මව මරා උපන් කුමරා

“ජාතික ප්‍රශ්නය” යනු සමාජවාදය අසරණම වන තැනයි. “වැඩකරන ජනතාවට රටක් නැත” යනුවෙන් ලියූ කාල් මාක්ස් “ජාතික රාජ්‍යය” යනු ධනවාදී බොර්ජුආසීන්ගේ මාර්කට් නිර්මාණයක් ලෙස ප්‍රතික්ෂේප කෙළේය. ජලයේ ඔබන රබර් බෝලයක් උඩුකුරුව පොලා පනින්නා සේම මතුවන ජාතික ප්‍රශ්නය නොරිස්සූ ව්ලැදිමීර් ලෙනින් “ජාතික” නමින් කිසිදු සටන් පාඨයක් නොලිය යුතු යැයි නිර්ධන පන්තියට අණ කෙළේය. වැඩකරන ජනතාවගේ ඒකාධිපතියා, ජෝසප් ස්ටාලින් අවසානයේ “ජාතිය යනු පොදු සංස්කෘතිය” ලෙස අලුතෙන් අර්ථ දක්වා ප්‍රශ්නය මගහැර ගියේය.

“ජාතික විරෝධී” රෝහණ විජේවීර සහෝදරයාගේ “ජනතා විමුක්ති” ලල් එක හරියටම කැඩෙන්නට පටන් ගන්නේ විමල් වීරවංශගේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ “ජාතික” අරගලයට විරුද්ධව සිට ගැනීමෙනි. එය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී පදනම ජාතික යන්ත්‍රයෙන් ඩෝසර් කිරීමකි. එයින් ඇරඹෙන ජවිපෙ මතවාදීය බිඳවැටීම 2019යේ අනුර දිසානායක මැතිඳුන්, “ජාතික” ජන බලවේගයේ අපේක්ෂකත්වයේ අපේක්ෂකයා ලෙස ගාලු මුවදොර කරදියෙන් බෞතීස්ම ගැන්වීමෙන් පරිස්මාප්ත විය. මාක්ස්-එංගල්ස් පෙට්ටිවල සද්දෙට ඇඹරෙති.

මේ වනාහී ලංකාවේ “ජාතික” කඳවුර ලැබූ ලොකුම ජයග්‍රහණයයි. එය හරියට මිඛාඉල් ගොර්බචෝව් සීතල යුද්ධය අවසන් කරමින් ධනවාදයේ අයෝමය ගැහැණිය මාගරට් තැචර්ට අවනත වීම වැනිය. ජනරජයේ නියැඟිලිකරු අතර පැසවමින් තිබූ සමාජවාදී තුවාලයත් සමග දනිස්සෙන් පහලට වම් කකුල කපා ඉවත් කර බොරු කකුලක් දැම්මා වැනිය. එම සැත්කම කෙතරම් දක්ෂ ලෙස ඔවුන් කෙළේද යත් ජවිපෙ සොම්බි සාමාජිකයෝ වේදනාවෙන් මොරදෙනවා වෙනුවට උම්මතක ලෙසින් සිනහා වෙති. ඒ ඔවුන් කාලයක් තිස්සේ මතවාදීයව නිර්වින්දනය කරවූ නිසා විය යුතුය.

රතු හැට්ටකාරිය සහ වෝල් වීදියේ වෘකයා

ජේආර්ගේ පටන් ආණ්ඩුවල අතින් අතට ගිය රතු හැට්ටකාරියට ඇත්තටම ඉතිරි වන්නට දෙයක් නැත. ඇය කුඩා කල කටපාඩම් කළ රතු කවර සහිත පොත් ඇයට අමතකව ගොසිනි. සීනියර්ලා ඇයට බලහත්කාරයෙන් ඉගැන්වූ තියරි සහ රනිල් හාමු ඇයට ඉගැන්වූ තියරි එකිනෙක පැටලී ඇත. විප්ලවයේ නාමයෙන් මියගිය ඇගේ සොයුරන් දැන් හඳුනන්නේ නැත ඇය. වයසට වඩා දිරාගිය, එන්ජීඕ බෝටෝක්ස් වලින් ඉදිමුණු විකාරරූපී මුහුණක් සහිත ඇය දැන් වයස පනස්පහක මැහැල්ලකි. අනුර මැතිඳුන්ට ඇය ලැජ්ජාවකි.

අනුර දිසානායක යනු මතවාදීයව දුර්වලම චරිතයකි. ඔහුට අවශ්‍ය කෙසේ හෝ මහින්ද වගේ ජනප්‍රිය වීමටත්, රනිල් වගේ පොෂ් වීමටත්, ධම්මික වගේ පොහොසත් වීමටත්ය. නමුත් ඔහු ඒ තිදෙනාටම වඩා ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු තරම් මාර්කට්-බේස්ඩ් චරිතයක් ලංකාවේ මා දැක නැත. මාර්කට් එකේ අවශ්‍යතාවයන් හරියටම හඳුනාගෙන එයට අවශ්‍ය ලෙස තම පක්ෂය භාණ්ඩ කර විකුණා ලාභ ලැබීමට ඔහුට හැකි විය. චේ ගුවාරාව ඇමරිකන් ටීෂර්ට් එකකට කොමෝඩිෆයි කළේ යම්සේද, ලංකාවේ පන්ති අරගලය ධනවාදී ආර්ථිකය තුළ කොමෝඩිෆයි කර විකිණීමේ ගෞරවය දිසානායක මැතිඳුන්ට හිමි වේ.

වෝල් වීදියේ වෘකයා මෙන් අතේ පැලවෙන පචපුවත් ජනතාව අතර මාර්කට් කර විකිණීමට උපන් රංගන හැකියාවක් අනුරට ඇත. කිසිදු වැදගම්මක් නැති, කිසිදු වටිනාකමක් නැති, කල් ඉකුත් වූ භාණ්ඩ සහ ටිල්වින් වැනි වැඩ බැරි කම්කරුවන් ගහන පක්ෂයක්, සාර්ථක ව්‍යාපාරයක් ලෙස රීබ්‍රෑන්ඩ් කර විකුණා මුදල් ඉපැයීමට ඔහුට හැකි විය. සුනිල් පෙරේරා සිට ධම්මික පෙරේරා දක්වා ධනවාදයේ අවරතම සංකේත භාවිතා කරමින් ඔහු සිදුකළ ඊනියා ව්‍යාපාර පරිවර්තනය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ව්‍යාපාරිකයාගේ සම්මානය ඔහුට පිරිනැමීම සාධාරණ යැයි මට සිතේ.

ධනපති පන්තියේ ජාතික ජයග්‍රහණය

ගාලුමුවදොර පිටිය ප්ලාස්ටික් පුටුවලින් පුරවා, පවුල් පිටින් බස්වලින් ගෙන්වා, රතු තොප්පි පළඳවා, බත් පැකට් කවා, ලයිව් පෙන්වා, සංගීත දමා සිදුකළ ඒ අතිශය පොපියුලිස්ට් පන්නයේ ජාතික කැම්පේන් එකට මිලියන ගණනක් වියදම් කෙළේ කවුද හෝ කෙසේද හෝ කියා වැදගත් නැත. එයින් අනුර පෙන්වූයේ ඔහුගේ ධන බලයයි. දැන් තමාත් මහින්දගේ ලෙවල් එකට භෞතිකව හෝ ලංවූ බවයි.

කොමියුනිස්ම් හර සියල්ල පොප්කොර්න් කර බුදිමින්, ඒ රඟදැක්වූ නාටකය දෙස බලා වැඩියෙන්ම සතුටු වූයේ කොළඹ ධනවාදී බොර්ජුආසි හාම්පුතුන් සහ ජාතිකවාදීන්ය. සමාජවාදියා දැන් සම්පූර්ණයෙන්ම ධනවාදී වී මදිවාට ජාතිකවාදීද වී ඇත. ව්‍යාපෘතිය අති සාර්ථක වී ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන මට තරමක කණගාටුවක් ඇත. ඔවුන්ගේ නිශ්චිත අනාගත ඉරණම සියැසින් දැක ගැනීමට සිදු වීම නින්ද නොයවන චිත්ත පීඩාවක් විය යුතුය.

කෙසේ වුවත් අනුර දිසානායකට මම සුභ පතමි. ඒ ජවිපෙ මතවාදීයව පරලොව යැවීමට වඩා සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ජනතාවට ඔබ දුන් ආදර්ශය නිසාය. ඔබට දැන් රනිල් සමග එක මේසයේ කෑම ගැනීමට පන්තිමය අයිතියක් තිබේ. නමුත් ඔබේ ඊනියා ආයෝජනයට වැඩිම ප්‍රතිලාභ ලැබීමට නම් ඔබ විසින් හැකි තරම් අහසේ පාවෙන හිස් ඡන්ද පත්‍රිකා වැකියුම් කර ඇද ගත යුතුය. එවිට ඔබේ ආයෝජකයන් වැඩි වැඩියෙන් ඔබට කොමිස් සහ ලාභාංශ ගෙවනු ඇත. නැතිනම් ඔබ නැවත කොටස් වෙළඳපොලේ පහළට වැටෙනු ඇත. නිදහස් දේශපාලන මාර්කට් තරඟයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

එරන්ද ගිනිගේ

2019 අගෝස්තු 19 වැනි දින
කොළඹදීය.

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker