. තමාගේ ප්‍රකාශය වැරදි යැයි කිසිවෙකු සහේතුකව ඔප්පු කළ හොත් එය පිළිගැනීමට නිහතමානී විය යුතුය. එය ඔබට වාසියකි. මන්ද ඔබ තව දුරටත් එම වැරදි අදහස නොදරන බැවිනි.


 

රවුම් ප්‍රකාශ (begging the question)

යම් ප්‍රකාශයක නිගමනය එම ප්‍රකාශයේ පදනමේම ඔබ්බවා එමගින් එම ප්‍රකාශය සත්‍යය හෝ අසත්‍යය හෝ යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“දෙවියන්වහන්සේ සර්වබලධාරී නිසා උන්වහන්සේට සියල්ල කළ හැකිය.” යන්න “රවුම් ප්‍රකාශ” වර්ගයේ තර්කන වරදකි. එනම් “සියල්ල කළ හැකිය” යන නිගමනය ඔප්පු කිරීමට භාවිතා කරන පදනම “සර්වබලධාරී” හෙවත් “සියල්ල කළ හැකි වීමය”. එමෙන්ම දෙවියන් වහන්සේට “සියල්ල කළ හැකි” නිසා “සර්වබලධාරීය”. මෙය චක්‍රීය ප්‍රකාශයකි.
මෙහිදී “සර්වබලධාරී” යන්න සැවොම පිළිගත යුතු පොදු සම්මතයක් ලෙස ඉදිරිපත් කරයි. එවැනි අවස්ථාවලදී ඔබ එය සම්මතයක් නොව හුදු ලබ්ධියක් බව පෙන්විය යුතුය.


 

ලිස්සන පල්ලම (slippery slope)

A සිදු වුනොත් B සිදු වෙයි, එවිට C සිදු වෙයි, එවිට…. ආදී වශයෙන් අවසානයේ Z සිදු වෙයි යනුවෙන් ඔප්පු කළ නොහැකි මනහ්කල්පිත සිදු වීම් මාලාවක් සහ අවසානයක් පෙන්වීම සහ එම නිසා A වැරදිය හෝ නිවැරදිය යැයි කීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දුන්නොත්, අධ්‍යාපනය පෞද්ගලීකරණය වනු ඇත; එවිට ධනවතුන්ට පමණක් උසස් අධ්‍යාපනය ලැබෙනු ඇත; එවිට රජයේ විශ්වවිද්‍යාල වසා දමනු ඇත; එවිට නිදහස් අධ්‍යාපනය නැති වී යනු ඇත. එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම වැරදිය.” මෙහි එන සිදුවීම් මාලාව ඔප්පු කළ නොහැකි මනහ්කල්පිතයකි. මෙලෙස එකිනෙකින් සහ එකිනෙකින් පමණක් නිසා අනිවාර්යෙන්ම සිදු වේ යැයි ඔප්පු කළ නොහැකි ප්‍රකාශ “ලිස්සන පල්ලම” වර්ගයේ තාර්කික වැරදිය.

එහි අවසානය බොහෝ දෙනාගේ හැඟීම් කුපිත කරවන බරපතල තත්ත්වයක් නිසා එය “හැඟීම් ඇවිස්සීම” වර්ගයේ තර්කන වරදක්ද වේ. එනම් බොහෝ ප්‍රකාශවල තර්කන වැරදි එකකට වැඩිය තිබිය හැකිය. ඒවා සියල්ල හඳුනා ගැනීමට ඔබ දක්ෂ විය යුතුය.


 

විශේෂඥ පිහිට (appeal to authority)

යම්කිසි ක්ෂේත්‍රයක විශේෂඥයකු වීම නිසාම ඔහු/ඇය සිදු කරන ප්‍රකාශයක් සත්‍යය යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

මිහිදන් කළ මෘත දේහයකින් වෛරස ව්‍යාප්ත වෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. නමුත් යම් භු විද්‍යාව පිලිබඳ විශේෂඥයකු එසේ වන බව කියන නිසා එම ප්‍රකාශය සත්‍යය යැයි කීම “විශේෂඥ පිහිට” වර්ගයේ තර්කන වරදකි.

ඔබ මෙය වරදවා තේරුම් නොගත යුතුය. යම්කිසි විෂයයක් අරබයා විශේෂඥ දැනුමක් ඇති අයෙකු කියන ප්‍රකාශ වලංගු නොවේය යන්න මෙහි අදහස නොවේ. නමුත් එම ප්‍රකාශ පවා සාක්ෂි සහිතව තාර්කිකව ඉදිරිපත් කළ යුතුය. මන්ද විශේෂඥයන්ට පවා වැරදිය හැකි බැවිනි. එමෙන්ම යම්කිසි කාරණයක් අරබයා ප්‍රකාශයක් කළ හැක්කේ විශේෂඥයන්ට පමණක් නොවේ. පිළිගත හැකි සාක්ෂි සහිතව සහේතුක තර්කයක් ඉදිරිපත් කරයි නම් එය ඉදිරිපත් කරන්නා කවුරු වුවත් සත්‍යයම වේ.


 

පුද්ගලික අවිශ්වාසය (personal incredulity)

ප්‍රතිවාදියා ඉදිරිපත් කරන ප්‍රකාශයේ කරුණු තේරුම් ගැනීමට ඔබට අපහසු නිසා හෝ ඔබ ඒවා පුද්ගලිකව විශ්වාස නොකරන නිසා හෝ එම ප්‍රකාශය වැරදි යැයි කීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“මානව පරිණාමය සිදු වන්නේ කෙසේදැයි තමාට නොතේරෙන නිසා හෝ තමා පරිණාමවාදය විශ්වාස නොකරන නිසා හෝ මානව පරිණාමය බොරුවකි.” යනුවෙන් කීම පුද්ගලික අවිශ්වාස වර්ගයේ තර්කන වරදකි.

ඔබට යමක් තේරුම් ගත නොහැකි වූ නිසා හෝ ඔබ යමක් අවිශ්වාස කරන නිසා හෝ කිසිවක් සත්‍යය හෝ අසත්‍යය හෝ වන්නේ නැත. ඔබ කළ යුත්තේ ප්‍රතිවාදියා ඉදිරිපත් කරන කරුණු තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අනුව එහි හරි හෝ වැරැද්ද ගැන ප්‍රතිතර්ක ඉදිරිපත් කළ හැකිය.


 

කූට ප්‍රශ්න (loaded question)

යම් ප්‍රශ්නයක් ඇසීමේදී හෝ ප්‍රකාශයක් කිරීමේදී එයට පූර්ව නිගමනයක් ද ඔබ්බවා එමගින් ප්‍රතිවාදියාගේ පිළිතුරෙන් ඔහු/ඇය නිතැතින් වරදකරුවෙකු බව පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“ඔබතුමා මහබැංකු බැඳුම්කර වංචාවෙන් ලබා ගත් මුදලින් සුඛෝපභෝගී වාහනයක් ගත්තද?” යනුවෙන් ඇසූ විට එයට “ඔව් ගත්තා” කීවත් “ගත්තේ නැහැ” කීවත් ප්‍රතිවාදියා බැඳුම්කර වංචාවෙන් මුදල් ලබා ගත් බව හැඟවේ. මෙය කූට ප්‍රයෝගයකි.

“ඔව් හෝ නැහැ” වැනි කෙටි පිළිතුරු ඉල්ලන ප්‍රශ්න බොහෝ විට මෙවැනි කූට ප්‍රශ්න වේ. එමනිසා එවැනි ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය.


 

බොරු හේතු (false cause)

යම් සිදුවීමකට කිසිදු සම්බන්ධයක් නොමැති කාරණාවක් ඉදිරිපත් කර එම සිදුවීමට හේතුව එම කාරණාව යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“පසුගිය වසරේ සෙනසුරු උච්ච විය. ඉන්පසුව කොරෝනා වසංගතය ඇති විය. එම නිසා කොරෝනා වසංගතය ඇති වුයේ සෙනසුරු උච්ච වීම නිසා.” යනුවෙන් කිසිදු සම්බන්ධයක් නොමති සිදුවීම් දෙකක් සම්බන්ධ කර ඒවා එකකින් එකක් සිදු වේ යැයි කීම “බොරු හේතු” වර්ගයේ තර්කන වරදකි.

ඇතැම් විට ඒවායේ සම්බන්ධයක් ඇතැයි බැලු බැල්මට සිතුනත් හොඳින් විමසා බැලීමේදී එවැනි සම්බන්ධයක් නොමැත. ප්‍රතිවාදියා මෙවැනි ප්‍රකාශයක් කළ විට ඒවා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔබ විසින් පැහැදිලි කළ යුතුය.


 

සැබෑ හෙළයා නොකරයි (no true Scotsman)

සැබෑ X අයෙක් හෝ දෙයක් නම් Y දෙය කිසිදාක සිදු කරන්නේ නැත හෝ අනිවාර්යයෙන් සිදු කළ යුතුය සහ එම නිසා අදාළ දෙය සත්‍යය යැයි පෙන්වීමට උත්සාහ දැරීම.

උදාහරණය:

“හෙළයන් පාන් කන්නේ නැත” යැයි යමෙක් කියයි. එවිට “පාන් කන හෙළයන්ද සිටී” යනුවෙන් තවෙකෙක් ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරයි. එවිට පළමු ප්‍රකාශකයා “සැබෑ හෙළයෙක් නම් පාන් කන්නේ නැත.” යනුවෙන් කියා තම ප්‍රකාශය සත්‍යය යැයි පෙන්වයි නම් එය “සැබෑ හෙළයා නොකරයි” වර්ගයේ තර්කන වරදකි.

මෙය බොහෝ විට තම තර්කය වැරදි යැයි ඔප්පු වූ විට එය නොපිළිගනිමින් ඉදිරිපත් කරන අලුත් අර්ථ ප්‍රකාශයකි.

තර්කන වැරදි උගනිමු – එරන්ද ගිනිගේ PDF ආකාරයෙන් DOWNLOAD කරගන්න.

 

 

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Ruwan Wijemanne
    හොඳ ඉදිරිපත් කිරීමක්
    Reply
Menu