ගරු මහින්ද රාජපක්ෂ ජනපතිට විවෘත ලිපියක්

“මන්ත්‍රී වුනත්, අගමැති වුනත් නිකම් මහින්ද රාජපක්ෂ වුනත් මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂමමයි.” මිනිසෙකුගේ ස්වාත්මභාවය යනු කුමක්දැයි තේරුම් ගැනීමට ඔබේ එම වචන ටිකම ඇතිය. ඔබතුමාගේ කතා අතරින් මා වැඩියෙන්ම කැමති මෙවැනි අප්‍රකල්පිත අවස්ථාවක ඔබෙන් නැගෙන අසමාහිත කතාය.

2018 ඔක්තෝබර් විප්ලවය මොහොතේ ඔබව අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නැතැයි තර්කානුකූලව සැමට තේරෙන බසින් ලීවේ මාය. ඔබ කරගත්තේ වැරැද්දක් යැයි කියමින් ඔබේ මිතුරන් අදිමදි කරද්දී ඒ ගැන රූපවාහිනියේ කතා කිරීමට ඉදිරිපත් වූයේ මාය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කළත්, ඔබව අගමැති කිරීම එලෙස විනිශ්චය වී නොමැති නිසා මගේ තර්කය තවමත් එලෙසම පවතී.

මා මේ ලිපිය ලියන්නේ 2015 වේ සිටය. ලංකා දේශකාර්යයේ වැදගත් නායකයන්ට මා විවෘත ලිපි කිහිපයක්ම ලියා ඇතත්, ඔබතුමාට ලිපියක් ලිවීම ඒ තරම් ලෙහෙසි නැත. ඒ ඔබ කෙරෙහි මට ඇති විශේෂ ගෞරවය නිසාය. එම ගෞරවය නිසාම ඔබත් සමග ලිපියකින් හෝ සම්බන්ධ වීමට මා තරමක් පැකිලේ. මෙවර නම් මම කෙසේ හෝ මෙම ලිපිය ලියා අවසන් කරමි.

බ්‍රිතාන්‍ය සිලෝනයේ උපත ලබා, ඩොමිනියන් සිලෝනයේ පාර්ලිමේන්තුවට තේරී, ස්වජාත ව්‍යවස්ථාවක් සම්මත කරමින් 1972 මැයි මස 22 වැනිදා නිදහස්, ස්වෛරී, ස්වාධීන ශ්‍රී ලංකා ජනරජය බිහිකළ ඒ සැබෑ වමේ ශ්‍රේෂ්ට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතරින් කෙනෙකු වන ඔබ අදටත් ජීවමානව සිටීම ජනරජය විශ්වාස කරන මට උද්දාමයකි. 

ජනරජයේ මෙතෙක් බිහි වූ වඩාත්ම ප්‍රජාතාන්ත්‍රික ජනපති ඔබය. ඒ, කවුරු කෙසේ කීවත් ජනරජයේ සියලු විවිධ ජාතික වැසියන් කෙරෙහි ඔබ තරම් එක ලෙස හිත උණුවන නායකයෙකු සිට නැති නිසාය. ජනරජයේ මෙතෙක් බිහි වූ වඩාත්ම සාර්ථක ජනපති ඔබය. ඒ, තිස් අවුරුදු යුද්ධය අවසන් කර ඔබ ජනරජයට සාමය උදාකර දුන් නිසාය. 

ජනරජයේ වඩාත්ම අවභාවිතා වූ ජනපතිද ඔබය. ඒ ඔබතුමාගේ සානුකම්පික හිතත්, අනුපමේය සාර්ථකත්වයත්, අවිදුර දෘෂ්ටිකත්වයත් ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ වාසියට “මහින්ද රාජපක්ෂ” අවභාවිතා කරන ඔබේ අපූරු මිත්‍ර සමාගම නිසාය.

මහින්ද මහත්මයා, 2015 ජනපතිවරණයෙන් ඔබතුමා නොතේරී ඉවත්ව යන විට කඳුළු වැගිරූ ලක්ෂ සංඛ්‍යාත වැසියන්ගෙන් කෙනෙකු වෙමි මම. එදා අප වැනි බයියන් පමණක් නොව, ඔබේ ගජමිතුරා-පසමිතුරා-දැන්-නැවත-ගජමිතුරා ට ඡන්දය දුන් සුවහසක් දෙනාත් හිතින් හෝ හැඬූ බව සත්‍යයකි.

ජනරජයට කළ හැකි විශිෂ්ටතම සේවය ඉටු කර එසේ නික්ම ගිය ඔබ නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඔබේ මිත්‍ර සමාගමය. අද ඒ ගැන ඔවුන් පුරසාරම් දොඩමින් සිය ඡන්ද ව්‍යාපාරයට ලාභාංශ උපයන බව පෙනේ. නමුත් ඔබට එසේ  නික්ම යන තැනට වැඩ ටික කළේත් ඔබේ එම මිත්‍ර සමාගමම බව ඔබට ඇතැම්විට මතක නැති වුනාට මට අමතක නැත. 2014 ජනපතිවරණය අවසාන භාගය වනවිට ඔබට මිතුරන් සිටියේ නැත. සිටියේ ඔබව විශ්වාස කරන ජනතාව පමණී.

“ඔබතුමා රජෙක්! රජෙක්! රජෙක්!” යැයි මොර දෙමින් ඔබව සිප වැළඳගෙන මුරුංගා ඇත්තේ ඉහළටම ගෙන ගිය ඔබේ අතිජාත සගයා එදා “මහින්ද රාජපක්ෂ හොරෙක්! හොරෙක්! හොරෙක්!” යැයි කියමින් කළ මහා පාවාදීම නිසා ජනරජය අද වැටී ඇත්තේ මහත් අභාග්‍යසම්පන්න තැනකට නොවේද, මහින්ද මහත්මයා!

2012 සිටම යහපාලනය ඉල්ලා ඔබව බිත්තියට තද කර මැටි ගසා ඔබගේ උපන්දිනයදාම ආණ්ඩුවෙන් එළියට බැස මාධ්‍ය සාකච්ඡා තබා ඔබට අනේක චෝදනාපහාස කළ ඔබේ ඇතැම් මිතුරන් පැය හතලිස් අටක් යන්නට මත්තෙන් මැරී උපන්නා සේ ඔබේ දෙපා ළඟ වැටී බැගෑපත් වූ විට කිසිදු චකිතයකින් තොරව නැවත ඔවුන් විශ්වාස කිරීම මහත් පුදුමයකි.

ජනරජයේ සම්පත් කොල්ලකන, ඒ සම්පත්වල සැබෑ පරමාධිපත්‍ය හිමි ජනරජයේ විවිධ ජාතිකාගමික වැසියන් භේද කරවා ඡන්ද හිඟන, ජනරජයේ වැසියන්ගේ සමාජ ගිවිසුම හෙවත් ව්‍යවස්ථාමාලාව විකෘති කරන, ධනබල ලෝභයෙන් මුසපත් වුනු අඳබාලයන් මෙන් හැසිරෙන ඔබේ ඇතැම් මිතුරන් සමග ඔබ සව්දිය පිරීම මා හට සංවේගයකි.

ඔබේ ඔය සැලුන් දොර නිසා මහින්ද මහත්මයා, ඔබ විටෙක අමාරුවේ වැටේ. විටෙක සාර්ථක වේ. නැවතත් අමාරුවේ වැටේ. ඔබට එය දේශපාලන උද්වේගයක් වුවත් ඉන් වඩාත්ම බරපතළ හානිය සිදු වන්නේ ඔබත් එකතුව එදා පණ පෙවූ ජනරජයට බව ඔබ තේරුම් ගත යුතුය. ජනරජය නිර්මාණය කළ ඒ පුරෝගාමී කණ්ඩායමේ එකෙකු ලෙස ඔබට එය තරම් නොවේ.

ඔබව නැවත අගමැති කරන්නේ ඔවුන් ඔබට ඇති විශේෂ ආදරයකට නොවේ. එසේ කරන්නේ ඔවුන්ට ඇති එකම පිහිට ඔබ නිසාය. ඔබව හැර නොගියා යැයි කියන්නේ වෙන යන්නට තැනක් ඔවුන්ට අදටත් නැති නිසාය. ඔවුන්ගේ නොහැකියාවන් වසා ගන්නේ ඔබේ නම විකුණාය. ඔවුන්ගේ සියලු පව් කමා කරගන්නේ ඔබ ඉදිරියේ දනින් වැටී පින්තූර ගසාය. ඔබ වැනි පරිණත මිනිසෙකු එය නොදන්නවා විය නොහැකිය.

ඔබ ඉතා විනෝදකාමී කෙනෙකු යැයි මා අසා ඇත. අට ලෝ දහමින් කම්පා නොවී සිනහවෙන් ජීවිතයට මුහුණ දීමට ඔබට ඇති හැකියාව මා හට ආදර්ශයකි. මිනිසෙකුගේ ජීවිතයේ විවිධ අවධි තිබේ. හැමදාම එකම විදිහට ඉන්නට බැරිය. ඔබ වැනි අත්දැකීම් බහුල, අතිශය සාර්ථක, මානව හිතවාදියෙකු සැබැවින්ම දැන් සිටිය යුත්තේ අධ්‍යාත්මික ගුරුතුමෙකු ලෙසිනි. 

හරිනම් මිනිසුන් අද ඔබෙන් ඇසිය යුත්තේ පාර්ලිමේන්තු කතා නොව, ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්නා උපදෙස් සහිත වටිනා දේශනාය. හරිනම් මිනිසුන් ඔබ දැකගත යුත්තේ මැතිවරණ වේදිකාවල නොව මහා ජනකායක් දිනපතා රැස්වන මණ්ඩපයකය. හරිනම් ඔබ දෙවියන්ගෙන් ආශීර්වාද ගන්නවා වෙනුවට සුවහසක් හුදී ජනයා ඔබෙන් ආශීර්වාද ගත යුතුය. හරිනම් ‘මහින්ද චින්තනය’ මේ වනවිට “මහින්ද දර්ශනයක්” බවට පරිණාමය වී තිබිය යුතුය. හරිනම් ඔබ අද ලෝකපූජිත දාර්ශනිකයෙකු විය යුතුය.

ජනරජයට එවැනි අධ්‍යාත්මික ගුරුවරයෙකුගේ අඩුව තදින්ම දැනේ. අද ලංකාවේ සිටින කිසිදු ආගමික පූජකතුමෙකුට එම අඩුව පිරවීමට නොහැකි වී තිබේ. කවුරු ආණ්ඩු කළත් ජනරජය හැදෙන්නේ නැත්තේ එබැවිනි. අපේ සමාජය ඇතුළතින් කුණු වී තිබේ. ලොව බොහෝ විශිෂ්ට ජනතා නායකයන් අවසානයේ එම අධ්‍යාත්මික ගුරුත්වයට පත් වී සිය ජනතාවට ශාන්තිය ලබා දේ. නමුත් ජනරජයේ එවැන්නෙක් තවම නැත. ඒ තැනට ඒමට වඩාත්ම සුදුසුකම් තිබුනේ ඔබට වුවත් එම අවස්ථාව ඔබට මගහැරී ගියේය.

ජනරජයේ විවිධ ජාතීන් අතර විශ්වාසය, අවබෝධය, සමානාත්මතාවය සහ සංවර්ධනය ඇති කළ හැකිව තිබූ ජනපති ඔබයි, මහින්ද මහත්මයා. නමුත් ඔබගේ අර මිත්‍ර සමාගම ඔබව තල්ලු කළේ අතෘප්තිකර අසංවිධිත අස්ථීර අධිවේගී මාවතකටය. ලෝකය වසර පණහකට පෙර ගිය වැරදි මාවතටය. අනාගතය දැකිය හැකි එකෙකු හෝ ඔබේ මිත්‍ර සමාගමේ සිටියා නම් ජනරජය අද බොහෝ ලස්සන වන්නට තිබුණා.

මෙය කියවන ඔබේ සතුරන්ට වඩා ඔබේ ගජ මිතුරන් කොක් හඬලා සිනාසෙන බව මම දනිමි. ඒ ඔවුන් සැබැවින්ම සිනා සෙන්නේ ඔබටය. මන්ද ඔවුන්ට අනුව ඔබට මේ කිසිවක් කළ නොහැකිය. ඔවුන්ට අනුව ඔබ ඔවුන්ගේ නිර්මාණයකි. ඔවුන්ට අනුව ඔවුන් නැත්නම් මහින්ද රාජපක්ෂ කෙනෙකු නැත. ඔවුන්ට කැමති පරිදි මහින්ද රාජපක්ෂව මැවිය හැකිය. ඔවුන්ට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂව නැති කරන්නටත් හැකිය.

නමුත් මේ ලිපිය පටන් ගත් ඔබේ ප්‍රකාශය කියන්නේ ඊට පරස්පර දෙයකි. මා විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂම බවයි. ඔබ ඔබමය. ඔබ කාගේවත් නිර්මාණයක් නොවේ. ඊළඟ පාර්ලිමේන්තුවේත් ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතුය. මන්ද එය මහින්ද රාජපක්ෂට මහින්ද රාජපක්ෂම බව ඔප්පු කිරීමට ඔබට ලැබෙන තවත් අවස්ථාවක් වන බැවිනි. එනම් ඔබට වඩා වැදගත් වන්නේ ජනතාවද, නැතිනම් ඔබේ මිත්‍ර සමාගමද යන්න ඔප්පු කිරීමට ඔබට ලැබෙන තවත් අවස්ථාවක් වන බැවිනි.

ඔබතුමාට ආරෝග්‍ය දීර්ඝායුෂ පතමින් නවතිමි.

මෙයට,

විශ්වාසී,

එරන්ද ගිනිගේ
ජනරජවැසියා

2020 මාර්තු 1 වැනිදා

Filed under
English
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu