මහමැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි? සරලව

මහමැතිවරණය යනු ජනරජයේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවට සාමාජිකයන් 196 දෙනෙකු (මන්ත්‍රීවරුන්) සර්වජන ඡන්දයෙන් තෝරා ගන්නා වරණය යි. 196 හැදෙන්නේ දළ වශයෙන් සෑම වැසියන් 80,000 කට පමණ එක නියෝජිතයෙකු සිටිය යුතුය යන ආවස්ථික පදනම මතය. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් මිලියන 16 ක් පමණ සිටී. එය 196 න් බෙදූ විට 82,000 ක් පමණ අගයක් ගනී.

තවත් 29 දෙනෙකු ජාතික ලැයිස්තු වලින් පත් කෙරේ. හරි නම් එය “පක්ෂ ලැයිස්තු” ලෙස සංශෝධනය කළ යුතුය. මන්ද එම 29 දෙනා පත් කරන්නේ ඒ ඒ පක්ෂ වෙනුවෙන් ලබා දෙන මුළු ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව වීමත් ඔවුන් කවුදැයි තීරණය කරන්නේ එම පක්ෂවල නායකයන් පමණක්ම වීමත් නිසාය. ඒ අනුව මුළු සාමාජිකයන් ගණන (196+29) 225 ක් වේ.

“ඡන්දයෙන් තෝරා ගැනීම” සහ “පත් කිරීම” යනු ඉඳුරා වෙනස් දෙකකි. වැසියන්ගේ ඡන්දයෙන් තෝරා ගන්නා කෙනා එම වැසියන්ගේ නීත්‍යානුකූල නියෝජිතයෙකි. නමුත් පක්ෂවලින් “පත් කරන” කෙනාට තෝරා ගන්නා නියෝජිතයා තරම් නීත්‍යානුකූලභාවයක් නොමැත. (ජාතික/පක්ෂ) ලැයිස්තු ක්‍රමය ප්‍රජාතාන්ත්‍රික නොවන කපටි කමකි. අතිශය අසාර්ථක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළේ එසේ “පත් කළ” අයෙකි. එය වෙනම කතා කරමු.

 

මූලික කරුණු අවබෝධ කර ගනිමු

ව්‍යවස්ථා(මාලා)වක් ඇතත් නැතත් ඕනෑම තන්ත්‍රයක ඇත්තේ කොටස් දෙකකි. එනම්: 

1) තීරණ ගැනීම සහ
2) තීරණ ක්‍රියාත්මක කිරීම ය. 

“ව්‍යවස්ථා” යනු ජනරජයේ පැවැත්ම සඳහා ගනු ලබන තීරණ ය. ඒවා ව්‍යවස්ථා, පනත් හෝ නීති ලෙස හඳුන්වයි. එම ව්‍යවස්ථා හැදීම සහ හදන තැන “ව්‍යවස්ථා-දායකය” නම් වේ. එම තීරණ ගැනීමේ බලය හඳුන්වන්නේ ව්‍යවස්ථාදායක බලය නමිනි. එය ජනරජවැසියන්ගේ පරමාධිපත්‍යයේ එක් බලයකි. එම බලය ක්‍රියාත්මක කරන්නේ එම වැසියන් විසින් සහ එම වැසියන් විසින් තෝරා ගන්නා නියෝජිතයන් විසිනි.

උදාහරණයක් ලෙස ජනරජයේ මුල්‍යය (ආදායම් සහ වියදම්) පිලිබඳ සියලු තීරණ ගත හැක්කේ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවට පමණී.

විධායකය යනු එම ව්‍යවස්ථා (පනත්/නීති) ක්‍රියාත්මක කිරීම සහ කරන ආයතන යි. එම ආයතන තුනකි:

1) විධායක ජනපති
2) විධායක ඇමති මණ්ඩලය සහ
3) විධායක රාජ්‍ය සේවය 

ඉහත තීරණ ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී මතුවන විවිධ ගැටලු නීති ප්‍රකාරව යුක්ති සහගතව විනිශ්චය කිරීම සඳහා “අධිකරණය” යනුවෙන් තුන්වන ආයතනයක් පිහිටුවා ඇත. සැබැවින්ම එය තීරණ ගැනීමේම කොටසකි.

ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය එකිනෙකින් වෙන් කර සහ එකිනෙකින් සීමා කර, එකිනෙකින් තුලනය කර ඇත. ඒවා එකිනෙකින් උසස් හෝ පහත් හෝ සමාන හෝ වන්නේ නැත. මන්ද ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස් බැවිනි.

 

225 යනු ව්‍යවස්ථාදායකය නොවේ

ව්‍යවස්ථාදායකය යනු ජනරජයේ පැවැත්ම සඳහා තීරණ ගැනීමයි. තීරණ ගන්නේ නැතුව කිසිවක් කළ නොහැකිය. ජනමත විචාරණයකදී සියලුම වැසියන් ඍජුව තීරණයක් ගනී. ජනපතිවරණ, මහමැතිවරණ ආදී වරණද වැසියන් විසින් තීරණ ගන්නා අවස්ථාවය. සෑම විටම සියලුම වැසියන්ට එකතුව තීරණ ගත නොහැකි නිසා ඔවුන්ගේ නියෝජිතයන් හරහා එම තීරණ ගන්නේ පාර්ලිමේන්තුවේය. මේවා සියල්ල ව්‍යවස්ථාදායකයට අයත්ය.

උදාහරණයක් ලෙස වසංගත අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය තීරණය කරන්නේ ව්‍යවස්ථාදායකය යි. එම තීරණය “නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත” නමින් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර තිබේ. 

කොරෝනා වසංගත අවස්ථාවේදී විධායකය (ජනපති, ඇමති, රාජ්‍ය සේවකයන්) ක්‍රියාත්මක කරන්නේ එම පනත යි. එම පනතට පරිබාහිරව විධායකයට වෙනත් තීරණ ගත නොහැකිය. එසේ ගන්නේ නම් ඒවා ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කර, විවාද කර, නියෝජක ඡන්දයෙන් සම්මත කරගත යුතුය.

දැන් ඔබට ව්‍යවස්ථාදායකයේ කාර්යය එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකය පැවතීමට හේතුව, එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකයේ අභිමතාර්ථය පැහැදිලි විය යුතුය. එනම් ජනරජයේ පැවැත්ම සඳහා තීරණ ගැනීමයි. වෙනත් වචනවලින් කිවහොත් ව්‍යවස්ථාදායකය නොමැතිව ජනරජයේ තීරණ ගැනීමට නොහැකිය.

එම තීරණ ගැනීම සඳහා අප වරින් වර තෝරා ගන්නා සහ පක්ෂවලින් පත් කරන පුද්ගලයන් 225 දෙනාගේ හොඳ හෝ වැරදි වලට “ව්‍යවස්ථාදායකය” පළි නැත. එය හරියට විධායක ජනපති ධූරයට තෝරා ගන්නා පුද්ගලයාගේ ස්වභාවය නිසා විධායක ජනපති ධූරය හොඳය හෝ හොඳ නැතිය හෝ කීම වැනි අතාර්කික ප්‍රලාපයකි. 

ඔවුන් පෞද්ගලිකව හෝ සිය මන්ත්‍රී ධූරයෙන් හෝ සිදු කරන මනා හෝ නොමනා ක්‍රියා නිසා ජනරජයේ තීරණ ගන්නා ව්‍යවස්ථාදායකය අහෝසි වෙන්නේ නැත. ව්‍යවස්ථාදායකයට මෙතෙක් වැසියන් විසින් තෝරාගත් සහ පක්ෂවලින් පත් කළ මන්ත්‍රීවරුන් ඇතැමෙක් ඉතා හොඳින් සිය නියෝජක ව්‍යවස්ථා සම්පාදක රාජ්‍ය කාර්යය අවබෝධයෙන් ඉටු කර ඇත. අදටත් ජනරජය ක්‍රියාත්මක වන්නේ එම තීරණ නිසාය. 

නමුත් ඇතැමෙක් එම රාජ්‍ය කාර්යය (රාජකාරිය) කුමක්දැයි වත් නොදන්නා අය බව සැබෑය. උදාහරණයක් ලෙස පනත්වලට සිය නියෝජක ඡන්දය දීමට ඔවුන් අත් ඔසවන්නේ අඩුම තරමින් එම පනත කියවා හෝ නොවේ. බොහෝ විට ඔවුන් කරන්නේ ඔවුන්ගේ පක්ෂයේ නායකයා කියන දෙය මිස අර ඔවුන් නියෝජනය කරන වැසියන් කියන දෙය නොවේ. සුදුසු නියෝජිතයන් වෙනුවට එවැනි නිවටයන් තෝරා ගැනීමට වගකිව යුත්තේ ඔබ සහ මම ඇතුළු ජනරජයේ වැසියන්මය. 

එම නිසා පසුගිය කාලයේ සිටි සහ නැවත ඡන්දය ඉල්ලන 225 දෙනාම හෝ ඉන් සමහරක් හෝ “එපා” යැයි කීම වැසියන්ගේ සාධාරණ අයිතියකි. ඔවුන් කොහොමත් වරින් වර වෙනස් කළ හැකි හුදු නියෝජිතයන්ය. නමුත් ඒ පිට දමා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව එපා යැයි කීම රාජ්‍ය තන්ත්‍රයේ මූලික කරුණුවත් නොදැන කරන මෝඩ ප්‍රකාශයක් බව දැන් ඔබට වැටහිය යුතුය.

 

රජය, ආණ්ඩුව සහ විපක්ෂය

රජය යනු ජනරජය යි. ශ්‍රී ලංකා රාජ්‍යය (රජය) යනු අපගේ දේශසීමාවට සහ මුහුදු සීමාවට අයත් භූමිය, ජලය සහ වාතය සහ එහි සියලු ජීවී අජීවී සම්පත්ය. එම සම්පත්වල පරමාධිපත්‍යය හෙවත් පරම අයිතිය සහ ඒවා පාලනය කිරීමේ බලය “ජනතාව” සතු වන නිසා එය ජනතාවගේ රාජ්‍යය > ජන රාජ්‍යය > ජනරජය ලෙස හැඳින්වේ. (ඒවායේ පරමාධිපත්‍යය ජනතාවට නැතුව රජෙකුට අයිති නම් එය රාජධානියක් ලෙස හැඳින්වේ. රජුන් රැජිනියන්, රදළයන් හෝ පාලකයන් ජනරජයේ නොමැත.)

ආණ්ඩුව හෙවත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය හෙවත් විරුද්ධ පක්ෂය තියෙන්නේ පාර්ලිමේන්තුවේය. එය හුදෙක් එහි ආසන සංඛ්‍යාව බෙදී යන ආකාරය අනුව සිදු කරන සාම්ප්‍රදායික බෙදීමකි. ව්‍යවස්ථාදායකයට තෝරා ගන්නා මන්ත්‍රීවරුන්ගෙන් “වැඩිම” ආසන සංඛ්‍යාවක් ගන්නා පක්ෂය හෝ කණ්ඩායම “ආණ්ඩු පක්ෂය” ලෙස සම්ප්‍රදායෙන් හඳුන්වයි. ඉතිරි පක්ෂ සහ කණ්ඩායම් එකතුව “විරුද්ධ පක්ෂය” ලෙස හඳුන්වයි.

නමුත් එහි කිසිදු නීත්‍යානුකූල භාවයක් නොමැත. මන්ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඒක-මණ්ඩල වන නිසාය. එනම් මොන මොන පක්ෂවලින් තෝරා ගනු ලැබුවත් අවසානයේ ඔවුන් සියලු දෙනාම සමාන නියෝජිතයන් පිරිසකි. ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට සහ අනෙක් අතට ඕනෑම වේලාවක මාරු විය හැක්කේ ඒ නිසාය. 

මොන පක්ෂයේ වුනත් ඔවුන්ගේ රාජ්‍ය කාර්යය වන්නේ ජනරජයේ ගැටලු නිරාකරණය කරමින් එහි උන්නතිය සඳහා අවශ්‍ය තීරණ සාමුහිකව ගැනීම මිස අනියම් දෙපිළකට බෙදී කුළල් කා ගැනීම නොවේ. එය හුදෙක් ජනරජවැසියන් රැවටීමට කරන රංගනයකි.

මෙම වචනවල තේරුම් නොදන්නා අය “රජය සහ ආණ්ඩුව” පටලවා කතා කරයි. ජනපති පවා “මගේ රජය” හෝ “පසුගිය රජය” යනුවෙන් කීම වැරදිය. රජය යනු ජනරජය යි. එය ජනපති වෙනස් වෙන විට, අගමැති වෙනස් වන විට, ඇමති මණ්ඩලය වෙනස් වන විට ආණ්ඩුව වෙනස් වන විට වෙනස් වන්නේ නොමැත. එය ස්ථිරව පවතින ශ්‍රී ලංකා රාජ්‍යය හෙවත් රජය යි.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යනු ව්‍යවස්ථාදායකය නැති කිරීම නොවේ. විසුරුවා හරින්නේ එතෙක් සිටි නියෝජිතයන්ය. එය කිරීමට බලය ඇත්තේ ජනපතිටය. එසේ විසුරුවන්නේ නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනයද නිශ්චිතව සඳහන් කරමිනි. එනම් විසුරුවා හැරීම යනු තාවකාලික දෙයකි. එහි අරමුණ අලුත් නියෝජිතයන් තෝරා ගැනීමය. නමුත් “අලුත්” කියන වචනයේ තේරුම පක්ෂ නායකයන් නොදන්නා නිසා පරණ අසාර්ථකයන්ම වැඩි පිරිසක් නැවත තේරේ. ඒ ගැන වෙනම කතා කරමු.

එය මාස තුනක් ඇතුළත සිදු විය යුතුය. එනම් පාර්ලිමේන්තුව විසිරුවා මාස තුනක් ඇතුළත අලුතෙන් නියෝජිතයන් තෝරා ගත යුතුය. ඒ ඇයි? විසිරුවා ඇති කාලය තුළ ජනරජයේ කිසිදු අලුත් තීරණයක් ගත නොහැකිය. කළ හැක්කේ පවතින පනත් අනුව විධායක හෙවත් ක්‍රියාත්මක කිරීම පමණකි. ඊට වඩා වැඩි කාලයක් තීරණ ගත නොහැකිව සිටීමෙන් ජනරජය අර්බුදයකට යා හැකි නිසා එම සාධාරණ කෙටි කාලය ව්‍යවස්ථාදායකය විසින්ම තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව විසිරුවා ඇති කාලය තුළ ආණ්ඩුවක් හෝ විපක්ෂයක් හෝ නොමැත. ඇත්තේ විධායකය සහ අධිකරණය පමණී. උදාහරණයක් ලෙස ජනපතිට හෝ ඇමති මණ්ඩලයට කිසිදු අලුත් ව්‍යාපෘතියක් සඳහා ජනරජයේ මහා භාණ්ඩාගාරයේ මුදල් ලබා ගත නොහැකිය. මන්ද ජනරජයේ සියලු ආදායම් සහ වියදම් පිලිබඳ තීරණ ගන්නේ ව්‍යවස්ථාදායකය විසිනි. වෙන එකක් තබා ජනපතිගේ වියදම් පවා තීරණය කරන්නේ ව්‍යවස්ථාදායකය යි. එවැනි විසර්ජන පනතක් (අයවැය) නැතිව දැනට මාස ගණනාවක් ගත වී ඇත. කුඩා සමිතියකට පවා අයවැයක් නොමැතිව කටයුතු කළ නොහැකිය. එසේනම් ජනරජය කෙසේ කටයුතු කරන්නද?

එපමණක් නොව මේ දිනවල කතා කෙරෙන වගා සංග්‍රාමය වැනි වැඩසටහනක් සාර්ථකව සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් නීති සහ මුදල් අවශ්‍ය වේ. පාර්ලිමේන්තුව රැස් නොවී එම ව්‍යවස්ථාදායක කාර්යය සිදු කළ නොහැකිය.

 

මාස තුන ඉක්මවා ගියහොත් මොකද වෙන්නේ?

මේ දිනවල ඇසෙන වැදගත්ම ප්‍රශ්නය මෙයයි. එනම් පවතින වසංගත තත්ත්වය හෝ වෙනත් අර්බුදකාරී හේතුවක් නිසා හෝ මාස තුන ඇතුළත මහමැතිවරණය පවත්වා ගත නොහැකි වුවහොත් කුමක් වේද? එය නොවන බවත් අද වන විට පෙනෙන්නට තිබේ. එයට දිය හැකි සරල පිළිතුර නම් කිසිවෙකුත් තවම “නිශ්චිතව නොදන්නා” බවයි. 

එනම් මාස තුන ඉක්මවා ගිය විට සිදු වන දෙය පිලිබඳ ව්‍යවස්ථාමය අපැහැදිලිතාවයක් තිබේ. එවැනි අපැහැදිලිතාවයක් ඇති විට සිදු කරන්නේ ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමයි. මන්ද ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කළ හැකි අවසාන තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය බැවිනි. ඇතැමුන්ට අවශ්‍යව ඇත්තේ එයයි. එවිට වසංගත අර්බුදය උඩට ව්‍යවස්ථා අර්බුදයක්ද පැන නගිනු ඇත.

නමුත් ඕනෑම අවස්ථාවක විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට බලයද ජනපතිට තිබේ. එනම් යම් හදිසි තත්ත්වයක් තුළ යම් අලුත් තීරණ ගත යුතු යැයි ජනපති සිතන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා, ඒ ගැන සාකච්ඡා විවාද කොට, තීරණ ගැනීමට ව්‍යවස්ථාව ඉඩ දී තිබේ. එසේ බැලූ කළ ව්‍යවස්ථාවේ කිසිදු වරදක් නොමැත.

ඒ අනුව ව්‍යවස්ථාව ඉතා විද්‍යාත්මකව ලියා ඇත. නමුත් ගැටලුව නම් එය අවභාවිතා කොට පාර්ලිමේන්තුව නැවත රැස් කර ඉන් පාක්ෂික වාසියක් ලබා ගැනීමට ඇතැමුන් කටයුතු කිරීමයි. එම නිසා කිසිම හේතුවක් නිසා විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමට අදහසක් නැතැයි වත්මන් ජනපති විසින් ඊයේ දින (2020/4/20) ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එයද කැත්තට පොල්ල වැනිය. හරිනම් ඔය තදබව පෙන්විය යුතුව තිබුනේ ජනපතිවරණයෙන් අනතුරුව සුළුතර ආණ්ඩුවක් නොසාදා සිටීමෙන්ය. දැන් එයට පමා වැඩිය.

කෙසේ හෝ එම ප්‍රකාශය කරන අතරතුරම මැතිවරණ කොමිසම විසින්ද ප්‍රකාශයක් සිදු කළේය. එනම් මහමැතිවරණය 2020 ජූනි මස 20 වැනිදා පවත්වන බවයි. එය අර මාස තුනෙන් පසු දිනයකි. එනම් දැන් අර අවිනිශ්චිතතාවය තීව්‍ර කර ඇත.

එක්කෝ කිසිවෙකුගේ කිසිදු විරෝධයක් නොමැතිව ජූනි 20 වැනිදා මහමැතිවරණය පවත්වා ඉන් ඉක්බිතිව අලුත් පාර්ලිමේන්තුව රැස්වනු ඇත. නැතිනම් මාස තුන ඉක්ම ගිය සැනින් කිසිවෙකු හෝ අර ව්‍යවස්ථා අපැහැදිලිතාවය භාවිතා කොට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර නඩු මාර්ගයට යෑමට ඉඩ ඇත. එසේ වුවහොත් එය නැවත 2018 ව්‍යවස්ථා අර්බුදය වැන්නක් වනු ඇත.

මහමැතිවරණය සහ සියලු වරණ යනු ජනරජවැසියන්ගේ ව්‍යවස්ථාදායක බලය සහ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමය. සුළු පිරිසකගේ උවමනා එපාකම්වලට තාන්ත්‍රික සෙල්ලම් වලින් එය වැළැක්වීම මහා අපරාධයකි. ජීවිත පුදා හෝ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරගත යුතුය.

එරන්ද ගිනිගේ
2020 අප්‍රේල් 21
ජනරජයේදී

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  1. Manjula Bandara
    ජනපති හදීසි තීරනයක් මත පාලිමේන්තුව යලි කැදවූවොත්, එහිදී කැදවිය යුත්තේ පසු ගිය සුලුතර ආන්ඩුව නොවේද?. එයින් වැඩි බලය පවතින පක්ශයට තිබෙන නිසා එය පවතින ආන්ඩුවට වාසි සහගත දෙයක් නෙමෙයි ද?.
    Reply
    • විසිරවූ පාර්ලිමේන්තුවේ අවසානයට පැවති ආණ්ඩුව (පොදු ජන පෙරමුණ) සුළුතර ආණ්ඩුවකි.
      Reply
  2. Mithri C Jayasinghe
    Could you please release this in English please, thank you
    Reply
Menu