ලංකාවේ මිනිස්සු දියුණු නොවීමට හේතුව සරලව

ඕනෑම රාජ්‍යයක “මිනිස්සු” එහෙමත් නැත්නම් සමාජය දියුණු වීමට නම් ඔවුන්ගේ සෞඛ්‍යය, වාසස්ථාන, අධ්‍යාපනය සහ පුද්ගල සුභසාධනය අනිවාර්යයෙන් කාලානුරුපීව වැඩි දියුණු කළ යුතුය. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ පැවතුම් ක්‍රමයෙන් දියුණු වන්නේ එවිටය.

ඒ සඳහා බුහුටි සැලසුම් හදා දක්ෂ ලෙස ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා සෑහෙන මුදල් වියදම් කළ යුතුය. එම වියදම් හඳුන්වන්නේ “සමාජ සේවා වියදම්” නමිනි. නමුත් ඒ සඳහා ලංකා ආණ්ඩුවට මුදල් නැත. ඒ ඇයිදැයි තේරුම් ගැනීමට ඔබ ආර්ථික විශේෂඥයෙකු වීමට අවශ්‍ය නැත. මේ ස්ථම්භ ප්‍රස්ථාරය දෙස බැලීම ප්‍රමාණවත්ය.

ලංකාණ්ඩුව විසින් සෑම වසරකම විවිධ දේ සඳහා මුදල් වියදම් කරනු ලබයි. ඒවා ප්‍රධාන වර්ග හතරකට ගොනු කළ හැකිය.

1) රාජ්‍ය සේවා වියදම් – රජයේ සේවකයන්, හමුදා සහ පොලිස් නිලධාරීන් සඳහා වැටුප් ඇතුළු සමස්ත රාජ්‍ය සේවය සඳහා වාර්ෂික වියදම

2) ආර්ථික සේවා වියදම් – කෘෂි සහ වාරි, ජල සහ විදුලි, ප්‍රවාහන සහ සන්නිවේදන වැනි යටිතල පහසුකම් සඳහා වාර්ෂික වියදම

3) සමාජ සේවා වියදම් – සෞඛ්‍යය, වාසස්ථාන, අධ්‍යාපනය සහ පුද්ගල සුභසාධනය සඳහා වාර්ෂික වියදම

4) ණය පොලී ගෙවීම් – විටින් විට ගත් සියලු ණය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු ණය පොලිය

සංසන්දනය කිරීමේ පහසුව සඳහා සහ වසර කිහිපයක සාමාන්‍ය අගය ගණනය කිරීම සඳහා එම වියදම් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. උදාහරණයක් ලෙස පසුගිය වසර දහය පුරා (2009-2019) වසරකට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 4% ට ආසන්න අගයක් වැය කරන්නේ රාජ්‍ය සේවා වියදම් සඳහාය.

ආර්ථික සේවා වියදම් සඳහා වැය කරන්නේ 5% ක් පමණය.

ඉහත කී “මිනිස්සු” දියුණු කිරීමට දරන සමාජ සේවා වියදම් සඳහා වැය කරන්නේ 6% ට අඩුවෙන්ය.

ඒ වගේම ඔබට පෙනෙනවාද සමාජ සේවා වියදම් හා සමාන වියදමක් සෑම වසරකම ණය පොලිය ලෙස පමණක් ලංකාණ්ඩුව විසින් දෙස් විදෙස් ණය හිමියන්ට ගෙවන හැටි! එම ණය පොලිය එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වන්නේත් නැහැ. එසේ ගෙවන්නේ මිනිසුන්ගේ සෞඛ්‍යය, වාසස්ථාන, අධ්‍යාපනය සහ පුද්ගල සුභසාධනය වැඩි දියුණු කිරීමට ඇති මුදල්ය. මෙන්න මේකට තමයි කියන්නේ “ණය උගුලේ සිරවීම” කියා.

ආණ්ඩුවේ වාර්ෂික ආදායමට වඩා වියදම වැඩිය. එනම් මොන පම්පෝරි ගැහුවත් ලංකා ආණ්ඩුව දුවන්නේ පාඩුවටය. ඉතින් සෑම වසරකම ණය වෙනවා හැර වෙනත් විකල්පයක්ද නැත. (සැබැවින්ම විකල්ප ඇත. ඒවා ගැන මතුවට ලියන්නම්.)

ලංකා සමාජය දියුණු නොවීමට හේතුව දැන් ඔබට පැහැදිලිද? ආණ්ඩුව කරන්නේ සෑම වසරකම අවම වියදමක් දරමින් සමාජය ඔහේ පවත්වාගෙන යෑම පමණයි. මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ දියුණුවක් නැත. වාසස්ථාන වැඩි දියුණුවක් නැත.  අධ්‍යාපන මට්ටමේ දියුණුවක් නැත. ජීවන සටනේ පඩියක් දෙකක් වැටෙන මිනිහාට රැකවරණයක් නැත. වැටුනොත් වැටුනාමය. දැනට කරන වියදම කරන්නේත් නාස්තිකාර ලෙසටය.

ගතින් සහ සිතින් මිනිස්සු දියුණු නොවන නිසා රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුවක් නැත. ව්‍යවසායක නව්‍යකරණයක් නැත. බුද්ධිමය ප්‍රගමනයක් නැත. අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළ හැදුවාට ඒවායින් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැත. වල් වැදුණු චින්තනය එකම තැන පල් වෙමින් තිබේ.

කපටියා කෙසේ හෝ ශ්‍රමිකයා සූරාගෙන ජනරජයේ පස ජලය වාතය වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් විකුණාගෙන ලාභය උපයයි. ඇති නැති පරතරය වැඩි වී යයි. මේ විෂම චක්‍රය සෑම වසරකම මෙසේ කැරකී කැරකී යයි. කිසිම ආණ්ඩුවකට මෙය වෙනස් කළ නොහැකි වී තිබේ. එයට හේතුවද ලංකාවේ ආණ්ඩු හැදෙන්නෙත් ඒ ගතානුගතික මිනිසුන්ගෙන්ම වීමය. මෙය ඉක්මනින් වෙනස් නොකළොත් ඊළඟට වෙන්නේ අපගේ ස්වෛරීත්වයත්, ස්වාධීනත්වයත්, නිදහසත් විදෙස් ණය හිමියන්ට යටත් වීමයි. 

ගිනිගේ
2020 බිනර මස 11 වැනි දා
ණයට පත් ජනරජයේ දීය

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu