ගෝඨාභය මහතාට විවෘත ලිපියක්

ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාණෙනි,

ජනරජයේ නූතන කාල-අවකාශයේ ජනපති තනතුරට ඔබ සුදුසු යැයි ප්‍රසිද්ධ වේදිකාවේ මෙන්ම විද්‍යුත් සහ සමාජ මාධ්‍යයන් හී ද මා තර්ක කෙළේ ඔබතුමා නාම යෝජනා බාර දීමටත් පෙර සිටමය. ඒ නම් මූලික කාරණා දෙකක් පදනම් කොට ගෙනය. ඒ කාරණා ගැන අප දෙදෙනා සාකච්ඡා කර නොමැත. එම නිසා ඒවා ලියා එවීමට මා හට සිත් විය. මේ ලිපිය එනයිනි. ඊට පෙර මාගේ එම තීරණයට බල “නොපෑ” හේතු පැහැදිලි කිරීමට අවසර!

ඔබ ජනපති තනතුරට හෝ කිසිදු තනතුරකට හෝ සුදුසු වන්නේ හෝ නොවන්නේ ඔබේ වාසගම නිසා නොවේ. ඕනෑම පුද්ගලයෙකුගේ හැකියාව කෙරෙහි ඔහුගේ හෝ ඇයගේ පවුල් පසුබිම සැලකීම හණමිටි නාමවාදය යි. ලෝකයේ විශාලතම විදේශ සහ සංස්කෘතික සබඳතා ආයතනයේ වසර ගණනාවක ගෝලීය අත්දැකීම් ඇති මා හට, ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාවන් ලබා දීමේ දී ඔහුගේ හෝ ඇයගේ වාසගම, කුලය, ජාතිය, ආගම හෝ ලිංගභේදය කිසිසේත්ම අදාළ නොවේ. උපතින් කෙනෙකු වසලයෙකු හෝ බමුණෙකු හෝ නොවන බව අප තථාගතයන් වහන්සේ දේශණා කර ඇත්තේ එබැවිනි. සියලු මිනිසුන්ට සමානාත්මතාවයෙන් සැලකීම නිතර ප්‍රගුණ කරන මා හට, ඔබ රාජපක්ෂ කෙනෙකු වීම හෝ නොවීම වැදගත් නොවේ.

ඔබ ගැන අධිතක්සේරුවක්ද මට නොමැත. පෘතග්ජන අප වැනි මිනිසුන් ගැන පමණට වඩා විශ්වාසය තැබීම, සිතින් අල්ලා ගැනීම සහ බලාපොරොත්තු තැබීම අනුවණ කම්ය. අප කිසිවෙකුත් සියල්ල දත්තෝ නොවෙත්. අප කිසිවෙකු අතින් වැරදි නොවේ යැයි සිතීම බොළඳය. ඔබ කෙරෙහි ආන්තික බැඳීමෙන් ඔබ වටා සිටින මිනිසුන් එම බැඳීම් නිසාම අනාගතයේ දී සිත්තැවුලට පත් වනු වැළැක්විය නොහැකිය. මන්ද සියලුම දෙනා සියලුම අවස්ථාවන් හී සතුටු කිරීමට නම් ඔබ ජනපති නොව හිමකිරම වෙළෙන්දෙකු විය යුතු නිසාය (ප්‍රසිද්ධ කියමන ඇසුරෙන්).

එමෙන්ම මා ඔබ ජනපති ලෙස තෝරා ගන්නේ වෙනත් කෙනෙකු පැරදවීමට ද නොවේ. ජනරජයේ පාලන ක්‍රමය ලෙස භාවිතා කරන ප්‍රජාතන්ත්‍රය හෙවත් “ජනතාපාලනය” යනු ජනතාව වෙනුවෙන් ජනතාව විසින් සිදු කරන ජනතාවගේ පාලනය යි. ඉතින් එහි කොහෙද දිනුමක් හෝ පැරදුමක්? එය හුදෙක් සාමූහික තීරණ ගැනීමේ ක්‍රමයකි. එහි ඇත්තේ යම් කාල-අවකාශයක ජනතාව විසින් ගනු ලබන තීරණ පමණී. කෙනෙකු ජයග්‍රහණය කරවීමට හෝ තවත් කෙනෙකු පරාජය කරවීමට හෝ ජනරජවැසියන් සිය ඡන්දය හෙවත් ජනරජයේ තීරණ ගැනීමේ අයිතිය ලඝු කිරීම හාස්‍යජනක ඛේදයක්.

දැන් මා අර මුලින් කියූ කරුණු පැහැදිලි කිරීමට අවසර! ජනරජයේ පාලනය සිදු කරන ක්‍රමය ලියා දැක්වෙන ජනතාවගේ පොදු සමාජ ගිවිසුම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබ හොඳින් කියවා ඇති බව මම දනිමි. ජනරජයේ වැසිභාවය හිමි සෑම වැසියෙකු විසින්ම අනිවාර්යයෙන්ම කියවා තේරුම් ගත යුතු එහි, ජන(අධි)පති ආයතනය යනු කුමක්ද, විධායකයේ කොටස් තුනෙන් එක කොටසක් ලෙස එම ආයතනයේ කාර්යභාරය, නිශ්චිත වගකීම් සහ යුතුකම් මොනවාදැයි කියා අප සාකච්ඡා කර තිබේ. ආයතනයක කාර්යභාරය නොදැන එම ආයතනයේ තනතුරු සඳහා පුද්ගලයන් තෝරා ගැනීම ඵල රහිත වේ.

ඔබත් දන්නා පරිදි මා භාවිතා කරන්නේ ජනාධිපති නොව “ජනපති” යන වචනය යි. එයට හේතුව ඒ අනවශ්‍ය ‘අධි’ කොටස වැරදි අර්ථයක් දෙන නිසාය. සභාවක ප්‍රධානයා සභාපති වන්නේ යම්සේ ද ජනරජයේ නියෝජක ප්‍රධානයා ජනපතිය. එහි කිසිදු අධිපතීත්වයක් නොමැත. එයට හේතුව නම් ජනරජයේ සියලුම වැසියන්ට සමාන පරමාධිපත්‍යයක් තිබීම සහ එම නිසා ජනරජයේ කිසිදු එක අධිපතියෙකු සිටීමට නොහැකි වීමයි. සිංහල භාෂාවට මා ඉතා ප්‍රිය කරන බවත් එය නිවැරදිව භාවිතා කිරීමෙන් අර්ථාන්විත අධ්‍යාපනයක් දීමට සහ ලැබීමට මා කැමති බවත් ඔබ දනී.

කුමන නමකින් හැඳින්වුවත් වඩා වැදගත් වන්නේ එහි ප්‍රායෝගික ක්‍රියාව බව ද මම පිළිගනිමි. එබැවින් එම ජනපති ආයතනයේ කාර්යභාරය, වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට මේ අවස්ථාවේ වඩාත්ම සුදුසු පුද්ගලයා ඔබ වන බව මාගේ තර්කය යි. එයට හේතුව නම් ඔබ ක්‍රියාවේ අතිදක්ෂ පුද්ගලයෙකු වීමයි. විධායක යන වචනයේ අර්ථය “ක්‍රියාත්මක කිරීම” යන්නයි. එනම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවෙන් ගන්නා තීරණ හෙවත් නීති ක්‍රියාත්මක කරන ආයතන “විධායක” ලෙස හඳුන්වන බව ජනරජයේ බොහෝ වැසියන් නොදනී. අමාත්‍ය මණ්ඩලය සහ සමස්ත රාජ්‍ය සේවයම විධායක ආයතන බවත් ඔවුන් නොදනී. එවැනි ග්‍රාම්‍ය ජනයා විසින් විධායකය අහෝසි කිරීමට මොර දෙනු දැකීම කණගාටුවකි. විධායකය අහෝසි කළ හොත් පාර්ලිමේන්තුව ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් නැති වන බව එම නූගත් ජනයාට නොවැටහීම සංවේගයකි.

ඉදින් “ක්‍රියාත්මක කිරීමට” නම් ඔබ සැබෑ දක්ෂයෙකි. ඔබට පවරනු ලැබූ සියලු කාර්යයන් ඔබ ඉතා සාර්ථකව ක්‍රියාවට නංවා විශිෂ්ට ප්‍රතිපල අපට පෙන්වා ඇත. මාගේ ජීවිතයේ පළමු වසර තිහම ගෙවුනේ යුද්ධයෙන් විනාශ වෙමින් තුබූ රාජ්‍යයකය. එම භයානක යුද්ධය ඔබට පැවරීමෙන් පසු වසර හතරකටත් අඩු කාලයකින් එය අවසන් කළ බවට මේ මහපොළොව සාක්ෂි දරයි. දිරායමින් තිබූ කොළඹ සහ ජනරජයේ වෙනත් නගර ඔබට පැවරීමෙන් පසු ඒවා ලෝකයේ වේගයෙන්ම දියුණු වන පිරිසිදු සුන්දර නගර වූ බවට මේ අහස සාක්ෂි දරයි. ජනසමාජයට මහත් භීෂණයක්ව පැවති ත්‍රස්තවාදය සහ පාතාලය ඔබට පැවරීමෙන් පසු අවසන් වූ බවට සාධාරණ හදවත් සාක්ෂි දරයි. 

ඒවා සුළුපටු කාර්යභාරයන් නොවේ. මිනිසෙකුගේ ජීවිත කාලයේ එවැනි මහා පරිමාණ වැඩ එකකට වඩා කිරීමට හැකි වන්නේ කලාතුරකිනි. ඔබේ විරුද්ධ පාක්ෂිකයන් මෙන්ම අපේ කඳවුරේම සිටිනා අදක්ෂ නිකමුන් ඔබ කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නේ ඒ නිසාය. නමුත් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් ඇති මා හට නම් ඔබ අති දක්ෂ ව්‍යාපෘති කළමනාකරුවෙකි. මාගේ ජනරජයේ අදාළ වැඩ කටයුතු ටික සාර්ථකව, කලට-වේලාවට, අපේක්ෂා කළාටත් වඩා හොඳ ප්‍රමිතියට කර ගැනීමට අවශ්‍ය මා සොයන දක්ෂ පුද්ගලයා ඔබයි. එය ජනපති ආයතනය මෙහෙයවීමට ජනරජයේ වැසියෙකු ලෙස මා ඔබව තෝරා ගැනීමට බලපෑ පළමු සාධාරණ තාර්කික හේතුවයි.

ඔබ දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළත් ගරු මහත්මයා, ඒවායින් බොහොමයක් ක්‍රියාත්මක කිරීමට නම් ඔබට තනිවම නොහැකි බව ඔබ නොදන්නවා නොවේ. ඔබට නීතියෙන් කළ හැක්කේ ජනපති ධූරයේ අදාළ කටයුතු පමණී. උදාහරණයක් ලෙස ජනරජයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යභාරය ජනපතිට ව්‍යවස්ථාවෙන් පවරා ඇත. එය ඔබ අකුරටම ඉටු කරනු ඇත. නමුත් ජනරජයේ සියලු අලුත් තීරණ ගැනීම සිදු කරන්නේ විධායකයෙන් නොව ව්‍යවස්ථාදායකයෙනි. එම නිසා අලුත් සමාජ, පාරිසරික, ආර්ථික, සංස්කෘතික, තාක්ෂණික සහ දේශපාලනික වෙනස්කම් කිරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය. එහි වර්තමාන අශිෂ්ට සංයුතිය වෙනස් කළ හැක්කේ ද ජනරජයේ වැසියන්ටමය. එම නිසා ඔබ ඔබට හැකි දේ සහ යුතු දේ පමණක්ම උපරිමයෙන් කරන්න. කොහොමත් ඕනෑවට වඩා කරන්නට යෑම ද අපේ මිනිස්සු වැරදියටම ගන්නා බව මට වඩා හොඳට ඔබ දනී.

නමුත් ඔබට ජනපති ධූරයේ දාර්ශනික අර්ථයෙන් ජනරජයේ ජනතාවට සැබෑ නායකයෙක් විය හැකිය. ඔබ සතු යම් වටිනා ජීවන ගුණාංග මා නිරීක්ෂණය කර තිබේ. ඔබ බොරුවට අකමැතිය. එදා යුද්ධය වවාගෙන කන බව දුටු තරුණ ඔබ එම බොරුවට අකමැති වී ඉන් ඉවත් විය. ඔබ යාවජීව අධ්‍යාපනය ලබන්නෙකි. එනම් ජීවිතයේ ඕනෑම වයසක දී අලුත් දැනුම ලබා ගැනීමට ඔබ සූදානම්ය. ඔබ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නේ ජීවිතයේ මැදි වියේය. ඔබ වෙනස් වෙන්නට අකමැති නැත. වසර විස්සක තම සේවා වෘත්තිය වෙනස් කොට අලුත්ම වෘත්තියක් තෝරා ගැනීමට ඔබ පසුබට නොවීය. ඔබට නැවත යටම අඩියෙන් පටන් ගත හැකිය. ඔබට මහා දරා ගැනීමේ ශක්තියක් ඇත. සුදුසු අවස්ථාව එන තෙක් ඔබ ඉවසා නැවත යුද්ධය අතට ගන්නේ එබැවිනි. ඔබට නැගුනු අසත්‍ය චෝදනා හමුවේ ඔබ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියේ එබැවිනි. ඔබ ඕනෑම දෙයක් සහේතුකව තර්ක කර බලනු මා දැක ඇත. ඔබ චාම් ගති පැවතුම් ඇති, ඔබේ බිරිඳට සහ පුතුට අප්‍රමාණව ආදරය කරන, නිර්මාංශ ආහාරයෙන් යැපෙන, සරලව ජීවත් වන උදාර මිනිසෙකි. ඒවා ඉතා වටිනා උසස් මිනිස් ගුණාංගයන්ය.

ජනතාවගේ ප්‍රධානයා ලෙස ඔබට ඒ ගුණාංග සහ තවත් ගුණාංග මේ බිඳ වැටෙන සමාජයට ඉගැන්විය හැකිය. ඔබගේ වෘත්තියමය සහ මහත්මා හැසිරීමෙන් මේ ජනපතිවරණය පවා කෙතරම් උසස් වී තිබේදැයි බලන්න! ප්‍රතිවාදීන්ට චෝදනා කරනු වෙනුවට ඔබ ඔබේ සැලසුම් ගැනම වේදිකාවේ ඉතා සංයමයෙන් කතා කිරීමෙන් ඔබේ ප්‍රතිවාදීන් මෙන්ම ග්‍රාම්‍ය ජනයා පවා තරමක් ශිෂ්ට වී ඇති සැටියකි. මා හටද එය අනුප්‍රාණයකි. එයින් ඔබ තහවුරු කරන්නේ මාගේ තේරීම නිවැරදි බවමය. මාගේ පරම්පරාවේ වැසියන් සොයන්නේ මේ විසි එක් වන සියවසට ගැලපෙන උසස් ගුණාංගයෙන් පිරිපුන් නූතන නායකයෙකි. ජනරජයේ ජනපති ලෙස ඔබට ඒ මෘදු නායකයා විය හැකි යැයිද, විය යුතු යැයිද මට සිතේ. මා ජනපති තනතුරට ඔබව තෝරා ගන්නා දෙවැනි කාරණාව එය යි.

ගෝඨාභය මහත්මයාණෙනි, මේ ලබන දශකය ජනරජයට ඉතාම වැදගත් දශකයක්. මේ දශකයේ දී තමයි මා ද අයත් වන සහස්‍රයේ පරම්පරාව සිය ජීවිතයේ හතරවන දශකයට එළඹෙන්නේ. එනම් සමාජයේ, ව්‍යාපාර ක්ෂේත්‍රයන් හී, අධ්‍යාපනයේ, කලාවේ, ආගමේ, දේශපාලනයේ නායකත්වය ඔබලාගේ පරම්පරාවෙන් අපේ පරම්පරාවට මාරු වෙන දශකය තමයි 2020-2030. ඒ සංක්‍රාන්ති සමය නිවැරදිව හැසිරවීමට නම් අත්දැකීම් බහුල, ඥානවන්ත, දූරදර්ශී නායකයෙක් අපට අවශ්‍යයි. මේ මහඟු අවස්ථාව නිවැරදිව කළමනාකරණය කිරීමට නම් එම වයසේ දරුවන් සිටින පරිණත පීතෘ චරිතයක් අපට අවශ්‍යයි. අපේ මෑත ඉතිහාසයේ ඇතැම් දුර්වල සහ දුෂ්ට නායකයන් විසින් සිදු කළ වැරදි මෙතැනදීත් සිදු වුව හොත් එය ජනරජයට තවත් දරුණු පරම්පරා හානියකි.

පසුගිය වසරේ පැවති වියත්මග වාර්ෂික සමුළුවේදී ඔබේ ආරාධනයෙන් මා ඉදිරිපත් කළ විසි එක් වන සියවසට ගැලපෙන ලෙස අපේ කෘෂිකර්මාන්තය දියුණු කර අහරින් ජනරජය ස්වයංපෝෂිත කිරීම, ශ්‍රී ලංකාව ඓන්ද්‍රීය පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන නූතන පෙරදිග ධාන්‍යාගාරය කිරීම, පුනර්ජනනීය බලශක්තියෙන් ජනරජය බලගැන්වීම වැනි අදහස් අද ජනපතිවරණ වේදිකාව මත ව්‍යක්ත ලෙස උනන්දුවෙන් ඔබ ඉදිරිපත් කරනු දැකීමෙන් මම උද්දාමයට පත් වී සිටිමි. ඔබ කොහොමත් ඔබේ කණ්ඩායමේ විවිධ අදහස් කෙරෙහි හොඳින් ඇහුම්කන් දෙන, ඒවායින් අවශ්‍ය වැදගත් දේ උකහා ගන්නා දක්ෂ නායකයෙකු බව මට වැටහුනේ ඒ කාලයේ දීමය.

නමුත් ඔබ ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ ද අපේ පරම්පරාවත් එකතු කර ගෙනය. මන්ද, විසි එක් වන සියවසේ ජනරජය හැඩගස්වා ගත යුත්තේ අනාගත පරම්පරාවනට ද ගැලපෙන පරිදිය. අද දවසේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීමට කටයුතු කළ යුත්තේ අනාගත පරම්පරාවනට ද ඔවුන්ගේ ආදායම සාධාරණව පවත්වා ගත හැකි වන ලෙසටය. ඔබේ පරම්පරාවේ ව්‍යාපාරිකයන් සහ දේශපාලන නායකයන් විසින් හානි කළ මිහිකත සුවපත් කිරීමට සිදුව ඇත්තේ සහස්‍රයේ පරම්පරාවටය. එම නිසා ශ්‍රී ලංකා ජනරජය විසි එක් වන සියවසට ගැලපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඔබේ පුතුන්ගේ සහ දූවරුන්ගේ පරම්පරාවට අවශ්‍ය අධ්‍යාත්මික නායකත්වය දීමට ඔබට සිදු වෙනු ඇති.

අවසාන වශයෙන් කිව යුත්තේ ජනරජයේ දේශපාලන ආකෘතිය පිළිබඳව අප විටින් විට කළ ගැඹුරු සාකච්ඡාව දැන් ඔබ ජනතාව සමග ද කිරීමට කාලය එළඹ ඇති බවයි. අපේ බොහෝ පොදු ගැටලු සඳහා සාර්ව විසඳුම දැනටමත් අපේ නාසය යටම තිබෙන බව අප වරක් සාකච්ඡා කෙළෙමු. ඒ “ජනරජයයි”. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, චෙට්ටි, ආදීවාසී වැදි ඇතුළු සියලු ජාතික වැසියන්ටත්, බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී විවිධ ආගමික හෝ කිසිදු ආගමක් නොඅදහන වැසියන්ටත් එක හා සමානව මේ රාජ්‍යයේ පරමාධිපත්‍යය හෙවත් ඒකාන්ත, නිශ්චිත, වෙනස් කළ නොහැකි අයිතිය සහ පාලන බලය දැනටමත් හිමිව තිබේ. වෙනත් වචනයෙන් කිව හොත් රාජ්‍යයේ සියලු අයිතිය සහ පාලන බලය අවසාන වැසියා දක්වාම බෙදා තිබේ. ඔබ ඔවුන් සියලු දෙනාගේම නියෝජිතයා ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුය.

එම නිසා ශ්‍රී ලංකා ජනරජයේ කිසිදු ජාතියක වැසියෙකුට අඩු හෝ වැඩි වරප්‍රසාද තිබිය නොහැකිය. සැමට ඇත්තේ සමාන නන් වැදෑරුම් නිදහසය. සැමට ඇත්තේ සමාන අයිතීන් සහ යුතුකම්ය. සැමට ඇත්තේ සමාන තීරණ ගැනීමේ අයිතිය හෙවත් ඡන්ද අයිතියකි. අප එකිනෙකාගෙන් වෙනස්ය, නමුත් සමානාත්මය. ශ්‍රී ලංකාව යනු අභූත ශ්‍රී ලාංකීය ජාතියක් ජීවත් වන බටහිර පන්නයේ ජාතික රාජ්‍යයක් නොවේ. වසර දෙදහස් පන්සියයකට නොඅඩු ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව නමින් වර්තමානයේ හඳුන්වන මේ රාජ්‍යය වනාහී විවිධ අනන්‍යතාවයන් සහිත ජාතින් සමානාත්මතාවයෙන් ජීවත් වන උතුම් ජනරාජ්‍යයකි. මට සිතෙන හැටියට ජනපති ලෙස ඔබේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුත්තේ වෙන කිසිවකටත් වඩා එම ජනරජය සාක්ෂාත් කිරීමයි. ජනරජය ආරක්ෂා කිරීමයි. ජනරජය උත්කර්ෂයට නැංවීමයි. ඔබ නොවැම්බර් දාහත් වැනිදා දිවුරුම් දෙන්නේ ඒ සඳහාය.

ඒ සඳහා ඔබට තවත් ශක්තිය ලැබේවා!

මෙයට,
විශ්වාසී,
ජනරජවැසි,

එරන්ද ගිනිගේ

ප.ලි. මෙම ලිපිය ඔබට පෞද්ගලිකව එවිය හැකි වුවත් මෙහි එන කරුණු ජනරජයේ වැසියන් විසින්ද දත යුතු යැයි මම සිතන බැවින් විවෘතවම පළ කරමි. ස්තුතියි!

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker