ශ්‍රී

“සෙල්වනායගම් යනු දෙමළ වැසියන්ය. දෙමළ වැසියන් යනු සෙල්වනායගම්ය.” යනුවෙන් සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා වරක් පවසා තිබේ. එස්. ජේ. වී. චෙල්වනායගම් හෙවත් සෙල්වනායගම් යනු නූතන සිංහල-දෙමළ අර්බුදයේ නොමැකෙන චරිතයකි. මහත්මා ගාන්ධිගේ අවිහිංසා ප්‍රතිපත්තියෙන් සිය ජනතාවගේ අයිතීන් දිනාගත හැකි යැයි විශ්වාස කළ ඔහු ගැන අපූරු කතාවක් මට පසුගියදා අසන්නට ලැබිණි.

ඒ ඩොමිනියන් ඔෆ් සිලෝන් යුගයයි. ජනරජය තවම බිහි වී නැත. එක පාසලේ සගයන් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ සෙල්වනායගම් අත්සන් කළ බණ්ඩා-චෙල්වා ගිවිසුමට විරුද්ධව එජාපය ප්‍රමුඛ සිංහල ජාති(ක)වාදීන් කටයුතු කරමින් තිබිණි. 1958 වසරේ “ශ්‍රී” අකුරු සහිත අංක තහඩු සහිත වාහන යාපනය සහ මඩකලපුව ආදී ප්‍රදේශවලට යවා තිබිණි.

දෙමළ භාෂාවට සමතැන් ලබා ගැනීම වෙනුවෙන් මුල සිටම ක්‍රියා කළ සෙල්වනායගම් ඒ “ශ්‍රී” අංක තහඩුවලට විරුද්ධ විය. ගැහැණු පිරිමි හත්සියයකින් පමණ සමන්විත පිරිසක් සමග ඔහු කල්මුණේ සිට පන්දිරිප්පු දක්වා පෙළපාලියකින් පැමිණ තිබේ. කාලි දේවාල භූමියේ රැස්වූ පිරිස “දෙමළ භාෂාවට ජය වේවා!” යනුවෙන් ඝෝෂා කරන්නට විය.

සෙනග අතරින් තරුණයන් කිහිප දෙනෙකු “සිංහල භාෂාව භංග වේවා!” යනුවෙන් කෑ ගසා තිබේ. එය කණ වැකුණු සෙල්වනායගම් මහතා වහාම රැස්වීම නවතා එසේ කෑ ගැසූ අයට ඉදිරියට එන්නැයි පවසා තිබේ. මේ කතාව මට කී අයගේ පියා එදා තරුණයෙකු ලෙස එම කිහිපදෙනා අතර සිට ඇත.

ඔවුන් ඉදිරිපත් වූ විට සෙල්වනායගම් මහතා ඔවුන්ට අවවාද කර ඇත්තේ “අපේ සටන දෙමළ භාෂාවට සමතැන් ලබා ගැනීමට මිස සිංහල භාෂාවට විරුද්ධව නොවේ” යනුවෙනි. එම ප්‍රකාශය එකල දෙමළ වැසියන්ගේ සමස්ත ව්‍යායාමය කැටි කොට දැක්වීමක් යැයි මට සිතේ. දෙමළ වැසියන්ට අවශ්‍ය වුනේ තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට මිස සිංහල වැසියන්ට විරුද්ධ වීමට නොවේ.

එදා එම තරුණයා අද මඩකලපුව ප්‍රදේශයේ ගෞරවාදරයට ලක්වන වයස්ගත දේශපාලන ක්‍රියාකරුවෙකි. අදටත් ඔවුන් සෙල්වනායගම් මහතා අමතන්නේ “ෆාදර් සෙල්වා” යන ගෞරව නාමයෙනි. සෙල්වනායගම් යනු ඔවුන්ට පීතෘ චරිතයකි. ඔහු විසින් පසුගිය ජනපතිවරණයෙදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්නැයි එළිපිට රැස්වීම් පවත්වා තිබේ. එයට හේතුව ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබීමයි.

ෆාදර් සෙල්වාගේ ජීවිත කතාව කියවීමේදී ඔහුද එකල සිංහල නායකයන් කෙරෙහි නැවත නැවත විශ්වාසය තබා තිබේ. නමුත් ඒ සෑම සිංහල නායකයෙක්ම බලය ලබා ගත් පසු පොරොන්දු බිඳ දමා ගිවිසුම් ඉරා දමා එම විශ්වාසය කඩ කර තිබේ. ෆෙඩරල්වලින් පටන්ගෙන අවසානයේ දෙමළ ඊළම දක්වා සෙල්වනායගම් තල්ලු වන්නේ ඒ නිසා යැයි මට සිතේ. එය ඛේදවාචකයකි.

1977 ඔහුගේ මරණයත් සමග ඔහු ගෙනගිය අවිහිංසාවාදී සටන අවසන් වෙයි. ඉන් වසර 10කට පසු 1987 දී සිංහල සහ දෙමළ භාෂා ජනරජයේ රාජ්‍ය භාෂා බවට පත් වේ. එහෙත් එය පමා වැඩි විය. “අප්පමාදෙන සම්පාදේත” යනු ශ්‍රී දේශනාවයි.

ගිනිගේ
2020 අගෝස්තු 19
ජනරජයේ දීය

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu