පශ්චාත්-යථාර්ථ ලංකාව

ශ්‍රී ලංකාව පශ්චාත්-යථාර්ථ සමාජයක් (Post-Truth Society) බවට පත් වී ඇති සැටියෙකි. තීරණ ගැනීමේදී අප තව දුරටත් සත්‍ය කරුණු-කාරණා පරිසිද්ධි සලකන බවක් නොපෙනේ.  ඒ වෙනුවට පුන-පුනා ප්‍රචාරය කරන හැඟීම්බර, ව්‍යාජ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අප පෙළඹී තිබේ. අපගේ පෞද්ගලික විශ්වාසයන් පමණක්ම තහවුරු කරන, අප අසන්නට කැමති දේම නැවත-නැවත ඇසෙන-අස්සවන දෝංකාර කුටිවල ජිවත් වීමට අප පටන් ගෙන තිබේ. මේ පශ්චාත්-යථාර්ථ යුගයේ ගොදුරු බවට පත් වී ඇති අප සියලු දෙනා එය නිර්මාණය කිරීමෙහිලාද අඩු-වැඩි වශයෙන් වැරදිකරුවෝය.

 

ජනසන්නිවේදන සන්නිය

NEWS Television TVපශ්චාත්-යථාර්ථ යුගය බිහි වීම ඇරඹෙන්නේ 90 දශකයේ අග භාගයේ පමණ සිටය. රාජ්‍ය මාධ්‍ය දේශපාලනීකරණය කිරීමත් සමග ඔවුන් විසින් ආණ්ඩු-පක්ෂයේ ප්‍රචාරයන් නිරන්තරයෙන් සහ අඛණ්ඩව ගෙන ගියේ සමබර මාධ්‍ය වාර්තාකරණය පිලිබඳ අල්පමාත්‍ර හෝ සදාචාරාත්මක වගකීමක් නැතිවාක් මෙනි.

ඊට හොඳම උදාහරණය ලෙස දිවයිනේ වැඩිම පිරිසකට නැරඹිය හැකි ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වූ “විමසුම” වැඩසටහන නම් කළ හැකිය. හරි හෝ වැරදි, නමුත් ඒක-පාර්ශවික, එකම-වාග්ලාපය සෑම දිනකම ප්‍රචාරය කළ එම වැඩසටහන, එවැනි අවර ගණයේ වර්තමාන වැඩසටහන්වල ආරම්භකයාය.

එහිලා තවත් පුරෝගාමී අනර්ථයක් සිරස මාධ්‍ය නාලිකා විසින් සිදු කෙරිණි. යම් කිසි තෝරාගත් දේශපාලන චරිත හුවා දක්වමින් තවත් චරිත වලට නොනවත්වා පහර දෙමින් ඔවුහු සිය ප්‍රවෘත්ති සහ සංවාද වැඩසටහන් දේශපාලනීකරණය කළෝය. තමාටත්, තම ජනසමාජයටත් එයින් සිදු වන පරිහානිය නොතකා ඔවුහු වෙනම යථාර්ථයක් නිර්මාණය කළෝය.

 

සමාජය බාල කිරීම

ස්වර්ණවාහිනිය එම අනර්ථය ඊළඟ පියවරට ගෙන ගියේ ලොකු-කුඩා සෑම පුවතක්ම අනුවේදනීය, සංවේදනීය සහ වින්දනීය කිරීමෙනි. “ප්‍රවෘත්ති” යනු යථාර්ථය යැයි ජනතාව තවදුරටත් පිළිගන්නේ නැත. ප්‍රවෘත්ති යනු ඔවුන්ට තවත් විනෝදාස්වාදයකි.

සියලු මාධ්‍ය ආයතන වල ඇත්තේ “ව්‍යාජ සමබරතාවයකි”. රටේ-ලෝකයේ යථාර්ථය එනම් සැබැවින්ම සිදු වන දේ පිළිබඳව පුළුල් මැදහත් සන්නිවේදනයක් ප්‍රවෘත්ති මගින් තවදුරටත් සිදු නොවේ. ඉහළම මිල ගණන් වලට සිය වෙළඳ දැන්වීම් කාලය විකිණීම සඳහා අවශ්‍ය ඉහළ ප්‍රේක්ෂක ඇස්-බෝල වාර්තා වෙනුවෙන් වැඩියෙන්ම විකිණෙන පුවත් පමණක් ප්‍රචාරය කිරීම ජනමාධ්‍ය නිදහස අපයෝජනය කිරීමක් නොවේද?

අප දැන් ප්‍රවෘත්ති බලන්නේ, අසන්නේ, කියවන්නේ, ජනතා නියෝජිතයන් කියන-කරන විලම්භීත දැනගැනීමට නොවේද? එම ජනතා නියෝජිතයන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් ප්‍රවෘත්ති හරහා කරන්නේ ඔවුන්ගේ දේශපාලනය නොවේද? එක්කෝ ඔවුන්ගේ වෛරී කතාය. නැතිනම් බලෙන් සිනහ විය යුතු විහිළු කතාය. හරවත් තොරතුරු, දැනුම, විචාරාත්මක සංවාදය, විවාදය නැති, අවිශිෂ්ට විනෝදාස්වාදය පමණක්ම බෙදන මාධ්‍ය විසින් අපගේ සමාජය බාල කරමින් තිබේ.

 

සමාජ-මාධ්‍ය  Clickඇම

Click baitවසර 2000 න් මෙහා ඇරඹි සමාජ-මාධ්‍ය ආගමනය නිසා පශ්චාත්-යථාර්ථය කඩිනම් විය. අද වන විට ඕනෑම කෙනෙකුට සත්‍ය හෝ අසත්‍ය හෝ තොරතුරු විශාල පිරිසකට එක වර බෙදාහැරීමේ හැකියාව ලැබී ඇත. මොහොතකට නැවතී, එළවාගත් සිහි-බුද්ධියෙන්, තාර්කිකව නොසිතා-නොබලා, කිසිදු වග-විභාගයකින් තොරව ඔවුන්ද එම තොරතුරු ඔවුන්ගේ ජාල වෙත බෙදාහැරීමෙන් බහුජන-උමතු හට ගනී.

ව්‍යාජ තොරතුරු හෙවත් “බොරු-පුවත්” (FakeNews) දේශපාලන උපායමාර්ගයක් ලෙස මහා පරිමාණයෙන් භාවිතා වූයේ 2015 ශ්‍රී ලංකාවේ සභාපති-වරණ සමයේ බව පෙනේ (ජනාධිපති යන යෙදුම ජනතාපාලනය ඇති රටකට නුසුදුසු වැරදි යෙදුමකි. ජනතාපාලනයක එක “අධිපතියෙක්” නොමැත. සියලුම ජනතාවට එක හා සමාන ලෙස පරමාධිපත්‍ය හිමිය. ඔවුන්ට ඉහලින් හෝ පහලින් කිසිවෙක් නොමැත. එම නිසා President යන ඉංග්‍රීසි වචනයට වඩාත් ගැලපෙන්නේ “සභාපති” යන්නයි.)

Facebook වැනි සමාජ මාධ්‍ය ජාල වල ඇති, පුද්ගලයන් ඉලක්ක කර ප්‍රචාරය කිරීමේ හැකියාව නිසා පොදු ජනතාව මුලාකිරීමේ හොඳම අවිය බොරු-පුවත්ය. ග්‍රාහක ජනයා එම පුවත්වල කියවෙන ඉලක්කම් මැන බලන්නේ නැත; කියවෙන ප්‍රලාප වල හරි-වැරදි සොයන්නේ නැත. එම පුවත් අදහාගත නොහැකි වන තරමට ඒවා යථාර්ථය ලෙස වැඩි වැඩියෙන් පිළිගැනීමට පොදුජනයා හුරු වී සිටි.

අද ජනප්‍රියම අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සහ YouTube නාළිකා ඔවුන් විසින්ම නම් කරගෙන තිබෙන්නේම “ගොසිප්” හෙවත් “ඕපාදූප” අඩවි ලෙසයි. ඒවා කෙතරම් ජනප්‍රියදැයි කියතොත් Facebook වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කිරීමේදී භාවිතා කළ හැකි keywords හෙවත් “ඉඟි-පද” ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ “Hiru Gossip” වැනි යෙදුම්ය. YouTube හී වැඩියෙන්ම බලන වීඩියෝ වන්නේ අශිෂ්ට, අවර, බාල, බොළඳ ඕපාදූප අඩංගු හිස් කතා හෝ සින්දු පමණකි. මීම් සංස්කෘතිය (memes) නිසා දරුණු සමාජ, පාරිසරික, ආර්ථික ප්‍රශ්න හෑල්ලු වී ගොසිනි. එක මීමයකට සිනහ වී, ඊළඟ මීමයට පනින ක්ෂණයෙන් අර පෙර ගැටලුව අපට අමතක වී යයි.

 

සන්ඩේ ටයිම්ස් සිට නිව් යෝර්ක් ටයිම්ස් දක්වා

මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික (අන්තර්ජාල) පුවත්පත්ද මෙම සමාජ පරිහානියට එක හෙලා වගකිව යුතුය. පුළුල් සහ අපක්ෂපාති ගවේෂණයකින් පසුව පැහැදිලිව සහ සමබරව එම පුවත් වාර්තා ලියා; තීරණය පාඨකයාට ඉතිරි කරන, මාධ්‍යවේදීන් අද දුර්ලභය. විකල්ප වැනි අන්තර්ජාල ලිපි “එකතු-කරන්නන්ද”, එකතු කරන්නේ තම මතයම තහවුරු කරන පක්ෂග්‍රාහී බ්ලොග් ලිපි මිස ඔවුන්ගේ අදහසට විකල්ප අදහස් වලට එහි ඉඩක් නොමැත.

මහබැංකු බැඳුම්කර වංචාව යනු පශ්චාත්-යථාර්ථ දේශපාලනයට හොඳම නිදසුනකි. එම වංචාවේ සත්‍යාසත්‍යතාවය හෙවත් යථාර්ථය කිසිවෙකුටත් අවශ්‍ය නැත. රනිල්ට විරුද්ධ පිලට අනුව එයට රනිල් වික්‍රමසිංහ මහතා වග කිව යුතු වන අතර, රනිල්ගේ පිල එය කිසිම දවසක නොපිළිගනී. එම නිසා කිසිම පිලකට සැබෑව, ඇත්ත-නැත්ත, යථාර්ථය දැනගැනීමට කැමැත්තක් හෝ උනන්දුවක් නොමැත.

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් නිව් යෝර්ක් ටයිම්ස් හි පළවූ වාර්තාව සාක්ෂි-සාධක මත පදනම්ව ලියූ බවක් නොපෙනෙන්නේ එබැවිනි. මන්ද එයද සිදු කරන්නේ 2015 න් පසු ලංකාවේ පශ්චාත්-යථාර්ථය තහවුරු කිරීමයි. එනම් “රාජපක්ෂලා දූෂිතයෝය” සහ “චීනය ලෝකය අල්ලා ගනිමින්” සිටී යන පශ්චාත්-යථාර්ථයන් පුනරාවර්තනය කිරීමයි.

එසේ කිරීමෙන් සිදු වන්නේ හම්බන්තොට වාරයේ හොඳ-නරක යථාර්ථය අවබෝධ කරගැනීමට ජනතාව වන අපට අවස්ථාව නොලැබී යාමයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සැබැවින්ම චීන රජයෙන් හෝ වෙන කිසිවෙකුගෙන් හෝ අල්ලස් ලබාගෙන ඇති බවට සාක්ෂි ඇත්නම් එය නීත්‍යානුකුල අධිකරණයක විභාග කළ යුතුවා මිස තවත් දේශපාලන ජවනිකාවක් කර නොගත යුතුය.

 

පශ්චාත්-යථාර්ථයෙන් ඔබ්බට

මාධ්‍ය ආයතන වල නූතන නායකයන් ඔවුන්ගේ ක්‍රියා පිළිබඳව ස්වයං විවේචනයක් කරගත යුතුය. නිදහස් මාධ්‍ය විසින් සිදු කළ යුත්තේ මෙයද? ඔබගේ පූර්වගාමින්ට වඩා සදාචාරාත්මක යුතුකම පිලිබඳ උසස් හැඟීමක් ඔබට ඇතැයි මම විශ්වාස කරමි. එය මේ රටේ ජනතාවට සහ අනාගත පරම්පරා වෙනුවෙන් ඔබ සතු වගකීමකි. පශ්චාත්-යථාර්ත දේශපාලනය ඇවිලවීම ඔබ විසින් දැන් නතර කළ යුතුය. එමෙන්ම තම මහලු පූර්වගාමින්ට වඩා සමාජ වගකීම පිලිබඳ වැඩි හැඟීමක් තිබිය යුතු නූතන ව්‍යාපාර නායකයන්ද, ජනමාධ්‍යයේ ප්‍රධාන මූලධර්ම අකුරට පිළිපදින මාධ්‍ය ආයතන වල පමණක් සිය දැන්වීම් පළ කිරීමෙන් ඔවුන්ට සහය විය යුතුය.

සත්‍යය තුන් ආකාර යැයි කියනු මා අසා තිබේ. එනම් 1) ඔබේ සත්‍යය; 2) මගේ සත්‍යය; සහ 3) සත්‍යය යනුවෙනි. 21 වන සියවසේ ජිවත් වන සහශ්‍රයේ පරම්පරාව වන අපට ලෝකයේ තොරතුරු සහ දැනුම ඇත්තේ ඇඟිලි තුඩු වලය. එහෙව් යුගයක මාධ්‍ය සහ දේශපාලන උප්පරවැට්ටි වලට අසු වීම අපට තරම් නොවේ. කිසියම් කරුණක්, ඕනෑම තොරතුරක්, ඇසු-දුටු සැනින් එය නිවැරදි දැයි සොයා බැලීමට අපට හැකි විය යුතු නොවේද

මෙහිදී අප විසින් උගත යුතු අලුත් කුසලතාවය නම් මාධ්‍ය විසින්, රජය විසින්, රාජ්‍ය-නොවන සංවිධාන විසින්, පුද්ගලික අංශය විසින් සහ විශේෂයෙන්ම ජනතා නියෝජිතයන් විසින් අප වෙත තල්ලු කරන සියල්ල සැක කිරීමයි. අපගේ පළමු සහ අනිවාර්ය ප්‍රතිචාරය විය යුත්තේ එය අසත්‍ය, ව්‍යාජ, වැරදි තොරතුරක් විය හැකි යන්නයි. ඉන් පසු එම සැකය දුරු කිරීම සඳහා කරුණු-කාරණා විමසිය යුතුය (විසාධනය). මේ යනු සම්මත විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමය අනුගමනය කිරීමයි.

 

එම නිසා මේ මා ලියන ලිපිය පවා වැරදි විය හැකි යැයි සිතන්න. එය විසාධනය කිරීමට උත්සාහ කරන්න. මා විසින් භාවිතා කර ඇති උදාහරණ සහ සැසඳීම් සාධාරණ දැයි සිතන්න. පශ්චාත්-යථාර්ථය පිළිබඳව ඔබ තවත් හදාරන්න. ඔබේ මිතුරන් සමග සංවාද-විවාද කරන්න. නමුත් කරුණාකර ඒ සියල්ල විවෘත මනසකින් සිදු කරන්න. ඔබේ මතිමතාන්තර, පක්ෂපාතීත්වයන්, සහ විශ්වාස වෙනස් කරගැනීමට සුදානම්ව එය කරන්න. පරිණත ජනතාපාලනයක් උදෙසා සියලු දේ විවෘතව ප්‍රශ්න කරන විවාද කරන යථාර්ථය සහ යථාර්ථයම පමණක් පිළිගන්නා පරම්පරාවක් අපට අවැසිය.

ඔබේ අදහස් පහතින් ලියන්න.

(Icons by Flaticons and Freepik)

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Suzanroyak
    Hey. I sent a screenshot. Did you get it?
    Reply
  2. […] නැගිටින්නට බැරිවෙන්නම පහර දුන්නේය. #FakeNews හෙවත් “පචපුවත්” යනුවෙන් ඔහු විසින් […]
    Reply
  3. ප්‍රියදර්ශිකා නවරුවන්
    බෞද්ධ අපිම සම්පප්‍රලාප වලට රැවටෙමින් සිටිමු. මාධ්‍ය සහ වෙබ් අඩවි උපරිම ඵල දරමින් drama out of crisis වලින් බඩගෝස්තරය රකින අතර සදාචාරය සංස්කෘතිය ශිෂ්ටත්වය ගිලිහෙමින් පවතී
    Reply
  4. Kamal Ekanayake
    ගොසිප් කියන වචනයට වටිනාකමක් දීම තුලම සමාජ පරිහානිය මනාව පැහැදිලිය. පෙර සමාජය සම්ප්‍රප්පලාප, බොරැ අකුසලයන් සේ සැලකූහ... ඕපාදූප කියන්නන්ට වටිනාකමක් නුදුන්හ. තොරතුරැ දැනගැනීමේ නිදහස යන වචන වැදගත්වන්නෙ මේ පසුබිමතුලය. වැඩි අතීතයනොව කෝපි කඩේ මතකනං එහි අබිලිං යනු කලු චරිතයකි. සමාජ වටිනාකම් උඩුයටිකුරු වීමතුල වෙළෙන්දෝ බාලදේ වැඩිමිලට විකුණා super profits සොයති. සමාජය බුද්ධිමත් වනතුරැ නිවැරදි තීරන ගන්නා නායකයන් අවශ්‍යව ඇත.
    Reply
    • ඇත්ත. සමාජය බුද්ධිමත් කරන්නේ කොහොමද? ඒක දේශපාලන නියෝජිතයන් අතින් වෙනකල් බලා සිටිය හැකිද?
      Reply
Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker