“යූ එයින්ට් බ්ලැක්”

“ඔබ මට ඡන්දේ දෙන්නෙ නැත්නම් ඔබ කළු ජාතිකයෙක් නොවෙයි” යනුවෙන් ජෝ බයිඩෙන්, ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විසින් කළ නින්දිත ජාතිවාදී ප්‍රකාශයක් අද සමාජ මාධ්‍ය කළඹවමින් තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික වැසියන් සාම්ප්‍රදායිකව ඡන්දය දෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටය. නමුත් එසේ ඡන්දය දුන්නා කියා කළු ජාතිකයන් විසින් මුහුණ දෙන සමාජාර්ථික ගැටලු විසඳි නොමැත. බැරක් ඔබාමා (ඩිමොක්‍රටික් පක්ෂය) ජනපති කර ගැනීමෙන් පවා ඒවා විසඳුනේ නැත. එම නිසා පසුගිය ජනපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සැලකිය යුතු කළු ජාතිකයන් පිරිසකගේ සහාය ලැබිණි.

මෙම ජාතිවාදී ක්‍රමය ලංකාවේ ඉතා තදින් දැක ගත හැකිය. “ඔබ සිංහලයෙක් නම් පොදුජන පෙරමුණට හෝ නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න ඕනා”, “ඔබ දෙමළෙක් නම් එක්සත් ජාතික පක්ෂයට හෝ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දෙන්න ඕනා”, “ඔබ මුසල්මානුවෙක් නම් එජාපයට හෝ මුස්ලිම් කොංග්‍රසයට ඡන්දය දෙන්න ඕනා” ආදී වශයෙන් කතා කරන අපේක්ෂකයන් සිටී.

එමෙන්ම “ඔබ නියම සිංහලයෙක් නම් එජාපයට ඡන්දේ දෙන්නේ නැහැ”, “ඔබ නියම දෙමළෙක් නම් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්නේ නැහැ”, “ඔබ නියම මුසල්මානුවෙක් නම් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්නේ නැහැ” ආදී වශයෙන්ද කතා කරන අපේක්ෂකයන්ද සිටී.

ඉන්පසුව එය ආගමික බෙදීම අනුවද සිදු කරයි. “ඔබ බෞද්ධයෙක් නම් ඡන්දය දෙන්න ඕනා මෙයාට විතරයි”, “ඔබ කතෝලිකයෙක් නම් ඡන්දය දෙන්න ඕනා එයාට විතරයි”, “ඔබ ඉස්ලාමිකයෙක් නම් ඡන්දය දෙන්න ඕනා අරයට විතරයි” ආදී වශයෙන් කතා කරන අපේක්ෂකයන්ද සිටී.

මේ සියල්ල අන්තිම පහත් ජාතිවාදී අශිෂ්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාය. මෙම ජාතිවාදී බෙදීම කෙතරම් ඔඩු දුවා ඇත්ද යත් දැන් ඇතැමුන් ඒ ඒ ජාති වශයෙන් ඡන්ද ප්‍රතික්ෂේප කරන තැනටම පැමිණ සිටී. උදාහරණයක් හැටියට සිංහල ජාතිවාදීන් තමන් ඡන්දය දෙන පක්ෂයට හෝ අපේක්ෂකයාට දෙමළ හෝ මුස්ලිම් ජාතිකයන් කිසිවෙක් ඡන්දය දෙනවාටත් විරුද්ධය. ඔවුන්ට ඕනෑ ඔවුන්ගේම ජාතියේ ඡන්ද වලින් විතරක් දිනන්නටය. එය යුදෙව් විරෝධී නා(ට්)සිවාදයට  සමානය.

මේ සියලු ප්‍රකාශ හුදු ‘No True Scotsman’ Fallacy වර්ගයේ තාර්කික ආභාසයක් ලෙස ඉවත දැමිය හැකිය. නමුත් තාර්කිකව සිතීමට තරම් පරිණත බුද්ධියක් බොහෝ වැසියන්ට තවම නොමැත. එබැවින් ඔවුන් ජාතිකාගමිකව බෙදා පාලනය කිරීමට ඉතා පහසුය.

ජනරජයේ සියලු වැසියන්ට ඇත්තේ සමාන පරමාධිපත්‍යයකි. සමාන නන් වැදෑරුම් නිදහසකි. සමාන අයිතීන් සහ යුතුකම්ය. සමාන ඡන්ද අයිතියකි. එබැවින් ඡන්දයට ජාතියක් හෝ ආගමක් නැත. සියලු වැසියන්ට සමානාත්මයෙන් සලකන අපේක්ෂකයන් බිහි වන තුරු සහ එවැනි අපේක්ෂකයන්ට සමානාත්මයෙන් සලකන වැසියන් බිහි වන තුරු ජනරජය සහ එහි ප්‍රජාතන්ත්‍රය සාක්ෂාත් වන්නේ නොමැත.

ගිනිගේ
2020 මැයි 26
ජනරජයේදී

Filed under
Sinhala
Previous Next

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu
Eranda Ginige
Social Innovator, Writer, Speaker