ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව උත්තරීතර නැත

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ.”

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – පිටු අංක xvii)

ඉහත දැක්වෙන්නේ අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැනවීම් පාඨය යි. මෙහි එන “උත්තරීතර” යන වචනය ඉතා වැදගත්ය. එයින් නිශ්චිතව අදහස් වන්නේ අන් සියලු දෙයට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වන බව ය.

මේ දිනවල පවතින දේශපාලන තත්ත්වයත් සමග අපට බොහෝ විට ඇසෙන ‘සියල්ලටම වඩා පාර්ලිමේන්තුව උත්තරීතර යි’ යන අදහස ව්‍යවස්ථා විරෝධීය. වාසනාවකට රටවැසියන් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවීමට පටන්ගෙන ඇත. තරුණ තරුණයන් සබුද්ධිකව සහ සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වෙමින් තිබේ.

බොහෝ ජනතා නියෝජිතයන්, ඇතැම් නීතිඥයයන් සහ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කරමින් ජනතාව මුලාකොට තැබූ යුගය අවසන් වන්නට පටන්ගෙන ඇත. ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ජනතාපාලනය දැන් මුහුකුරා යන්නට පටන්ගෙන ඇත.

 

ජනතාවගේ පරමාධිපත්‍යය

3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – පිටු අංක 1)

පරම ආධිපත්‍යය යනු ජනරජය කෙරෙහි ජනතාව සතු සීමාරහිත අයිතිය යි. එම ජනරජය පාලනය කිරීමේ අයිතිය යි. එනම් ජනරජයේ සමස්ථ, පූර්ණ සහ අනිවාර්ය අයිතිය, හිමිකාරීත්වය, බලපරාක්‍රමය හිමිවන්නේ ජනතාවට ය. එනම් ජනරජයේ නීත්‍යානුකූල රටවැසිභාවය හිමි ජිවත් වන සහ අනාගතයේ මෙරට උපදින ශ්‍රී ලාංකිකයන්ට ය. එම අයිතිය කිසිදාක ඔවුන්ට අහිමි වන්නේ හෝ ඔවුන්ගෙන් අහිමි කිරීමට හෝ නොහැකි ය.

එමෙන්ම වෙනත් රටකට හෝ වෙනත් රටවල රටවැසියන්ට හෝ මෙරට කිසිදු අංශුමාත්‍ර හෝ අයිතියක් නොමැත. අප රටේ පරමාධිපත්‍යයට අතපෙවීමට වෙනත් කිසිදු රටකට හෝ සංවිධානයකට හෝ අංශුමාත්‍ර අයිතියක් නොමැත. එසේ කිරීමට අනුබල දෙන්නන් දේශද්‍රෝහීන් ලෙස හඳුනාගෙන දඬුවම් පැමිණවිය යුතු ය.

එම පරමාධිපත්‍යයට එකම සාක්ෂිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. ව්‍යවස්ථාව නැතිනම් ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කළ නොහැකි ය. පසුගිය තෙවසරකට වැඩි කාලයක් පැවති දේශද්‍රෝහී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විසින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාවක් මගින් ජනතාවගේ පරමධිපාත්‍යය බිඳ දැමීමට සැලසුම් කළේ ඒ නිසා ය (ශ්‍රී ලංකා ඔරුමිත්තනාඩුව අඩංගු යෝජිත ව්‍යවස්ථාව කියවන්න). එම නිසා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිය පණ මෙන් ආරක්ෂා කරගැනීම රටවැසියාගේ යුතුකමකි.

 

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම

4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-

(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය;

(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;

(ඇ) නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – පිටු අංක 1)

එනම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාව සතුව පරමාධිපත්‍යය බල තුනක් ඇත. එනම්:

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය

ජනතාවගේ විධායක බලය

ජනතාවගේ අධිකරණ බලය

මෙම බල තුන එකිනෙකට සමාන වේ. ව්‍යවස්ථාවේ කිසිදු තැනක මෙහි එක් බලයක් අනෙක් බලයට වඩා උසස් හෝ පහත් හෝ යැයි ලියා නොමැත. එසේ නම් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පවරන පාර්ලිමේන්තුවත්, ජනතාවගේ විධායක බලය පවරන ජනාධිපතිවරයාත්, ජනතාවගේ අධිකරණ බලය පවරන අධිකරණයත් එකිනෙකාට බලයෙන් සමාන වේ. එම නිසා පාර්ලිමේන්තුව, ජනාධිපතිට වඩා උසස් හෝ පහත් හෝ යැයි කීම ව්‍යවස්ථා විරෝධීය.

1977 ට පෙර පවතී 1972 දී පණවනු ලැබූ ජනරජයේ පළමු ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා නාමමාත්‍රික වූ බැවින් එකල නම් පාර්ලිමේන්තුව (ජාතික රාජ්‍ය සභාව) ජනාධිපතිට වඩා උසස් යැයි කිව හැකිව තිබිණි. නාමමාත්‍රික ජනාධිපතිවරුන් සිටිනා වෙනත් රටවලද ජනාධිපතිට වඩා පාර්ලිමේන්තුව උසස් යැයි කිව හැකි ය.

නමුත් හොඳට හෝ නරකට 1977 න් පසු එම අදහස අපේ රටට අදාළ නොවේ. එසේ ප්‍රකාශ කරන ජනතා නියෝජිතයෝ ඔබව නොමග යවති. ඔවුන්ට ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් කිසිදු ක්‍රමයකින් හෝ නොදුන් බලයක් ජනතාව මත පැනවීමට ඔවුහූ ඔබට බොරු කියති.

 

බල තුලනය

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය, ජනතාවගේ අධිකරණ බලය එක හා සමානව පවත්වා ගැනීමට නම් එම බල තුන එකිනෙකා මගින් තුලනය විය යුතු ය. එනම් පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති සහ අධිකරණය එකිනෙකින් ස්වාධීනව සහ එකිනෙකා කෙරෙහි බල පැවැත්විය යුතු ය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII සිට XVI දක්වා පරිච්ඡේද වලින් එම බල තුලනය සිදු වන ආකාරය සරලව පැහැදිලි කර ඇත. එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිලදී ගෙන හෝ අන්තර්ජාලය හරහා නොමිලේ භාගත කරගෙන හෝ කියවන්න.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හොඳට හෝ නරකට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීම, පක්ෂ මාරු කිරීම සහ ප්‍රතිපත්ති මාරු කිරීම නිරන්තරයෙන්ම සිදු වේ. එසේ සිදු කිරීමට ඔවුන්ට ව්‍යවස්ථාපිත අයිතියක් ඇතත් එමගින් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ප්‍රකෘති වීමක් හෝ විකෘති වීමක් හෝ සිදු විය හැකි ය.

එය තීරණය වන්නේ එම පිල්, පක්ෂ සහ ප්‍රතිපත්ති මාරු කිරීම් සිදු කරන හේතුව මත ය. එම හේතුව ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කිරීම නම් එය සාධාරණ ය. නමුත් එම හේතුව ජනතාවගේ පරමාධිපත්‍යය බිඳ දැමීම නම් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. මහත් අසාධාරණකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වී සිදු කරන අපරාධයකි.

 

සැබෑ ව්‍යවස්ථා අර්බුදය

ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ නොමැත. නමුත් පාර්ලිමේන්තුවට පත්වන බොහෝ ජනතා නියෝජිතයන් එකට එකතු වී තමන්ට නැති බලයක් මවා පෙන්වමින් ජනතාවගේ පරමාධිපත්‍යය හෑල්ලු කරමින්, ජනතාව පෙළමින්, ජනතාව නොමග යවමින්, ජනතාව පාලනය කර යි.

වෙනත් වචනවලින් කිවහොත් 1977 න් පසු දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීන් යැයි කියාගන්නා සුළු පිරිසක් විසින් රටවැසියන් පාලනය කිරීමට උත්සාහ කරනු පෙනේ. එය ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ජනතාපාලනය නොවේ. එය කතිකාධිපත්‍යයකි. ඔබ මෙම තත්ත්වය අවබෝධ කරගැනීමට නම් රටවැසියන් ලෙස ව්‍යවස්ථාවෙන් ඔබ සතු බලය, ඔබේ අයිතිවාසිකම් සහ ඔබෙන් ඉටු විය යුතු යුතුකම් මනාව අවබෝධ කරගත යුතු ය.

 

ජනතාවගේ යුතුකම

වඩාත් ශක්තිමත් ජනතාපාලන පාර්ලිමේන්තුවක් බිහිකිරීමට නම් ජනතාව පළමුව කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තේරුම් ගැනීම යි. දෙවනුව කළ යුත්තේ එම ව්‍යවස්ථාව ආරක්ෂා කළ හැකි සහ නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයන් තම නියෝජිතයන් ලෙස විධායකයට සහ පාර්ලිමේන්තුවට පත් කිරීමත් එයට නුසුදුසු පුද්ගලයන් පත් නොකිරීමත් ය.

දැන දැනම නුසුදුස්සන් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ඔබ, ඔබේ පරමාධිපත්‍යය පමණක් නොව, රටේ අනෙක් රටවැසියන්ගේත්, ඔබේ දරුවන්ගේත් පරමාධිපත්‍යය විනාශ කර දම යි. එසේනම් සුදුසු ජනතා නියෝජිතයන් පත්කර ගැනීමට දැන් අපි වහාම මහා මැතිවරණයක් ඉල්ලා සිටිමු.

 

එරන්ද ගිනිගේ

2018 නොවැම්බර් 4

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker