21 වන සියවසේ ලංකාව

දෙවන ලෝක යුද්ධයෙන් පසුව රට ඇතුලේ යුද්ධය ඇති වීමට පෙර අවුරුදු 35 ක් තිබුනත් ඇයි අප සංවර්ධිත නොවූයේ? ජාතික ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට විවෘත ආර්ථිකය අරඹා අවුරුදු 40 ක් ගත වුනත් ඇයි අප සංවර්ධිත වී නොමැත්තේ? ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කර, මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘති ආරම්භ කළත්, ගෝලීය සංවර්ධන දර්ශක වල අප තවමත් එකම තැන උච්චාවචනය වෙන්නේ ඇයි? ඇයි අපේ රට තවමත් සංවර්ධිත රටක් බවට පත් නොවන්නේ?

සාම්ප්‍රදායික ආර්ථික න්‍යායන්ට අනුව රටක් සංවර්ධනය වෙන්න නම් අප අනිවාර්යයෙන්ම සහ නිරන්තරයෙන්ම කාර්මීකරණය විය යුතුය. එනම් භාණ්ඩ හා සේවා වේගයෙන් සහ වැඩි-වැඩියෙන් නිෂ්පාදනය කළ යුතුය. එම භාණ්ඩ හා සේවා රට ඇතුලෙත් පිටත් තරඟකාරී විවෘත වෙළඳපොලේ විකිණීමෙන් ධනය ඉපැයිය යුතුය. එම ධනය රටේ ජනතාව අතට පත් වීමෙන් ඔවුන්ගේ සියලු අවශ්‍යතා සැපිරෙනු ඇති. එවිට එම ජනතාව ඉතා සතුටින් සහ සාමයෙන් කල් ගත කරන සංවර්ධිත රටක් බිහි වෙනු ඇති. 19 වන සියවසේ ඇරඹි, 20 වන සියවසේ අවසන් වූ සංවර්ධන ක්‍රමය එයයි.

ශුන්‍ය ඓක්‍ය සෙල්ලම

ලෝකයේ සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවල් හෙට උදේ නැගිටිනකොට ඇමරිකා එක්සත් ජනපදය වැනියෙන් සංවර්ධනය වී ඇතැයි අපි උපකල්පනය කරමු. එවැනි සංවර්ධිත ලෝකයක මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීමට නම් පෘථිවිය වැනි ග්‍රහලෝක හතරක් සහ තවත් අඩක් අවශ්‍ය වේ. එම නිසා අප මේ ලුහුබඳින සාම්ප්‍රදායික සංවර්ධනය සරලවම කිවහොත් විද්‍යාත්මක නොවේ.

සාම්ප්‍රදායික සංවර්ධනය යනු ශුන්‍ය ඓක්‍ය සෙල්ලමකි (Zero Sum Game). එනම් සංවර්ධිත රටවල් ඒ ඔවුන්ගේ සංවර්ධන දර්ශක ඒ අයුරින්ම පවත්වා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ලෝකයේ රටවල් බහුතරයක් සදාකාලිකවම සංවර්ධනය නොවී තිබිය යුතුමය.

සංවර්ධන ප්‍රලාප

සංවර්ධිතයි කියා අප හඳුන්වන රටවල් සැබැවින්ම සංවර්ධිත නැත. ඒ රටවල සියලු සමාජ ප්‍රශ්න විසඳී නොමැත. එම රටවලත් දුප්පතුන් සිටී. තරුණයො විරැකියාවෙන් පෙළෙති. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල ගැටළු එමටය. ජනවාර්ගික, ආගමික, සහ ත්‍රස්තවාදී ගැටුම් දැනටත් සිදු වේ. මූල්‍ය වංචා, දූෂණ, සමාජ අපරාධ දිනපතා සිදු වේ. ඔවුන්ගේ පස, ජලය, වාතය අතිශය දූෂණය වී, දේශපාලන ව්‍යුහයන් අස්ථාවර වී ගොසිනි.

එබැවින් අප කෙසේ හෝ, අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් පරයා, තාවකාලිකව හෝ සංවර්ධිත රටක් බවට පත් වූවත්, අපගේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඒ වෙනුවට වඩාත් සංකීර්ණ සමාජ, පාරිසරික, ආර්ථික, දේශපාලනික අලුත් ප්‍රශ්න රැසක් ඇති වෙනු ඇත.

අසාධාරණ සංවර්ධනය

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පුරුව, රුසියාව, ජපානය වැනි සංවර්ධනයක් සැබවින්ම අපට අවශ්‍යද? අප රටේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ගේ සැබෑ සංවර්ධන අවශ්‍යතාවය ඒ සා සංවර්ධනයක්ද? වසර 2,600 ක ලිඛිත ඉතිහාසයක් හිමි, ඊටත් වසර දහස් ගණනක් පැරණි දියුණු ශිෂ්ඨාචාරයකින් පරිණාමය වූ රටක සංවර්ධන දැක්ම සහ වසර සියයක-දෙසියයක පරිණාමයක් තිබෙන රටවල සංවර්ධන දැක්ම කිසිසේත්ම එකට සමපාත විය නොහැක.

සමහර විට අප මෙගා සිටීස් (Mega Cities) ඉදිකරන්නට ඇත්තේ අනුරාධපුර යුගයේමය. එම සංවර්ධනය පසු කර දැන් අප බොහෝ දුර ඇවිත් තිබේ. එම සමාජ-සංස්කෘතික-චින්තන පරිණාමය නැවත හැරවීමට අපට නොහැක; අපට යුතු නැත. සංවර්ධනය නමින් මේ අප සිදු කරන්නේ ලෝක බලවතුන් විසින් අපට විකුණන, අපට නොගැලපෙන, නාගරික සුළුතරයකගේ හීනමානය වහගන්න කරන අපවම රවටා ගැනීමක් නොවේද?

අලුත් සංවර්ධනය

රටේ භූමියට ගැලපෙන, අපේ රටේ දේශගුණයට, ස්වභාවික සම්පත් වලට ගැලපෙන, අපේ රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන්ට ගැලපෙන අලුත් සංවර්ධන දැක්මක් අප නිර්මාණය කරගත යුතුය. අප රටේ හැකියාවන් හඳුනන, අපේ දුර්වලතාවයන්ට සංවේදී අලුත් සංවර්ධන ආකෘතියක් අප ගොඩනැගිය යුතුය. අනාගත ආසියාවේ මෙන්ම ලෝකයේ ඇතිවීමට නියමිත හොඳ සහ නරක තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මැද මාවතක් අප සොයාගත යුතුය. එය අප විසින්ම අප වෙනුවෙන්ම නිර්මාණය කරගත යුතුය. මේ  මොහොතේ අත්‍යවශ්‍යම සමාජ නව්‍යකරණය එයයි.

ඒ අලුත් සංවර්ධනය

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, අප සියලු දෙනාටම තිබෙන එකම සම්පත ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන මේ භුමියත් එහි ඇති සියලු ජීවී-අජීවී දේත් පමණි. අපේ සංවර්ධනයේ එකම අඩිතාලම, අනිවාර්යය පරමාර්ථය සහ සදාකාලික සිද්ධාන්තය විය යුත්තේ “එම වටිනා සම්පත අනාගතයේ උපදින සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත්, මතු උපදින සියලු දරුවන්ටත් අද තිබෙනවාටත් වඩා හොඳින් ඉතිරි කර දීමයි”.

21 වන සියවසට ආහාර නිෂ්පාදනය

Food crops

වසර 2030 – 2050 අතර කාලයේ අප රටේ ජනගහනය මිලියන 25 ක් පමණ වෙනු ඇති. නමුත් ඒ අතර කාලයේ ලෝක ජනගහනය බිලියන 9 ත් 10 ත් අතර වීමට නියමිතය. ඒ අනාගතයේ ලොව ජනගහනය වැඩිම රටවල් 10 අතර ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය, අපේ ලඟම රටවල් ටික උතුරින්ද, චීනය නැගෙනහිරින්ද, අප්‍රිකාව බටහිරින්ද නැගී එනු ඇත.

එම වැඩිවන ජනගහණයට කෑමට ආහාර අවශ්‍ය වේ. සම්ප්‍රදායික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසම වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඇතිවුන දේශගුණික විපර්යාසයත් සමග ලෝකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට ඇතිවන පීඩනය තවත් දරුණු වෙනු ඇත. එම නිසා පිටරටින් ආහාර ආනයනය සහ සහනාධාර ගැන විශ්වාසය තැබීම, අනාගතයේ අපේ දරුවන් අනතුරේ දැමීමකි. එසේ නොවුනත්, අනාගතයේ අපේ රටේ මිනිස්සුන්ට වස නැති, විස නැති, පෝෂ්‍යදායි, සමබර ආහාර, ඔවුන්ට දැරිය හැකි මිළකට ලබා දෙන්න හැකි නම් එහි වරදක් නැත.

අපට හැකිනම් අපේ රටේ අනාගත පරම්පරාව අඩුම තරමින් ආහාර වලින් ස්‌වයංපෝෂිත කිරීමට. අපට හැකිනම් අපේ රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, 21 වන ශතවර්ෂයට ගැලපෙන ලෙස නව්‍යකරණය කිරීමට. අපේ රටේ වසර 6,000 ක් තිස්සේ එන පාරම්පරික වගා තාක්ෂණය අවතක්සේරු නොකොට, එයට අවශ්‍ය පරිදි නූතන තාක්ෂණය එකතු කරමින් අපට හැකිනම් අලුත් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලංකාවේ ගොඩනැගීමට. සම්ප්‍රදායික වගාව පමණක් වෙනුවට, කාබනික වගාව, නාගරික වගාව, ගෘහ වගාව සහ තත්‍ය වගාව වැනි නවීන ආහාර නිෂ්පාදන සමාජ ව්‍යාපාර වේගයෙන් දියුණු කළ හැකි නම්. ආහාර නිෂ්පාදන සැපයුම් දාමවල සිදුවන නාස්තිය තාක්ෂණය භාවිතයෙන් අවම කළ හැකි නම්. එපමණක් නොව රටේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාවන් තිරසාර ලෙස වෙනස් කළ හැකි නම්. එයයි සමාජ නව්‍යකරණය.

සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැමට

වසර 2030 න් පසු ලෝක ජනගහණයෙන් 40% කට වගාකරන්න, නාගන්න, රෙදි සෝදන්න තබා බීමටවත් ජලය නැති වීමට නියමිතය. එයිනුත් වැඩිම ජල හිඟතාවයක් ඇතිවන්නේ දකුණු ආසියාතික කලාපයේමය. දූපත් රාජ්‍යක් වන අප රටේ ජල සම්පත අනාගත පරම්පරාවලට ආරක්ෂා කිරීමට අපට භාරදූර වගකීමක් පැවරේ.

එසේ නොවුනත්, අනාගතයේ අපේ මිනිසුන්ට පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමට හැකි නම් එහි වරදක් නැත. අප රටේ ජල සම්පත ව්‍යවසායි ලෙස කළමනාකරණය කිරීමට අපට හැකි නම්. අපේ මුතුන්මිත්තන් වගේ “අහසින් වැටෙන එක වැහි කැටයක් හෝ, පොළොවෙන් නගින එක දිය බිඳුවක්වත් හෝ අපතේ යා නොදී පරෙස්සමෙන් භාවිතා කරමින් අනාගතයටත් ඉතුරු කරන” සමාජ ව්‍යාපාර සහ ජිවන රටාව අපට හදන්න හැකි නම්. එයයි නූතන සමාජ නව්‍යකරණය.

පිරිසිදු බලශක්තිය

wind powerවසර 2035 න් පසු ලෝකයේ එන දරුණු කාබනික ඉන්ධන බලශක්ති අර්බුදයට මුහුණ දීමට අපේ අනාගත පරම්පරාවලට සිදු වේ. තෙල් සහ ගල් අඟුරු භාවිතයේ අවසානය අනිවාර්යයෙන්ම මේ සියවස තුළ සිදු වීමට නියමිතය. එම සම්පත් තිබෙන රටවල්, සුර්යබලය, සුළං බලය සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත වූ සැනින්, ඔවුන්ගේ කාබනික ඉන්ධන භාවිතය සහ විකිණීම නවත්වනු ඇත.

එසේ නොවුනත්, අප රටේ ජිවත් වන, ව්‍යාපාර කරන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට තමන්ගේ එදිනදා වැඩ කරගැනීමට පිරිසිදු, කාර්යක්ෂම, ස්ථිරව පවත්වා ගත හැකි විදුලි සැපයුමක් ලබා දීමේ වරදක් නැත.

එම නිසා 2035 ට කලින් අපට හැකි නම් 100% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සවි ගැන්වුණු රටක් වෙන්න. අප වැනි සමකාසන්නයේ පිහිටි, රට වටේම මුහුදු රළ නගන කුඩා රාජ්‍යයකට එය කළ හැකියි. ඒ සඳහා අපට අලුත් පුනර්ජනනීය විදුලි උත්පාදක යන්ත්‍ර නිෂ්පාදනය කරන මහා සමාජ ව්‍යාපාර ඇති කිරීමට හැකි නම්. අපේ විදුලිය නාස්තිකරන ජිවන රටාව වෙනස් කරන්න කරන්න හැකි නම්. අනාගතයේ දේශගුණයට ගැලපෙන, ආරක්‍ෂිත, කාර්යක්ෂම නිවාස සහ කාර්යාල ගොඩනැගිලි හදන අලුත් ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කරන සමාජ ව්‍යාපාර බිහි කිරීමට අපට හැකි නම්. එයයි සමාජ නව්‍යකරණය.

කය-මනස නිරෝගී රටවැසියන්

Herbal medicine

ඊළඟ වසර 30 ඇතුලත මිනිස් ජනගහණය දරුණු ලෙස අඩු වීමටත් පුළුවන. ඊට වඩාත්ම වැඩි සම්භාවිතාවයක් ඇති හේතුව නම් ප්‍රති-ප්‍රතිජීවකත්ත්වයයි (Anti-Microbial Resistance). අසීමාන්තික ප්‍රතිජීවක (antibiotics) භාවිතය නිසා රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් දැනටමත් ඒවාට ඔරොත්තු දීමට පරිණාමය වී අවසන්. අප වැනි කුඩා ජනගහණයක් ඇති රටකට, ඈත අතීතයේ වූවක් මෙන් එවැනි වසංගත තත්ත්වයක් උද්ගත වුවහොත් එහි ප්‍රතිපලය ඉතා දරුණු සමාජ-ආර්ථික සහ දේශපාලන පරිහානියකි. එසේ සිදු නොවුනත්, මනසින් සහ කයින් දෙකෙන්ම නිරෝගී බලසම්පන්න අනාගත පරපුරක් බිහි කිරීමේ වරදක් නැත.

 

අනාගතයේ ජිවත් වන අපේ මිනිසුන්ට දරාගත නොහැකි වන ආනයනික ඖෂධ මිල, විශේෂඥ වෛද්‍ය ගාස්තු, රෝහල් ගාස්තු වලට විසඳුමක් ලෙස දැනටත් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ස්වභාවික ඖෂධ වලින් සුව කරන සිංහල-පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කර එය බටහිර වෛද්‍ය ක්‍රමය හා කරට කර ගෙන ඒමට අපට හැකි නම්. ලෙඩ උනාට පසුව බෙහෙත් කරන පුරුද්ද වෙනුවට ලෙඩ නොවී සිටීමේ ජිවන රටාව, කය මෙන්ම මනස සුවපත් කරන සමාජ ව්‍යාපාර බිහි කිරීමට අපට හැකි නම්. එයයි සමාජ නව්‍යකරණය.

අනාගතයට රැකියා

වර්තමානයේ පෙරහුරු කරන නුදුරු අනාගතයේ ගෝලීය සමාජ-ආර්ථික-දේශපාලන ක්‍රමය මෙයයි. මිනිස් ශිෂ්ඨාචාරයේ ඊළඟ පිම්ම මෙයයි. අපේ රටේ ප්‍රතිපත්ති හදන මහත්ම-මහත්මීන් සහ ව්‍යාපාර නායකයන් වසර 30ක් 40ක් තිස්සේ අපට මගහැරුණු, පරණ, විනාශකාරී සංවර්ධන මොඩලයේ හිර වී ඇත. මා ඔවුන්ට දොස් කියන්නේ නැත. මන්ද ඔවුන් සමහරුන එම ආර්ථික ක්‍රමයෙන් සාර්ථක වූ අය බැවිනි. ඔවුන්ට දන්නා එකම ක්‍රමය එයයි.

නමුත් 21 වැනි ශතවර්ෂයේ සංවර්ධන මොඩලය දැන් අප ඉදිරියේ තිබේ. අප තීරණය කළ යුත්තේ, අපට මගහැරී ගිය, යල්පැන ගිය, අසාර්ථක, සංවර්ධන ක්‍රමයේම තවදුරටත් යනවාද, එසේ නැතිනම්, අනාගතයට ගැලපෙන, අපේම-අපේ, අලුත්ම-අලුත් සංවර්ධනය දැන් පටන් ගන්නවද කියාය. අපි අලුත් සංවර්ධනය පටන් ගනිමු.

සහශ්‍රයේ පරම්පරාව

Happy People

මේ සමාජ නව්‍යකරණයේ මුලික පැති කිහිපයක් පමණි. මා කියූ සෑම ව්‍යවසායි සමාජ නව්‍යකරණයකින්ම අලුත් රැකියා දස-දහස් ගණනක් බිහි කළ හැකිය. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), ස්වයංක්‍රියකරණය (Automation), දත්තදාම (Blockchain) වැනි තාක්ෂණයන් නිසා නුදුරු අනාගතයේ වඳ වෙන සුදු කරපටි සහ රජයේ රැකියා වෙනුවට, නවීන ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර, නවීන පරිසර හිතකාමී නිෂ්පාදන ක්ෂේත්‍ර, සමාජ ව්‍යවසාය ක්ෂේත්‍ර ඇතිකර සමබර රැකියා වෙළඳපොළක් ඇති කිරීමට අපට හැකි නම්. එයයි සමාජ නව්‍යකරණය.

නමුත් ඒ සඳහා ඒ අනාගතයේ වර්තමාන නියමුවන්ට අවස්ථාව ලබා දිය යුතුය. ඊළඟ වසර දහය-විස්ස තුළ රටේ ව්‍යාපාර සහ දේශපාලන නායකත්වය ගැනීමට 1980 සහ 90 දශකවල උපන් සහශ්‍රයේ පරම්පරාව දැන් සුදානමින් සිටී. පසුගිය සියවස තුළ සංවර්ධනයේ නාමයෙන් සිදු කළ මහා සමාජ, පාරිසරික සහ ආර්ථික විනාශයන්ගේ ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදු වී ඇත්තේ අපේ පරම්පරාවටයි.

එම සැබෑ සමාජ ප්‍රශ්න වලට වඩාත් සංවේදී වන්නේත්, ඒ ප්‍රශ්න ගැන යථා අවබෝධයක් තිබෙන්නේත්, ඒ ප්‍රශ්න විසඳීමට සමාජ නව්‍යකරණය කළ හැක්කේත් අපේ පරම්පරාවටයි. එම නිසා සහශ්‍රයේ පරම්රාවට අති විශාල වගකීමක් පැවරේ .එනම් අප රටේ සංවර්ධනය 20 වන ශතවර්ෂයෙන් ගලවා, 21 වන ශතවර්ෂයට වෙනස් කිරීමේ කාර්යභාරයය. එම ගමනේදී අපට තවත් සිංගප්පූරුවක් හෝ බෙයිජිං නගරයක් හෝ ලන්ඩනයක් හෝ නිව් යෝර්ක් නගරයක් වීමට අවශ්‍ය නැත. අප අනන්‍ය වූ ශ්‍රී ලංකාවම විය යුතුය.

රටක අනාගතය නිර්මාණය කිරීමට නම් වර්තමානයේ ජිවත් වන අප, විශාල කැප කිරීමක් කළ යුතුය. එය අද අපට සාමයෙන් ජීවත්වෙන්න ඈත අතීතයේ මුතුන්මිත්තන් සහ මෑත ඉතිහාසයේ අපේ රණ විරුවන් ජිවිත පරිත්‍යාගයෙන් කැප වූවාක් මෙනි. රටක් සංවර්ධනය කිරීමට නම් ඒ රටට ආදරය කරන, ඒ රටේ පොළොවට, ඒ රටේ සුවඳට, ඒ රටේ මිනිසුන්ට, ගහට-කොලට, සතා-සීපාවට ආදරය කරන ඔබ-අප සියලු දෙනා දැන් එකතු විය යුතුයි. අපි අදම එය කළේ නැතිනම් මිත්‍රවරුනි, වෙන කවදා කරන්නද? අපි අපිම කළේ නැත්නම් මිත්‍රවරුනි, වෙන කවුරු කරන්නද?

(වියත්මග 2018 සමුළුවේදී කොළඹදී මා විසින් කළ කථාව ලිඛිත බසින් මෙසේ පළ කරමි)

(Icons by Flaticon and Freepik)

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Thasira
    Please send me your new important pages that usuful for student debater and this page was usuful for me alot
    Reply
  2. […] […]
    Reply
  3. […] 3) සත්‍යය යනුවෙනි. 21 වන සියවසේ ජිවත් වන සහශ්‍රයේ පරම්පරාව වන අපට ලෝකයේ තොරතුරු සහ දැනුම ඇත්තේ […]
    Reply
  4. Chathuranga perera
    Great ,thanks for your ideas
    Reply
    • Thank you for your feedback, Chathuranga. Please take the ideas forward and build on them.
      Reply
Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker