සජිත් මහතාට විවෘත ලිපියක්

ගරු සජිත් ප්රේමදාස මහත්මයාණෙනි,
 
මා හට පළමු වරට ඔබ මුණ ගැසෙන්නේ සීගිරි පර්වතය මුදුනේ දී ය. ඔබේ පියා විසින් රචිත “පෙර මග ලකුණු” නම් පොතෙහි පැරණි පිටපතක් මා කුඩා කල අප නිවසේ පුස්තකාලයේ විය. නවය දහය වයසේ දී එය කිය වූ මා හට අද ඉන් මතකව ඇත්තේ ඔබේ පියා විසින් ඔබත් ඔබේ සොහොයුරියත් ළඟට ගෙන සීගිරිය මුදුනේ සිට “පුතේ, මේ ඔබේ දායාදය යි” වැනි යමක් කියූ බව පමණී. මා සිතෙහි මවාගත් ඒ පහන් චිත්ත රූපය අදටත් එලෙසමය. පොත අද නැත.
ඔබ නැවත මා හට මුණ ගැසෙන්නේ මාගේ පාසලේ මිතුරන් සමග අල්ලාප සල්ලාපයේ දීය. ඔබ නිදන් හෑරූ සැටිත්, රුවන්වැලි මහා සෑයේ ගර්භය හාරා බැලූ විට එතුළ දුටුගැමුණු මහරජුගේ කඩු කරකැවෙමින් තිබූ සැටිත්, එනිසා නැවත එය වසා දැමූ සැටිත් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් පවසනු මට මතක ඇත. ඒවා හුදු ප්රලාප විය යුතුය. ජනපතිවරුන්ගේ පුතුන් ගැන විවිධ කටකතා පැතිරීම අවාසනාවන්ත වුවත් වැළැක්විය නොහැකි දෙයකි.
අවසාන වශයෙන් මා හට ඔබ මුණ ගැසෙන්නේ කොළඹ මහා කුරුඳු හෝටලයේ ආලින්දයේ දීය. මිත්රයෙකු සමග රාජකාරි කටයුත්තක් පිළිබඳව කතා කරමින් සිටින විට ඔබ ඒ අසලින් ගිය අයුරුත්, අන්යොන්ය මිත්රයා විසින් ඔබ මට හඳුන්වා දුන් අයුරුත්, ඔබ ඉතා ප්රසන්න ලීලාවෙන් මා හට ආචාර කළ අයුරුත් ඔබට මතක නැතුව ඇති. පළමු වරට ඔබ සමග මුහුණට මුහුණ හමු වුනු එවිට මා හට සිතුනේ ඔබ ඉතාම විනෝදශීලී මිනිසෙකු බවයි.
 
කෙසේ වෙතත් දැන් ඔබ ජනරජයේ ජනපති අපේක්ෂකයෙකි. එය සෙල්ලමක් නොවේ. ඔබේ ප්රධාන ප්රතිවාදියා වන ගෝඨාභය මහතා වෙනුවෙන් සහාය දක්වන මම මින් සතියකට පමණ පෙර එතුමාට විවෘත ලිපියක් ලිවීමි. එය කියැවූ ඇතැමුන් එලෙසින්ම ඔබතුමාට ද විවෘත ලිපියක් ලියන්නැයි කියා තිබිණි. මේ ලිපිය එනයිනි.
 
ගෝඨාභය මහතාට මෙන්ම ඔබතුමාටත් මා සහාය දක්වන්නේ හෝ නොදක්වන්නේ ඔබේ වාසගම නිසා නොවේ. ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාවක් ලබා දීමේ දී ඔහුගේ හෝ ඇයගේ වාසගම, පවුල් පසුබිම, පියාගේ හෝ මවගේ වෘත්තිය, කුලය, ජාතිය, ආගම ආදී කිසිවක් මා සැලකිල්ලට නොගනී. මා සියලු දෙනාටම සලකනුයේ සමානාත්මතාවයෙනි. එම නිසා ඔබ ප්රේමදාසගේ පුතා වූ පළියට ඔබට සහාය දැක්වීමට හෝ නොදැක්වීමට මා හට නොහැකිය. මට වැදගත් වන්නේ ඔබේ ක්රියාවෙන් ඔප්පු කර ඇති හැකියාවයි.
 
ආර්. ප්රේමදාස යනු ජනරජයේ බිහි වූ ප්රථම සැබෑ නිර්ධන පන්තියේ නායකයා ය. කුලීන එක්සත් ජාතික පක්ෂයේ රදළ ගොලායත් මෙල්ල කළ පුංචි දාවිත් ය. පහළම අඩියෙන් පටන් ගෙන ක්රමයෙන් ඉහළට ම ආ ආර්. ප්රේමදාස යනු සැබෑ ජනතා නායකයෙකි. කම්කරු පක්ෂයෙන් දේශපාලනය අරඹා පසුව එක්සත් ජාතික පක්ෂයට එක් වූ එතුමා කොළඹ නගර සභාවේ මන්ත්රීවරයෙකු ව සිට, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ව සිට, විපක්ෂ නායක ව සිට, සභානායක ව සිට, අගමැති ව සිට අවසානයේ ජනරජයේ ජනපති ලෙස පියවරෙන් පියවර නැංගේ තනිකරම ස්වකීය හැකියාවෙනි.
 
ඕනෑම නායකයෙකු මෙන් ජනපති ආර්. ප්රේමදාස ද සාර්ථක මෙන්ම අසාර්ථක ද විය. ජනසවිය සහ ගම්උදාව වැනි මහා පරිමාණ සමාජ සුභසාධන ව්යාපෘති හඳුන්වා දෙමින්, අපනයන ඇඟලුම් කර්මාන්තශාලා හරහා දහස් ගණන් රැකියා උත්පාදනය කරමින්, රාජ්ය සේවය ක්රමවත් කරමින් ආර්. ප්රේමදාස සාර්ථක විය. නමුත් 1988-89 යුගයේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් තරුණ කැරැල්ල මර්ධනය කිරීමට ඔහු ගත් මග අසාර්ථක ඛේදාන්තයකි. එයින් සිදු වූයේ ඔබේ පරම්පරාවේ හොඳම මිනිසුන් ටික ජනරජයට අහිමි වීම පමණී. කොටි ත්රස්තවාදීන්ට ආයුධ පිරිනමමින් ත්රස්තවාදය පෝෂණය කළ ආර්. ප්රේමදාස මහතා අවසානයේ එම ත්රස්තවදීන්ටම ගොදුරු වූයේ අසාර්ථක නායකයෙකු ලෙසිනි.
 
පුතෙකුට තම පියා කෙරෙහි ඇත්තේ ගෞරව සම්ප්රයුක්ත බැඳීමකි. එම බැඳීම විස්තර කළ හැක්කේ පුතෙකුටම පමණී. එමෙන්ම තම පුතු කෙරෙහි පියෙකුට ඇත්තේ අප්රකාශිත සෙනෙහසකි. එය නම් කිසිදු පියෙකුට මේ යැයි විස්තර කළ හැකි දෙයක් නොවේ යැයි මට සිතේ. එම පිය සෙනෙහස ඔබේ තරුණ වියේ දී ඔබට අහිමි වීම ගැන මම දුක් වෙමි.
 
නමුත් ඔබ එන්නේ ආර්. ප්රේමදාසගේ රන් කිරි කට ගෑ පුතා ලෙසය. එසේ කියා ගෙනය. ඔබ ඔබේ පියා මෙන් පියවරෙන් පියවර නැංගේ නැත. ඔබ එන්නේ රතු පලස මතිනි. ඔබ දැන් වසර 20 ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකි. ඒ දීර්ඝ කාලය තුළ ඔබ එතරම් වැදගත් අලුත් දෙයක් සිදු කර නොමැත. ඔබට ඔබේ පියාගේ සෙවනැල්ලෙන් මිදීමට නොහැකි විය. ඔබ සිදු කළේ ඔබේ පියා හඳුන්වා දුන් ගම්උදාව කරපින්නා ගෙන යෑමයි. අඩුම තරමින් එම නිවාස ආකෘතිය හෝ, එම ගම්මාන සැලසුම් හෝ නූතන ලෝකයට ගැලපෙන ලෙස නවීකරණය කර ගැනීමට ඔබට නොහැකි විය. එක්සත් රාජධානියේ පාසල් අධ්යාපනය ලද ඔබ ඒ සංවර්ධන සැලසුම් ආකෘති උකහා ගත්තේ නැතිද?
 
මහින්ද රාජපක්ෂ මහතා අධිවේගී මාර්ග හදන විට ඔබ තවමත් පරණ තාලේ පුංචි ගෙවල්ම හදමින් සිටියේ ය. ගෝඨාභය මහතා කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය කරන විට ඔබ තවමත් කිසිදු පිළිවෙලක් නැති, මඩ බොරළු පාරවල් එහේ මෙහේ දුවන, අසංවිධිත ගම්මාන හදමින්, ඒවාට හාස්ය උපදවන නම් තබමින් සිටියේ ය. ඔබට පෙන්වන්නට ඇත්තේ ඔබේ ගෙවුණු පාවහන් පමණී. ඔබ ඔබට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රයෝජනයක් ගත්තේ නැහැ, සජිත් මහත්මයා.
 
ඔබේ ගායන හැකියාව කෙසේ වෙතත් වාදන හැකියාව නම් අපූරුය. ඔබ සැහැල්ලුවෙන් දිවි ගෙවන විනෝදකාමී කෙනෙකු යැයි මට සිතේ. එවැනි කෙනෙකු මේ අවස්ථාවේ ජනපති ධූරයට ඉල්ලුම් කරන්නේ විහිළුවටවත් දෝ හෝයි මට සිතේ. එක් පැත්තකින් පසුගිය වසර පහ ඇතුළත ඔබේ පක්ෂයේ ඊනියා යහපාලන ව්යාපෘතිය අන්ත අසාර්ථක වී තිබේ. ත්රස්තවාදය පෙරටත් වඩා භයානක ලෙස නැවත පැමිණ තිබේ. ආර්ථික වර්ධන වේගය 2% ට වැටී තිබේ. අනෙක් පසින් ඔබේ පක්ෂයේ නායකයා සහ පිරිවර ඔබට විරුද්ධව කටයුතු කරමින් තිබේ. අද ඔබට සහාය දෙන්නේ ඔබේ පක්ෂයේ පරිණත නායකයන් නොවේ. අත්දැකීම් නැති දේශපාලන බාලයන්, අවස්ථාවාදී කුමන්ත්රණකරුවන් සහ “මිනිසුන් හතර කොනේ එල්ලනවා” යැයි තර්ජනය කරන බිහිසුණු පුද්ගලයන්ය. ඔබ කිසිදු බරක් පතලක් නැතිව විහිළු කතා කියමින් යයි.
 
මා සිතන හැටියට ඔබ කාගේ හෝ බසකට රැවටී ඇත. ඒ ජ්යෝතිෂකරුවන් ද, ඔබගෙන් වාසි ප්රයෝජන ලබා ගැනීමට උත්සාහ කරන මාධ්ය මෝගල්වරුන් ද, නැතිනම් ඔබ දේශපාලනයෙන් ඉවත් කිරීමට මග බලා සිටින අය ද, මේ සියලු දෙනා ද කියා මට නිසැකවම කිව නොහැකිය. නමුත් එකක් නම් කිව හැකිය. එනම් මෙවරත් රනිල් වික්රමසිංහ මහතා ඔහුගේ චෙස් සෙල්ලමෙන් ජය ගනු ඇති බවය. නමුත් දැන් ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නැත. ජනපතිවරණයට ඇත්තේ තව දින කිහිපයකි.
 
මෙහි ඇති අවාසනාවන්තම දෙය නම් ඔබට සහාය දෙන බොහෝ දෙනා එම සහාය දෙන්නේ ඔබට ඇති කැමැත්තකින් නොවීමයි. මා හඳුනන බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබට කැමති නැත. ඔවුන් ඔබට සහාය දෙනවා නම් දෙන්නේ ඔවුන්ගේ ප්රතිවාදියා කෙරෙහි ඇති වෛරය නිසාය. එනම් ඔබ ඔවුන්ගේ තේරීම නොවේ. ඔබ ඔවුන්ගේ එළුබිල්ලයි. හරියට මෛත්රිපාල සිරිසේන වගේ ය. ඔබ පැමිණිය යුතුව තිබුනේ ඔබේ පක්ෂයේ නායකත්වය ලබා ගැනීමෙන් පසුවය. අලුත් දැක්මක් සහිතව ඔබේ පක්ෂය ප්රතිසංවිධානය කිරීමෙන් පසුවය. අලුත් නවීන වැඩපිළිවෙලක් සැලසුම් කර ගෙනය. “පෙර මග ලකුණු 2” ලියා ගෙනය.
 
අවසාන වශයෙන් කිව යුත්තේ ඔබේ ප්රතිපත්ති ප්රකාශනය සහ ඔබ දිගට හරහට වේදිකාවේ දෙන පොරොන්දු අනුව බලන කළ ඔබ නම් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු විය නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂය යනු දක්ෂිණාංශික නූතන-ලිබරල් ධනවාදී පක්ෂය යි. නමුත් ඔබ කතා කරන්නේ තනිකරම වාමාංශික සමාජවාදී දේශීය ප්රගතිශීලී කඳවුරේ එනම් අපේ එකෙකු ලෙසිනි. දැන් බලන කොට අනුර කුමාර දිසානායකටත් වඩා ඔබ සමාජවාදීය!
 
එක්කෝ ඔබ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශනය පිටපත් කර ඇත. නැතිනම් එය ලියූ අය එක්සත් ජාතික පක්ෂයේ අය නොවිය යුතුය. එහෙම වුනත් නැතත් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා අපේ දේශපාලන කඳවුරේ ප්රතිපත්ති තොග වශයෙන් ඉදිරිපත් කිරීම ගැන නම් මට ඇත්තේ සතුටකි. ඔබ විසින් අප කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් සිදු කර ඇත. එනම් එක්සත් ජාතික පක්ෂයේ නූතන-ලිබරල් කොඳු ඇට එකින් එක ගලවා දැමීමයි. එය ඔබට විහිළුවක් වුනාට, ජනරජයේ දේශපාලන ගමන් මගේ නිශ්චිත හැරවුම් ලක්ෂයක් ලෙස එය ඉතිහාසයේ ලියවෙනු ඇත. ඒ කොන්ද නැවත හදන්න රනිල්ටවත් බැහැ.
 
අනාගතයේ දිනෙක අපි අහම්බයෙන් හෝ හමු වුවහොත් මේ ලිපිය ගැන කතා කරමු.
 
එතෙක් ඔබට විවේකී සතුට පතමි!
 
මෙයට,
ජනරජවැසි,
එරන්ද ගිනිගේ
 
ප.ලි. මෙම ලිපිය ඔබට පෞද්ගලිකව එවිය නොහැකි නිසාත් මෙහි එන කරුණු ජනරජයේ වැසියන් විසින් ද දත යුතු යැයි මම සිතන නිසාත් විවෘතවම පළ කරමි. ස්තුතියි!
Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Hasani Rajapaksha
    great one.. every fact is totally true and well planned. 👍👍👍
    Reply
Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker