සිංහරාජය සහ මහාමාර්ගය

සිංහරාජය සහ මහාමාර්ගය ගැන ගැටෙන බොහෝ දෙනා සහ මේ ගැන අසන කියවන හිතන බොහෝ දෙනා “සිංහරාජ වැසිවනාන්තරය” යනු කුමක්දැයි, එය වැදගත් වන්නේ මන්දැයි, සහ එය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි කියා දන්නා බවක් පෙනෙන්නට නැත. ඒවා ගැන සාධාරණ විද්‍යාත්මක අවබෝධයක් තිබේ නම් මෙම ගැටලුව මුලින්ම ඇති වන්නේවත් නැත. 

විද්‍යාව (බටහිර වුනත් නැගෙනහිර වුනත් විද්‍යාව විද්‍යාවමයි) “පට්ටපල් බොරුවක්” ලෙස පරම්පරාවක මොළවලට විසකවා අවිද්‍යාත්මක අහංකාර පිරිහෙන ජාතියක් බවට පත් කර ඇති මෙකල, “වැසිවනාන්තරයක” වටිනාකම අවබෝධයෙන් දන්නා මිනිසුන් දුර්ලභය. මෙහි මූල හේතුව එයයි (Root Cause).

ඒවා ගැන දැන් මේ මොහොතේ උගන්වන්නට යෑම නිෂ්ඵල ක්‍රියාවකි. මන්ද තමා නොදන්නා බව නොපිළිගන්නා අයට කිසිවක් ඉගැන්විය නොහැකි නිසාය. පිරුණු මුට්ටි පිරවිය නොහැකිය. කළ හැකි එකම දෙය නම් දැන් හැදෙන දරු පරපුරටවත් එම විද්‍යාත්මක ඇත්ත ඇතිසැටියෙන් ඉගැන්වීමයි. එවිට ඔවුන් හෝ අනාගතයේ නිවැරදිව කටයුතු කරනු ඇත. 

ස්වභාවධර්මය ගැන විද්‍යාත්මක අවබෝධයෙන් කටයුතු කරන අතළොස්සක් දෙනා දැන් වහා වහා කළ යුත්තේ එම අනාගතවාදී මහා සමාජ අධ්‍යාපනයයි. තමන්ගේ කුඩා කුටීර තුළ නොසිට දැන් එකමුතුව නිර්මාණශීලී ලෙස අපක්ෂපාතීව එම දැනුම සමාජගත කළ යුතුය. එය දීර්ඝකාලීන අරමුණක් ඇතිව වීර්යයෙන් කළ යුතුය.

දේශප්‍රේමී කියා නළලේ ගසාගෙන බෙරිහන් දුන්නාට එම දේශයේ වටිනාම සම්පත් ගැනවත් අවබෝධයක් නැත්නම් එම ප්‍රේමය කපටිකමකි. “දේශප්‍රේමය යනු කපටියාගේ අවසාන ගැලවීමයි” යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත. සැබෑ දේශප්‍රේමියා නම් එම දේශයේ සම්පත් වෙනුවෙන්ම කොන්දේසි විරහිතව සටන් කරන්නෙකි.

ගිනිගේ
2020 අගෝස්තු 30
ජනරජයේ දීය

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu