කාලීන ධම්ම සාකච්ඡා – රතන සූත්‍රය සහ විසාලා නුවර තුන්බිය

බුදුන් දවස විසාලා නුවර ඇති වූ තුන්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍රය දේශණා කළ බව මා කුඩා කල සිට ඉගෙන ඇත. රතන සූත්‍රය මට කට පාඩම්ය. එහි තේරුමද වරින් වර ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමට මා උනන්දු වේ. රතන සූත්‍රයේ ඇත්තේ බුද්ධ, ධම්ම, සංඝ රත්න-ත්‍රයේ ගුණ ය. එම ගුණයන් ඇසුරෙන් ධර්මාවබෝධයට එහි නිධාන කතාව එතරම් වැදගත් නැත.

නමුත් මා හට කලක සිට පැවති ගැටලුව නම් රතන සූත්‍රය සජ්ජායනය කළ පමණින් වැසි වැසීම හෝ රෝග සුව වීම වැනි ප්‍රාතිහාර්යයන් සිදු විය හැකිද යන්නයි. මන්ද එය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මයට නොගැලපේ යැයි මා හට හැඟෙන නිසාය.

සියලු ක්ලේශයන් ප්‍රහීන කළ තුන් ලෝකය පිලිබඳ පරම සත්‍යය අවබෝධ කර ගත් බුදුන් වහන්සේම ප්‍රාතිහාර්ය පෑ බව මට විශ්වාස කළ හැකිය. නමුත් උන්වහන්සේ විසින් දෙසූ ධර්ම කොටසක් අප වැනි පෘතග්ජනයන් විසින් සජ්ජායනය කළ පමණින් හෝ පටිගත කර විකාශය කළ පමණින් ප්‍රාතිහාර්ය පෑමට නොහැකි යැයි සිතීම අසාධාරණ නොවේ.

අටුවා

රතන සූත්‍රය දේශණා කළේ කවරෙකු හෝ කුමන අවස්ථාවක් අරබයාද කියා ත්‍රිපිටකයේ සඳහන් නොවන බවයි මාගේ දැනුම (මා වැරදි නම් කරුණාකර පෙන්වා දෙන්න). විසාලා නුවර තුන්බිය ගැන කියවෙන නිධාන කතාව තිබෙන්නේ අටුවාවේ සහ ගංගාරෝහණ වර්ණනාව වැනි අටුවා ඇසුරින් ලියා ඇතැයි මා සිතන බුත්සරණ ග්‍රන්ථාදියේ ය.

අටුවා යනු බුදුන් වහන්සේ විසින් දේශණා කළ ශ්‍රී සද්ධර්මය නොවේ. නමුත් ඒවා එකහෙලා බැහැර කිරීමටද මා අකමැතිය. මන්ද ධර්ම කරුණු අවබෝධ කර ගැනීම සඳහා අටුවා නිරුක්ති උපකාර වන බැවිනි. නමුත් ඇතැම් අටුවා අතිශයෝක්ති නිසා ධර්මය වැසී යෑමටද හැකි බව මාගේ අදහසයි. එම නිසා අටුවා කියවිය යුත්තේ කල්පනාකාරීවය.

කෙසේ හෝ අටුවාවේ එන කතාව සංක්ෂිප්තව මෙසේය. ලිච්ඡවී රාජ්‍යයේ විසාලා (වේසාලි, වෛශාලි) නමින් මහා විශාල සශ්‍රීක නගර‍යක් විය. එක් කාලයකදී වැසි නොමැතිව ගොස් ධාන්‍ය වගා විනාශ වී දුර්භික්ෂයක් හට ගනී. ආහාර නොමැති කමින් නගරයේ දුප්පත් වැසියන් පළමුව මිය යයි. ඔවුන්ගේ මළ සිරුරු නගරය පුරා කුණු වෙමින් තිබෙන විට ඒවා අනුභව කරන අමුනුෂ්‍ය යක්ෂයන් පැමිණේ. එවිට තවත් වැසියන් අහිවාතක නම් පාචනය වැනි ලෙඩක් වැළඳී වැඩි වැඩියෙන් මිය යෑමට පටන් ගනී.

මේ ව්‍යසනයෙන් මිදීම සඳහා කුමක් කළ යුතු දැයි රජදරුවෝ සාකච්ඡා කරති. එය ඇතැම් විට අද මෙන් ජනපති විසින් කැඳවන කාර්යසාධක බලකා හෝ ඇතැමුන් ඉල්ලන පාර්ලිමේන්තු රැස්වීම් මෙන් තියෙන්නට ඇත. එහිදී මුලින්ම යෝජනා වන්නේ ෂඩ් ශාස්තෘවරුන් ගෙන්වා මෙයට පිළියමක් යෙදීමයි. නමුත් සමහරු කියන්නේ දැන් ගෞතම බුදුන් වහන්සේ ලොව පහළ වී සිටින නිසා උන්වහන්සේටම ආරාධනා කළ යුතු බවයි. එයට රජදරුවන් එකඟ වේ.

බුදුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහේදැයි ඔවුන් අසයි. ලිච්ඡවී රාජ්‍යයට විරුද්ධ බිම්බිසාර රජු රාජ්‍යය කරන ගංගා නම් ගඟෙන් එතෙර රජගහ නුවර උන්වහන්සේ වස් විසීමට සුදානම්ව සිටින බව එවිට සැළවේ. බුදුන් වහන්සේ විසාලාවට වැඩම කරවීමට කෙසේ හෝ බිම්බිසාර රජු කැමති කරවා ගැනීමට පඬුරු රැගත් පිරිසක් පිටත් කර යැවේ.

බුදුන්ගෙන්ම විමසන ලෙස බිම්බිසාර රජු ඔවුන්ට පවසයි. කෙසේ හෝ බුදුන් වහන්සේ විසාලාවට වැඩම කිරීමට එකඟ වන සේක. එය දැන ගන්නා බිම්බිසාර රජු රජගහ නුවර සිට ගංගා නම් ගඟට ඇති මාර්ගය සකස් කර, දින පහක් තිස්සේ බුදුන් වහන්සේ සහ පන්සියයක් භික්ෂූන් මහත් හරසරින් වැඩම කරවයි. නැව් දෙකක් එක්කළ පාරුවක් තනා එහි බුදුන් වහන්සේ සහ භික්ෂු සංඝයා වඩා හිඳුවා ගඟෙන් එතෙරට පා කර හරී. දෙවියන්, බ්‍රහ්මයන් සහ නාගයන් මහා පුද පූජා පවත්වයි.

බිම්බිසාර රජුට දෙවැනි වීමට අකමැති ලිච්ඡවී රජදරුවන් එමෙන් දෙගුණයක් සැරසිලි කරවා බුදුන් වහන්සේ පිළිගනී. එසැනින් අහස ගුගුරා අකුණු ගසමින් මහා වැස්සක් වසින්නට පටන් ගනී. එයින් ඇති වුන ජල ගැල්මෙන් විසාලා නුවර විසිරී තිබූ මළකුණු සියල්ල සේදී ගඟට ගසා ගෙන යයි. එවිට බොහෝ යක්ෂයන්ද නගරයෙන් ඉවත්ව යයි.

දින තුනක් තිස්සේ බුදුන් වහන්සේ ප්‍රමුඛ පිරිස විසාලා නුවරට වැඩම කරන විට සක්‍ර දෙවි ප්‍රධාන දෙවියන් එහි දොරටුවේ සිට උන්වහන්සේ පිළිගනී. බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා විසාලා නුවර ඇවිදිමින් මේ සූත්‍ර දේශණා කරන්නැයි රතන සූත්‍රය දේශණා කළ සේක. ආනන්ද තෙරුන් රතන සූත්‍රය දේශණා කරමින් බුදුන් වහන්සේගේ පාත්‍රයට ගත් පැන් ඉසිමින් යයි. එවිට ඉතිරිව සිටි යක්ෂයන්ද බිය වී පළා යයි. එයින් නගරයේ රෝග බියද දුරු වී වැසියන් සුවපත් වේ.

සාකච්ඡාව

දැන් මේ අටුවා කතාව පිලිබඳව සාධාරණව බලමු. පළමු කාරණය නම් මහා වැසි වසින්නේ සූත්‍රය දේශණා කිරීමට පෙරය. එය බුදුන් වහන්සේගේ ප්‍රාතිහාර්යයක් විය හැකිය. නැතිනම් බුදුන් වහන්සේ වෙනුවෙන් සක්‍රයා ඇතුළු දෙවියන් විසින් වැසි වැස්සෙව්වා විය හැකිය. නැතිනම් ඒ වන විට වස් කාලය ආරම්භ වීමට නියමිතව තිබූ නිසා ස්වභාවිකව වැස්සා විය හැකිය. කෙසේ වෙතත් එය සූත්‍රය දේශණා කිරීමෙන් සිදු වූවක් නොවන බව පැහැදිලිය.

දෙවැනි කාරණය නම් ලිච්ඡවී රජදරුවන් කැටුව ආනන්ද තෙරුන් විසින් සූත්‍රය දේශණා කරමින් යන විට එය ඇසූ ඉතිරිව සිටි යක්ෂයන්ද පළා යෑමය. ධර්මයේ කියවෙන ලෙස බොහෝ යක්ෂයන් බුදුන් වහන්සේට සහ උන්වහන්සේගේ ධර්මයට අකමැතිය. බුදුන්ගේ, ධර්මයේ සහ සංඝයාගේ ගුණ ඇසෙන විට ඒ යක්ෂයන්ට කොහොමත් ඉවසාගෙන ඉන්නට බැරි වෙන්නට ඇත.

නමුත් මෙහි පැන් ඉසීම යනු සූත්‍රයෙන් පරිබාහිර කාරණයක් ලෙස මට පෙනේ. එය එකල බ්‍රාහ්මණ සමාජයේ පැවති බලිකර්ම සම්ප්‍රදායයක් ලෙස සිතිය හැකිය. නමුත් මට හිතෙන්නෙ එසේ ඉසිනු ලැබුවේ යම් කිසි පිරිසිදුකාරක දියරයක් බවයි. එයින් අහිවාතක රෝගයට සහ වෙනත් රෝගයන්ට හේතුකාරක විෂබීජ විනාශ වූවා විය හැකිය.

අදටත් අප එවැනි විෂබීජ නාශක දියර නගර පුරා ඉසිනවා නේද? සංඝයා වහන්සේ පවා අදටත් බොහෝ විට පැන් ඉසින්නේ පිරිසිදුකාරක කොහොඹ අත්තකින් නේද? එසේනම් පැන් ඉසීම හුදු අද්භූත බලයක් නොව ඉතාම විද්‍යාත්මක දෙයක් ලෙස සැලකිය හැකිය. (හෙලිකොප්ටර් වලින් ඉසීම නම් ඉතා මෝඩ ක්‍රියාවකි.)

අවසානයේ විසාලා නුවර මනුෂ්‍යයන් සහ එහි පැමිණි දෙවියන් රැස් කරවා බුදුන් වහන්සේම රතන සූත්‍රය නැවත දේශණා කළ බව අටුවාවේ කියැවේ. මට හිතෙන හැටියට එම සූත්‍රයේ පළමු ගාථා දෙක දේශණා කරන්නට ඇත්තේ එවිටය. එනම් දෙවියන් අමතා බුදුන් වහන්සේ ඉල්ලා සිටින්නේ ඔවුන්ට පුද පූජා කරන මිනිසුන් ආරක්ෂා කරන ලෙසයි.

මන්ද අටුවාවේ එන හැටියට ආනන්ද තෙරුන් මුලින් දේශණා කරන්නේ “යං කිඤ්‌චි…” ලෙසින් ඇරඹෙන තුන්වන ගාථාවයි. එම දේශනාව අවසානයේ සක්‍ර දෙවියා විසින් ඒ සියලු කරුණු අනුමත කරමින් අවසාන ගාථා තුන කියන්නට ඇතැයිද ඒ අනුව සිතිය හැකිය. ඉන් අනතුරුව සක්‍රයා පිරිවරාගත් දෙවියන් දිව්‍යලෝකවලට පෙරළා යයි. දෙවියන් ඇසට නොපෙණෙන නිසා ඔවුන් ගැන එයට වඩා කීමට දෙයක් නොමැත.

නමුත් මෙහි වැදගත්ම කරුණ නම් බුදුන් වහන්සේ එදින පටන් හත් දවසක් රතන සූත්‍රය දේශණා කිරීමයි. එය අසා සිටි විසාලා නුවර අසූහාරදහසක් ප්‍රාණීන් (මනුෂ්‍යයන් පමණක් නොවන බව පෙනේ) සෑම දිනකම ධර්මාවබෝධය ලද බව කියැවේ. එයින් පෙනෙන්නේ රතන සූත්‍රය යනු හුදෙක් යක්ෂයන් පළවා හරින්නට කටපාඩමින් කියන සූත්‍රයක් නොව අර්ථ සහිතව ශ්‍රවණය කර ධර්මාවබෝධය ලබාගත හැකි සූත්‍රයක්ම බවයි.

නමුත් අවාසනාවකට අද එම වටිනා බුද්ධ දේශණය හුදු මන්තරයක් වැනි වෙළඳ භාණ්ඩයක් බවට පත් වී තිබේ. ගීතවත් ලෙසින් තරඟයට ගයන එයින් රේඩියෝ සහ ටෙලිවිෂන් ආයතන මුදල් උපය යි. ධර්මාවබෝධය වෙනුවෙන් දේශණා කරනවා වෙනුවට එය අද්භූත බල ඇති ආරක්ෂක මන්තරයක් ලෙස ඇතැම් සංඝයා වහන්සේලාම ගයනු ඇසේ.

අමුනුෂ්‍ය යක්ෂයන් ඇසට දැක ගත නොහැකි නිසා උන් ගැන මට වෙනත් කිසිවක් කිව නොහැකිය. නමුත් යක්ෂයන්ටත් වඩා දුෂ්ටකම් කරන පවිටු අසත්පුරුෂයන් ඒ සූත්‍ර ගායනා අසා සිටිනු දැකීම හාස්‍යජනකය. සැබැවින්ම රතන සූත්‍රයේ තේරුම ඔවුන් දන්නේ නම් එදා විසාලා නුවර දොරටු කඩාගෙන දිව ගිය යක්ෂයන් මෙන් ඔවුන්ද දිව යනු ඇතැයි මට සිතේ.

මෙම ලිපිය ලිවීමට පෙර මේ ගැන මා නොදත් දේ ඇත්දැයි දැන ගැනීමට මුහුණුපොතේ ප්‍රශ්නයක් ඇසුවෙමි. එයට කරුණාවෙන් පිළිතුරු දුන් මා හඳුනන නොහඳුනන අය සුව වේවා! එමෙන්ම මා සමග ද්වේශයෙන් සිටින අයටත්, ලක්වැසි සියලු වැසියන් ඇතුළු ලෝක වාසී සියලු මනුෂ්‍යන්ටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වීමෙන් ඔවුන් සුව වේවා!

මේ සාකච්ඡාවේ යම් වරදක් ඇතොත් සහේතුක ධර්ම කාරණා ඇසුරෙන්ම එය නිවැරදි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

එරන්ද ගිනිගේ
2020 බක් පොහෝ දින

මුලාශ්‍ර
ත්‍රිපිටකය – ඛුද්දක නිකාය – ඛුද්දකපාඨ පාළි – රතන සූත්‍රය (https://www.thripitakaya.org/tipitakaya/Index/621?s=21196)

ඛුද්දක පාඨට්ඨ කතා (සිංහල පරිවර්තනය) – රතන සූත්‍ර වර්ණනාව පි.136 ඉදිරියට – (භාගත කිරීම්: https://tipitaka.lk/library/725)

බුත්සරණ (https://stats.wikimedia.org/wikibooks/EN/Wikibooks_SI.htm)

https://www.wisdomlib.org/definition/gangarohana-sutta

https://www.wisdomlib.org/definition/ratana-sutta

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker