මගේ මග 

හොඳ සහ නරක පිලිබඳ සංකල්පය හෙවත් සදාචාරයේ මාලිමාව මිනිසාට ලැබෙන්නේ කෙසේද? ඉතිහාසය පුරා ඇසුණු මේ පැනය අදටත් විවාදාපන්නය. හොරකම් කිරීම “නරක” සහ හොරකම් නොකිරීම “හොඳ” වෙන්නේ කෙසේද? මිනී මැරීම “නරක” සහ මිනී නොමැරීම “හොඳ” වන්නේ කෙසේද? සතුන් මැරීම ඇතැමුන්ට “නරක” සහ ඇතැමුන්ට “හොඳ” වන්නේ කෙසේද? ඇතැම් සතුන් මැරීම “නරක” සහ ඇතැම් සතුන් නොමැරීම “හොඳ” වන්නේ කෙසේද? මේ ආදී “හොඳ නරක” පිලිබඳ වාදය ඉතා පැරණි සහ සංකීර්ණ එකකි.

දේවවාදීන් නම් මෙය විසඳා ගන්නේ “හොඳ නරක” එන්නේ දෙවියන්වහන්සේගෙන් යැයි සරලව විශ්වාස කිරීමෙනි. එහෙත් එවැනි දෙවියෙකු ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් නොමැති නිසා එම පැහැදිලි කිරීම අතාර්කිකය. එසේ සිටියත් එම දෙවියන් කියූ පමණින් “හොඳ නරක” වන්නේ කෙසේදැයි පැහැදිලි වන්නේද නැත. දෙවියන්වහන්සේ “හොඳ” යැයි කියූ නිසා යැයි කියමින් බොහෝ මිනිසුන් ඉතාම “නරක” දේ කරයි.

මම බෞද්ධ ධර්මය සරණ යන කෙනෙකු ලෙස ඉහත පැනයට බෞද්ධ ධර්මය තුළින් විද්‍යාත්මකව පිළිතුරු සොයමි. පර පණ නැසීම, අන්සතු දේ ගැනීම, කාම මිත්‍යාචාරය, මුසා බස් කීම, සුරා පානය ආදිය “නරක” වන්නේ බුදුන්වහන්සේ ඒවා “නරක” යැයි දේශනා කළ නිසා යැයි කීම ඉහත දේවවාදී සංකල්පයට සමානය. ඒවා “නරක” වන්නේ ඇයිදැයි හෙවත් ඵලයේ හේතුව ධර්මය තුළ තිබිය යුතුය.

ඒ සඳහා යම් හෝඩුවාවක් අග්ගඤ්ඤ සූත්‍රයේ හමු වේ (තවත් තිබිය හැකිය). එනම් සත්ත්වයන් පරිණාමය වීමේදී ඔවුන් “හොඳ නරක” පිළිබඳව අවබෝධ කරගත් ආකාරය දැක්වෙන විස්තරයයි. උදාහරණයක් ලෙස හොරකම් කිරීම “නරක”ය යන සංකල්පය ඇති වන්නේ පොදු සමාජ අවශ්‍යතාවයක් ලෙසයි. පැවැත්මට අත්‍යවශ්‍ය වන ආහාරය කිසිවෙකු විසින් හොරකම් කිරීම නිසා ඔවුන්ගේ පොදු පැවැත්මට තර්ජනයක් ඇති වීම සහ එයින් එකිනෙකා අතර ගැටුම් ඇති වීම නිසා එයත් පොදු පැවැත්මට තර්ජනයක් වීම වැනි කාරනා නිසා හොරකම් කිරීම “නරක” යැයි සම්මත වූ බව බුද්ධ දේශනාවේ ඇත. එය සාධාරණව පිළිගත හැකිය.

ඉහත විද්‍යාත්මක පැහැදිලි කිරීම තුළ වැදගත් වන සාධක දෙකක් ඇත. පළමුවැන්න “හොඳ නරක” යනු කුමක්ද යන්න පිලිබඳ නිශ්චිත අර්ථයක් ලැබීමයි. “හොඳ” යනු මිනිස් සමාජයේ පැවැත්මට හේතු වන දෙයයි. එහි විරුද්ධාර්ථය “නරක” දෙයයි. එනම් මිනිස් සමාජයේ පරිහානියට හේතු වන දේ “නරක”ය.

දෙවැන්න නම් පොදු පැවැත්ම පිලිබඳව මිනිසා විසින් ඇති කරගෙන ඇති අදහසයි. එය මිනිස් සමාජයට පමණක් පොදු වූවක් දැයි මම කල්පනා කරමි. කණ්ඩායම් ලෙස ජීවත්වන සතුන්ගේද එවැනි චර්යා හඳුනාගත හැකිය. උදාහරණයක් ලෙස අලි රංචුවක වැඩුණු අලි ඇතුන් විසින් දුර්වල අලි පැටවෙකු විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරගැනීම දැක්විය හැකිය. එය තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා පරිණාමයෙන් උරුම වූ ලක්ෂණයක් බව පැහැදිලිය.

නමුත් එය එම අලින් විසින් “හොඳ” දෙයක් යැයි හඳුනාගෙන කරනවාද නැත්නම් එය පරිණාමයෙන් උරුම වූ සහජ හැසිරීමක්ද, ඒ දෙකමද යන්න තවම පැහැදිලි නැත. කෙසේ නමුත් දරුවන් ආරක්ෂා කිරීම “හොඳ” වන්නේ ඇයිදැයි යන්න ඒ අනුව විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිය. මිනිස් ශිෂ්ටාචාරය දියුණු වත්ම එම මූලික “හොඳ” දෙය “විශ්වීය ළමා අයිතීන්” වැනි දේ දක්වා දියුණු කර ඇත.

නමුත් ඇතැම් මිනිසුන් කුඩා දරුවන්ට වධහිංසා පමුණුවයි. මිනී මරයි. හොරකම් කරයි. එනම් “නරක” සමාජයේ දිගටම පවතී. “හොඳ” සහ “නරක” අතර අරගලය දිගටම පවතී. එය සදාතනික අරගලයක්ද යන්න මා නොදනී. “හොඳ නරක” යනු ජානගත ක්‍රියාවලියක් නම් ඇතැම් විට අනාගතයේ “හොඳ” පමණක් ඇති මිනිස් සමාජයක් ඉතිරි වනු ඇත. “නරක” පමණක් ඇති සමාජයක් තිබිය නොහැකිය. මන්ද “නරක” යනු සමාජයේ පරිහානියට හේතු වන දේ බැවිනි.

මා දැන් වයස අවුරුදු හතළිහක මිනිසෙකි. “හොඳ නරක” ගැන නිරපේක්ෂ අවබෝධයක් මට ඇත. මා ලියන කියන දෙයින් සහ මාගේ ඉරියව් මගින් බාහිර මිනිසුන් ඔවුන්ගේ රාමුවෙන් මා මැන ගනියි. ඇතැමුන් මා “හොඳ” අයෙකු ලෙසත් ඇතැමුන් මා “නරක” අයෙකු ලෙසත් දකී. ඒවා වැළැක්වීමට නම් බාහිර සමාජය සමග ඇති සම්බන්ධය අත් හළ යුතුය. නමුත් ඉහතින් සාකච්ඡා කළ ආකාරයට සමාජයක් නොමැතිව “හොඳ නරක” පැවතිය නොහැක.

අනුන් මා ගැන සිතන දෙය අනුව මාගේ සදාචාර මාලිමාවේ කටු කරකැවීමට මට නොහැකිය. මන්ද එය “නරක” යැයි මා විශ්වාස කරන බැවිනි. මා සියල්ල දන්නේ නැත. එසේ නොදන්නා බව මා දන්නා නිසා මා සොයන්නට උත්සුක වේ. මට අනිවාර්ය නවාතැනක් නැත. මා යන්නේ “නරක” මගක යැයි මට අවබෝධ වූ විට මට එහි තවදුරටත් යා නොහැකිය. “නරක” නම් “නරක”ය. එවිට මට කළ හැක්කේ එම “නරක”යෙන් මිදී “හොඳ” සොයා ගැනීමට වෙහෙසීමයි. එය “හොඳ” දෙයක් බව මම විශ්වාස කරමි.

සක්විති රජකමට යන මග පවා අප මහා බෝසතාණන්ට අත්හැර දැමීමට හැකි වූවා නම් යම්කිසි සංවිධානයකින් ඉවත් වීම මා හට අපහසු දෙයක් නොවේ. මාගේ ඉවත් වීමද එම සංවිධානයට එතරම් වැදගත් නැත. මා ඉවත් වුනා කියා කිසිවක් වෙනස් වන්නේ නැත. විශ්වය කැරකෙන්නේ මා වටේ නොවේ. මම යනු ඉතා නොවැදගත් සංකේතයකි. ජීවිතය කෙටිය. “හොඳ” දෙයම අප්‍රමාදව කළ යුතුය.

එරන්ද ගිනිගේ
2020 අගෝස්තු 27
ජනරජයේ දීය

 

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu